ධර්මපාල සැමරුමට පසුවදනක්

 ඡායාරූපය:

ධර්මපාල සැමරුමට පසුවදනක්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 155 වැනි ජන්ම දින සැමරුම පසුගිය දාහත්වැනිදාට යෙදී තිබිණ. ඒ වෙනුවෙන් බෞද්ධ දහම් පාසල්වල සේම පාසල්වල සමරු උත්සව පැවැත්විණි. එය ඉතාම උතුම් ක්‍රියාවකි. “ පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං” යනුවෙන් මංගල සූත්‍රයෙහි බුදුහු වදාළහ. පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණකි.

ක්‍රි:ව: 1864.09.17 එතුමාණෝ උපත ලදහ. දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නම උපතේදී තැබීය. බැප්ටිස්ට් සිංහල පාසල, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යන පාසල් එතුමන් අධ්‍යාපනය ලද පාසල් අතර වේ. එතුමන් කොළඹ විද්‍යෝදය පිරිවෙනේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගෙන් පාලි හා සිංහල භාෂා හදාළේය.

ධර්මපාලතුමා ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබුවද එමඟින් දේශීය චින්තනය මියැදෙන්නට ඉඩ තැබුවේ නැත. එතුමා එවකට බොහෝ වරප්‍රසාදලත් පවුලක උපත ලැබීය. එහෙත් රටේ පරාධීනත්වය එතුමා නොඉවසීය. පහසුවෙන් කළු සුද්දකුව සුඛෝපභෝගී දිවියක් ගතකිරීමට හැකියාව පැවතියද එය මඟ හළේය. ඒ වෙනුවට දේශීයත්වය වෙනුවෙන්ම පෙනී සිට ඇත. ඉංග්‍රීසි පාලනයට එරෙහිව ජනතාව දැනුවත් කරමින් පානදුරාවාදය සිදුකළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඇසුරු කිරීමට ලැබීම එතුමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත.

ක්‍:රව: 1880 ලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සමඟ “පරම විඥානාර්ථ බෞද්ධ සමාගම” පිහිටුවීමට ධර්මපාලතුමා මැදිහත්ව ඇත. ක්‍රි:ව: 1893දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයෙහි පැවැති ජගත් දෘෂ්ටි සම්මේලනයේ දේශනයක් පැවැත්වීම සුවිශේෂ සංසිද්ධියකි. ඒ තුළින් එතුමන් ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත්ව ඇත.

ධර්මපාලතුමා එතුමන්ගේ පවුලේ හිතවතුන් රට පුරා රේන්ද (අරක්කු) ව්‍යාපාර කිරීම පිළිබඳ තදින්ම අකමැති විය. ලාංකික සමාජය සුරාවට ඇබ්බැහි වීමෙන් ඇතිවන විපත එළිපිට ප්‍රකාශ කරන්නට විය. ගව මස් කෑම ද එතුමන්ගේ විරෝධයට හේතුවිය.

මියැදෙමින් පැවති දේශීය චිත්තය අවදි වීමට එතුමන්ගේ මැදිහත් වීම මහෝපකාරීව ඇත. පැරණි නටබුන් නගර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම නිතර පෙන්වා දුණි. ඒ සඳහා ක්‍රියාකාරීව මැදිහත් වුණි.

ධර්මපාලතුමන්ගේ අත්‍යුදාර සේවාව සිදුවනුයේ බුද්ධගයාව ඇතුළු දඹදිව බෞද්ධ නටබුන් ආරක්ෂා කරගැනීම පිණිසයි. ඒ සඳහා ධර්මපාලතුමන්ට “ මාරි ෆොස්ටර් රොබින්සන්” මැතිනිය මුදලින් උපකාර කර ඇත. බුද්ධගයාව බේරාගැනීමේ උත්සාහයේදී වසර හයක් සිරබත් කෑමට ද ඔහුට සිදුවිය. ධර්මපාලතුමන් මැදිහත් නොවන්නට දඹදිව බොහොමයක් බෞද්ධ නටඹුන් විනාශ වන්නට තිබිණ. ලාංකික දේශීය චින්තනය ගොඩනැඟීමට එතුමා සුවිශාල දායකත්වයක් දැරීය. විශාල ගිහි පැවිදි අනුගාමික පිරිසක් ඒ මඟ ගත්හ. මෙපමණකට හෝ දේශීයත්වයක් ආරක්ෂා වීමට එම මැදිහත්වීම හේතු විය.

එක් ලේ බිඳක් හෝ නොහෙලා ලංකාව නිදහස ලැබීය. එහෙත් නිදහසට පසුව ඔරොත්තු නොදෙන තරම් ප්‍රමාණයක් ලේ හලා ගෙන ඇත. ජාතීන් අතර ආගම් අතර කුල අතර සැකය තවමත් දුරු වී නැත. ධර්මපාලතුමාට සිදු කරන ලොකුම ගෞරවය නම් මෙම බෙදීම් දුරු කිරීමට කටයුතු කිරීම නොවන්නේ ද? ධර්මපාලතුමන්ට මඟහැරුණු කොටසක් ඇති බව තේරුම් ගැනීම එතුමන්ට අගෞරවයක් නොවේ. ධර්මපාලතුමන්ගේ ආමන්ත්‍රණය සිංහල බෞද්ධයාට සීමා වීම බරපතළ අඩුපාඩුවක් ලෙසට තේරුම්ගත යුතුව ඇත. එතුමා අධිරාජ්‍යවාදයෙන් ලංකාව මුදා ගැනීම පිණිස දිවියම කැප කළ බව අපි දනිමු. එහෙත් එම අධිරාජ්‍ය විරෝධය සඳහා දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි ජන කොටස් ඒකරාශී කර නොගැනීම පසුකාලීනව අහිතකර බලපෑම් ඇති කිරීමට හේතුව වී ඇත.

ධර්මපාලතුමාට සමකාලීනව ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට නායකත්වය ලබාදුන් මහත්මා ගාන්ධි සමඟ සංසන්දනය කිරීමේදී මෙම තත්ත්වය හොඳින් තේරුම්ගත හැකිය. ගාන්ධිතුමා ඉංග්‍රීසින්ගේ දුර්වලතාවලට එරෙහි වූ අතර යහපත් දෑ බාරගෙන ඇත. එවකට ඉන්දියාවේ දේශීය මිනිසුන් තුළ පැවැති දුර්වලතා ද පෙන්වා ඇත. ඒ අනුව ඉන්දීය සමාජයට පිළිකාවක් වූ කුලවාදය, ආගම්වාදය, ජාතිවාදය පිටුදැකීමට නායකත්වය ලබා දී ඇත.

ජාති, ආගම්, කුල භේදයකින් තොරව ලාංකික ජාතිය ගොඩනැඟීම ධර්මපාලතුමන් අතින් මඟ හැරුණ බව පෙනේ. එතුමන්ට සිදු කරන උපහාරයක් ලෙස එලෙස මඟ හැරුණ කරුණු ජය ගැනීමට උත්සාහ කළ යුතුය. යහපත් දෙයක් නම් එය විදේශිකයකුගෙන් ලැබුව ද වරදක් වන්නේ නැත. වර්තමාන ලාංකිකයනට සිංහල ලංකාවක්, දෙමළ ලංකාවක්, මුස්ලිම් ලංකාවක් අවැසි නැත. බෞද්ධ ලංකාවක්, ක්‍රිස්තියානි ලංකාවක්, හින්දු ලංකාවක් අවැසි ද නැත. යූ.එන්.පී, ශ්‍රී ලංකා, ජේ.වී.පී. ලංකාවක් ද අවැසි නැත. ගොවිගම, කරාව, නවන්දන්න ආදී ලංකාවක් ද අවැසි නැත. අපට අවශ්‍ය සියලු ජාති, ආගම්වල මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා වන සුරක්ෂිත වර්ණවත් ලංකාවකි. සියලු මිනිසුන්ගේ එකතුවෙන් ගොඩනැඟෙන ලාංකික ජාතියකි.

ධර්මපාලතුමා ක්‍රි:ව: 1831 පැවිදි බිමට පත්ව 1933දී දඹදිවදී අපවත් වූහ. එතුමන්ට මඟ හැරුණ කොටස් ජයගෙන උපහාර කිරීමට සිතිය යුතු යුගය එළැඹ ඇත.

මාතෘකා