දේශගුණ විපර්යාසය සහ ප්‍රතිසරදියල් න්‍යාය

 ඡායාරූපය:

දේශගුණ විපර්යාසය සහ ප්‍රතිසරදියල් න්‍යාය

දේශගුණ විපර්යාසයට එරෙහිව වඩාත් ප්‍රබල මැදිහත්වීම් සිදුකරන ලෙස ලොව පුරා රටවල ජනතාව තම පාලකයන්ට බලකිරීමට පටන්ගෙන. ඒ දේශගුණ විපර්යාසයේ දැනෙන බලපෑම්වල අමිහිරි අත්දැකීම් මේ වන විට ඔවුන්ට අඩුවක් නැතිව විඳින්නට ලැබී ඇති නිසා. දේශගුණ විපර්යාසයේ ඇති ඉතා අසාධාරණම ප්‍රතිවිපාකය ලෙස එමඟින් ප්‍රතිසරදියල් න්‍යායෙන් පීඩිතයන්ටම පහර එල්ල කිරීම හැඳින්වීමේ වරදක් නැහැ. එනම් පොහොසතුන්ගෙන් ධනය කොල්ලකා දුප්පතුන් අතර බෙදා දුන් සරදියල් න්‍යායට පටහැනිව යමින් දේශගුණ විපර්යාසය මගින් සිදු කරන්නේ දුප්පතුන් සූරා කෑමට ධනවතුන්ට අවසර ලබාදීමයි. දේශගුණ විපර්යාසය මගින් අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ වැඩිම අවදානමක් සහිත රටවල් පිළිබඳව විමසා බැලීමෙන් මේ බව මොනවට පැහැදිලි වෙනවා.

ඇමෙරිකාවේ නොටර් ඩෑම් විශ්වවිද්‍යාලය මගින් ලෝකයේ රටවල් 181ක ආර්ථිකයන් විශ්ලේෂණය කර 2017 වසරේ එළිදක්වන ලද ගෝලීය අනුහුරුතා දර්ශකය (global adaptation index) මගින් අනාවරණය කර ඇති ආකාරයට දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවදානමක් සහිත රට නොඑසේ නම් දර්ශකයේ පහළින්ම සිටින රට වන්නේ සෝමාලියාව. චැඩ් රාජ්‍ය සහ එරිත්‍රියාව පිළිවෙළින් ඊට ඉහළ ස්ථාන හිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 100 වැනි ස්ථානය. මෙහිදී අදාළ එක් එක් රටට කොතරම් හොඳින් දේශගුණික විපර්යාසයට අනුහුරුවිය හැකිද සූදානම කෙබඳුද අනාරක්ෂිත තත්ත්ව මොනවාද දේශගුණික විපර්යාස සඳහා ප්‍රතික්‍රියා කිරීමට ඇති හැකියාව කොපමණද වැනි අනු දර්ශක ගණනාවක් පිළිබඳව මෙන්ම ආහාර, ජලය, සෞඛ්‍ය, පරිසර පද්ධති, මානව වාසස්ථාන හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

දර්ශකයේ පතුලේම සිටින අනෙක් රටවල් වන්නේ මධ්‍යම අප්‍රිකාව, කොංගෝව, සුඩානය, නයිජීරියාව, හයිටි, ඇෆ්ගනිස්ථානය, සහ ගිනි බිසව් රාජ්‍යයි. දේශගුණ විපර්යාසයේ බලපෑම්වලට ගොදුරුවීමේ වැඩිම අවදානමක් පැවතීම සහ ඊට සූදානම් වීමට ඇති අඩුම හැකියාව නිසා තමයි මේ රටවලට දර්ශකයේ පතුලටම වැටීමට සිදුවී ඇත්තේ. සූදානම වැඩි දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන සහ නවෝත්පාදන වගේම කඩිනම් ක්‍රියාමාර්ග සඳහා විශාල අවශ්‍යතාවක් තිබුණත් ඒ සඳහා අවශ්‍ය පිරිවැය දැරීමට ඔවුන්ට හැකියාවක් නොමැති නිසා ඔවුන්ට තමන් මුහුණදී සිටින සදා අසරණ තත්ත්වයෙන් ගොඩ ඒම සිහිනයක්.

එහි අනෙක් පසින් දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් ගැන අවධානය යොමු කළොත් දේශගුණ විපර්යාසයේ ප්‍රතිසරදියල් න්‍යාය මානව පැහැදිලි වෙනවා. නොර්වේ, නවසීලන්තය, ෆින්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, ජර්මනිය සහ අයිස්ලන්තය පිළිවෙළින් දර්ශකයේ ඉහළම ස්ථානවල පසුවෙනවා. බ්‍රිතාන්‍යට දර්ශකයේ දොළොස් වැනි ස්ථානය හිමිවී ඇති අතර ඇමෙරිකාව එහි පහළොස් වැනි ස්ථානයේ පසුවෙනවා. එම රටවලට දේශගුණ විපර්යාසයෙන් එල්ලවන බලපෑම් අවම මට්ටමක පවතිනවා වාගේම එම බලපෑම්වලට මුහුණදීමට හොඳ සූදානමකුත් පවතිනවා.

හරිතාගාර වායු ටොන් ගණනින් වායුගෝලයට මුදාහැර දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට දායකවන රටවලට අවම බලපෑම් ඇති කරන දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් වැඩි වශයෙන් දුක් විඳීමට සිදුවී ඇත්තේ ඉතා සුළු හරිතාගාර වායු විමෝචනයක් සහිත රටවලට බව එමඟින් පැහැදිලි වෙනවා. මහා පරිමාණයෙන් හරිතාගාර වායු විමෝචනය කරමින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන ධනවත් රටවල් සිටින්නේ දර්ශකයේ ඉහළින්මයි. එම රටවල්වලටද දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම්වලට මුහුණදීමට සිදුවුණත් ඔවුන් තමන්ට හිමි ධන බලය මගින් එම බලපෑම් අවම කර ගැනීමට හෝ ඒවාට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ගොඩනඟා ගන්නවා. නමුත් දරිද්‍රතාවයේ පතුලේ කිමිදී සිටින බහුතර දුප්පත් රටවල්වලට දේශගුණ විපර්යාසයේ බලපෑම්වලට මුහුණදීමට අවශ්‍ය ආර්ථික ශක්තියක් නොමැතිකමින් එම රටවලට කබලෙන් ළිපට වැටීමට සිදුවී තිබීම සැබවින්ම ඛේදවාචකයක්. මෙහි ඇති ඉතා අවාසනාවන්තම මුහුණුවර වන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් මගින් පීඩිතයන් තවත් පීඩනයට ලක් කෙරෙන අතරම ධනවතුන් එමඟින්ද වාසි ලබා ගැනීමට වෙර දැරීමයි.

දේශගුණ විපර්යාසය අවම කිරීමට හා ඊට අනුහුරු වීමට අවශ්‍ය අරමුදල් සපයන ධානපතීන්ගේ භූමිකාව මෙම ධනවත් රටවල් රඟදක්වමින් සිටියත් එම රටවල් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන බහුජාතික සමාගම් සිදු කරන්නේ පීඩිත රටවල ඇති සම්පත් කොල්ලකෑමයි. දේශගුණ විපර්යාසයේ බලපෑම් හේතුවෙන් දිනෙන් දිනම දරිද්‍රතාවයේ පත්ලෙහිම ගිලෙමින් පවතින රටවලට සිදුවී ඇත්තේ එමඟින් සුළු හෝ අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා තම රටේ සම්පත් බහුජාතික සමාගම්වලට විකිණීමටයි. දුප්පත් රටවල ඇති ජලය, ඛනිජ ද්‍රව්‍ය, වනාන්තර වැනි නොයකුත් ස්වභාවික සම්පත් මේ ආකාරයෙන් සූරාකෑමට බටහිර බහුජාතික සමාගම් සැදී පැහැදී සිටිනවා. තම රටවලට දේශගුණ විපර්යාසයේ බලපෑම්වලින් ගොඩ ඒමට ඇති සම්පත් මේ ආකාරයෙන් විජාතිකයන්ට විකිණීමට දුප්පත් රටවලට සිදුවී ඇත්තේ එමඟින් නිමි භාණ්ඩ සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය හා ආයෝජන එම රටවලට නොමැති බැවින්. බලවතුන් එමඟින් බොර දියේ මාළු බාන්නේ කිසිදු හිරිකිතයක් නැතිවයි. අවසානයේ එම දුප්පත්රටවලට සිදු වන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවාගෙන සිටීමට පමණයි. දේශගුණ විපර්යාසයේ අවදානම තඹ සතයකට මායිම් නොකර ඊනියා සංවර්ධන සිහින පසුපස උමතුවෙන් ලුහුබඳින සදාතනිකවම සංවර්ධනය වෙමින් පවතින රටක් වන අපේ රටේ පාලකයනුත් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම වටිනවා.

මාතෘකා