විධා - යකා

 ඡායාරූපය:

විධා - යකා

දහ අට සන්නියේ ඇත්තේ යකුන් 18 දෙනකි. කුඩා යකුන් 18 දෙනකුගෙන් හා ඔවුන්ගේ ප්‍රධානියා වන මහසොහොනාගෙන් එම යක්ෂ සේනාව සමන්විතය. සූනියම් යාගයේදී පුද ලබන්නේ සූනියම් යකාය. කාන්තාවක් කුඩා කාලයේදීද තරුණ කාලයේදීද මහලු අවධියේදීද වශයෙන් කාලත්‍රයන් තුනක් සූනියම් යකා එහිදී නිරූපනය කර පෙන්වයි. රිද්දි යාගයේදී කාන්තාවන් වඳ භාවයට පත් කරන්නා වූ යකින්නියන් බවට පත් වූ බිසෝවරුන් සත් දෙනෙක් වෙනුවෙන් දීපංකර බුදුන්ට සළුවක් වියා පූජා කිරීමෙන් කාන්තාවන්ගේ වඳ භාවය ඉවත් කර ගැනීමට කටයුතු කරයි. විශාලා මහනුවර තුන්බිය ඇති වුණාය කියන්නේත් මේ යක්කු නිසාය කියලයි කියන්නේ.

බුදුන් වහන්සේ එදවස ලංකාවේ මහියංගණයට වැඩමකොට යක්ෂයන් දමනය කළ බවත් කියැවේ. යක්ෂයන් ගිරි නම් දිවයිනට පළවා හැරියාය කියායි වංශ කතාවල කියැවෙන්නේ. ආලවක යක්ෂයා දමනය කරන්නටත් මුරුගසන් වර්ෂා, ආයුධ වර්ෂා, මෙකී නොකී සෑම වර්ෂාවක්ම වැස්සවූ බව සූත්‍ර දේශනාවලත් කියැවෙයි. හෙළ වංශය පැවැත එන්නේත් කුවේණි නම් යක්ෂණියකගෙන් යැයි මහාවංශයේ කියැවෙයි.

මෙකී නොකී යක්ෂ කතාවලින් තේරෙන්නේ යක්කු එසේ මෙසේ ජාතියක් නොවන බවයි. කොහොමින් කොහොමින් හරි අවසාන මොහොතේදී හෝ යක්ෂණියකගෙන් බේරුණාය කියන්නේ විජය රජ්ජුරුවන් කියා කියයි. බේරිල්ල කෙසේ වෙතත් කුවේණියගේ ශාපයෙන් මෙලක්දිවට තාම මිදෙන්නට බැරිව ඉන්නවා කියාත් කියයි. කුවේණියගේ ශාපය කෙසේ වෙතත් මේ දිනවල ඇස් කන් විදාගෙන ඉන්නා ඕනෑම අයකුය ලංකාවට මොකක් නමුත් ශාපයක් තිබෙන බව නම් හොදින්ම පෙනෙන්නට තිබෙයි.

විධා - යකා යක්ෂ සේනාවට එක් වූ අලුත්ම පන්නයේ යක්ෂයාය. මේ යක්ෂයා ඉස් ඉස්සෙල්ලාම බැල්ම හෙළන්න පටන් ගන්නේ 78න් පසුවය. ඒත් ඉතිං විධා - යකා ගෙනෙන්නටත් මේ වගේම යක්ෂ ගාලගෝට්ටියක් ඒ දවස්වලත් තිබුණාය කියායි කියන්නේ. අගමැති යකෙක් ඉඳිල්ලෙන් වැඩක් හරියට කොරන්නඩ බැරියැ, එක එකා, එක එක පැත්තට අදිනවයැ, මෙව්වා කොරන්ඩ නම් හොඳ කොන්දක් තියෙන විධා - යකෙක් ඕනෑය කියලනේ ජනවරමකුත් ගත්තාය කියන්නේ. ඔය විධා - යකාටම පිං සිද්ධ වෙන්ඩනොවැ විවෘත ආර්ථිකේ දොරත් හෝස් ගාල ඇරල දැම්මේ වාන් දොරටුවක් අරිනවයි වගේ. ඉස්සෝ, පොකිරිස්සෝ, හාල්මැස්සෝ මෙකී නොකී හැම එකෙක්ම වාන් දොරෙන් ගසා බසාගෙන යනවා වගේනේ හැම නස්පැත්තියක්ම රටට එන්ඩ පටන් ගත්තේ. අවුරුදු ගාණකට හදන්න ප්ලෑන් කොරල තිබ්බ මහවැලියත් අවුරුද්දට, දෙකට, තුනට හදල ඉවර කළාය කියන්නෙත් ඔය විධා - යකා පිහිටෙන්ය කියනවානේ.

විධා - යකා ආව දවසේ ඉදං එක එක නස්පැත්ති. කුඩු, කඩු, නඩුවලින් විතරක් නෙවෙයි අතොරක් නැති කරදරවලින් ලංකාව පිරෙන්න පටන් ගත්තේ ඔය නස්පැත්තියෙන් පස්සෙන් පහුය. ඒ හිංදා විධා - යකා නැතිභංගස්ථාන කොරන්ඩ ඕනෑය. පාර්ලිමේන්තුවේ ඉන්න යක්කුන්ගෙන් දින නියමයක් නැති අස්වීමේ ලිපි ඉල්ලාගෙන ලාච්චුවේ දාගෙන ඕනෑම මළදානයක් කොරවා ගත හැකිය. ඕනෑම හොරෙක් මංකොල්ලකාරයෙක් නිදහස් කළ හැකිය.

ඕනෑම තක්කඩි වැඩක් කොට උසාවියෙන් බේරෙන්නට හැකිය. මෙකී නොකී ආඩපාළි රාශියක් පහුගිය වසර ගානේම ඇසෙන්නට විය. වැඩිපුර ඇසෙන්න පෙනෙන්න වූයේ මැතිවරණ කාලවලය. මැතිවරණ වේදිකාවල ගෝනියේ කට ඇර එළියට ගන්නා “විධා - යකාව” ජයග්‍රහණයෙන් පසුව නැවත මල්ලටම ලා ගන්නේ නයි නටවන්නෙක් නයා පැසට ලා ගන්නාක් වගේය. කල් යල් බලා නයා එළියට ගන්නටත් කරල පැහුණාම නයා පැසට ලා ගන්නටත් මේ කොයි කොයි නයිකාරයත් හොඳාකාරවම දනී.

විධා - යකා නැවතත් පැසෙන් එළියට පැන නටන්ඩ පටන් ගෙන තිබේ. කිහිප දෙනෙක්ම නයා නටවමින්ද හිදී. එහෙත් ඊටත් වඩා ගෝරනාඩුවක් ඇසෙන්නේ විධා - යකා අහෝසි කළොත් රටත් රාජ්‍යයත් විනාස වනවාය කියාය. පළාත් සභා ශක්තිමත් වීමෙන් රට බෙදී යනවාය කියාය. ඉන්දියාවේත් ඇත්තේ මෙවැනිම විධා - යකෙකි. එහෙත් ඉන්දියාවේ එහෙම නොවුණාට ලංකාවේ එහෙම වෙන්නේ ඇයි කියා කිසිවකු අසන්නේ නැත.

කන්නට ඕනෑ වුණාම කබරගොයාත් තළගොයා කොරගන්ඩ දන්නා අපේ ඇත්තෝ කොරහෙත් කිඹුල්ලු දකිමින් විධා - යකා අහෝසි කිරීමට එරෙහිව අවි අමෝරාගෙන හිඳිති. නොකරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුයි තව ඩිංගකුත් ඕනෑය කියල කතාවටත් කියනවානේ. එහෙත් විධා - යකා අහෝසි කරනවාය කියමින් නැවත පරණ හමටම තඩිබාමින් පාරම් බාමින් නයි නටවන්න නම් අමතක කර නැත.

එහෙත් මේවා දැක්කාම නම් හිතෙන්නේ විධා - යකාටත් වඩා අපේ රටට හෙණ ගසා ඇත්තේ මෙවැනි ප්‍රතිපත්තියක් නැති "යක්ෂ නයි නැටවිල්ලෙන්" බවය.

[ගාමිණී බස්නායක]

මාතෘකා