සොඳුරු ගැහැනු වෙමු

 ඡායාරූපය:

සොඳුරු ගැහැනු වෙමු

ඕපාදූප සහ කේලම්වලට තිත තබන්න

කාන්තාවන්ට ඉතා හුරු පුරුදු මේ වචන නිසා අපේ ජීවිත කොයි තරම් දුකට, කනස්සල්ලට පත්වී ඇත්ද?මොන තරම් වටිනා කාලයක් අනුන්ගේ දේවල් ඇසීමට, අනුන්ගේ දේවල් කියවීමට නාස්ති වී ඇත්ද? ඔබට අනුන් ගැන කතා කිරීමට ඇත්තේ වරදක් අඩුපාඩුවක් නම් කට වසාගෙනම සිටින්න. හැමෝටම ආවේණික වූ ජීවිත කතා සහ ජීවිත රටා ඇත. තමාගේ වැඩ පාඩු කරගනිමින් අනුන්ගේ දේවල් කතා කිරීම, අනුන්ගේ අයහපත ප්‍රාර්ථනා කිරීම සහ අනුන් වෙනුවෙන් කල්ලි ගැසී ගිනිගෙඩි දීම නවතා දමන්න. එම කාලය තමාගේ යහපත උදෙසා යොදවන්න. පෙරදා රාත්‍රියේ ඇඳි ඇඳුම පිටින්ම උදේ සිට පැය ගණන් අනුන්ගේ ජීවිතවලට එබෙමින් නොසිට වැඩක් ඇත්තේම නැත්තම් පැළයක් හෝ සිටුවන්න. එය හෙට දවසේ ඔබේ දරුවන්ට හෝ ප්‍රයෝජනයක් වේවි.

තෘප්තිමත් වන්න

ජීවිතයේ අපිට අවශ්‍ය සියල්ල ලැබෙන්නේ නැත. ලැබුණද සියල්ල සදාකල් පවතින්නේද නැත. එම නිසා අද ඔබ තුළ ඇති දේ පිළිබඳ තෘප්තිමත් වන්න. හැකි අයුරින් ජීවිතය විඳින්න. තරු පහේ හෝටලයක සෝපාවක් උඩ තමාට අහිමි වූ ව්‍යාපෘතියක්‌ නිසා පීඩනයකින් සිටින මහා ධන කුවේරයකුට වඩා ගහකින් කුරුම්බා ගෙඩියක් කඩාගෙන බී පැලක දරුවන් සමඟ සෙල්ලම් කරන පියකු ජීවිතයේ රස යහමින් විඳියි.සෙරෙප්පු දෙකක් නැතිව ඔබ ඉන්නේ කනස්සල්ලෙන් නම් දෙපා යුගල නැති මිනිසකු විඳින අපහසුතා සිහිකර ගන්න. අනෙකාගේ සැප සහ සතුට දැක හූල්ලන හෝ සියල්ල ලැබුණු පසු සතුටු වී තෘප්තිමත් වීමට සැලසුම් සදන අසංතෘප්ත ගති අතහරින්න. ලද දෙයින් සතුටු වන්න. හුරු වූ පසු එය ඉතා මිහිරි සහ සුන්දර වන අතර ඇබ්බැහි වූ පසු ඔබ ළඟ මෙතරම් සතුටු විය හැකි දේවල් තිබුණා දැයි ඔබටම සිතේවි.

කොපි නොකරන්න

අල්ලපු ගෙදර කාන්තාව කන්නේ හැන්දෙන් කියා ඔබ හැන්දෙන් කෑ යුතු නැත.ඔබගේ මිතුරියගේ දියණිය පිහිනුම් පන්ති යන නිසා ඔබේ දරුවාද පිහිනීමට දක්ෂයකු කළ යුතු නැත. අල්ලපු ගෙදර ස්වාමියා බිරිඳට සලකන ආකාරයටම ඔබේ සැමියා ඔබට සැලකිය යුතු යැයි නීතියක් නැත. පාසල් අවධියේදී හදිස්සියට කොපි කරපු විදිහ මතක් වී තවමත් අනුන්ගෙන් කොපි කරන්නට යෑමට ඔබට සිතෙන්නේ නම් එම සිතිවිලි අමතක කර දමන්න. මන්ද පාසලේදී අපි සැමටම ලැබුණේ එකම ප්‍රශ්න පත්‍රයක් වන නමුත් ජීවිතයේදී අපි එකිනෙකාට වෙනස් වෙනස් ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීමට සිදුවන අතර උත්තර පමණක් අනුන්ගෙන් කොපි කිරීමෙන් සිදුවන්නේ ඔබගේ ප්‍රශ්න සහ උත්තරවල ගැළපීමක් නැති වී ජීවිත පැටලී වැරදී යෑමය. එනිසා තමාටම ආවේණික වූ අරමුණු සහ බලාපොරොත්තු සාදාගෙන ඒ වෙනුවෙන් කැපවන්න. අනෙකාගේ ජීවිත් කොපි කිරීම නවතා දමන්න. ඔබ ඔබම වන්න.

අගය කිරීමට හුරුවන්න

සියල්ල සර්ව සම්පූර්ණ මිනිසුන් හෝ ගැහැනු නැත. වැරදි සහ අඩුපාඩු අඩු හා වැඩි වශයෙන් අප සියල්ලන්ගේම ඇත. නමුත් පුද්ගලයකුගේ දක්ෂතා අගය කිරීමට ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතය බාධාවක් කර නොගන්න. ඔවුන්ගෙන් යමක් ඉගෙන ගන්නවා මිසක ඔබ ඔවුන්ගේ ජීවිතවල රස බැලීමට නොයන්න. ඔබගේ මිතුරකු හෝ හතුරකු හෝ වේවා ඇයට හෝ ඔහුට ඔබට නැති දක්ෂතාවක්, හැකියාවක්, දැනුමක් හෝ උගත්කමක් ඇතිනම් නිරහංකාරව අගය කිරීමට පුරුදු වන්න. අනෙකා අවංකව අගය කිරීමේදී දැනෙන නිරාමිස සතුට ඔබම විඳ බලන්න.

කළගුණ අගයන්න

ජීවිත කාලයේම ඔබට උදවු කළ අයකුගෙන් කුමක් හෝ සුළු අත්වැරදීමක් සිදුවූ පසු සියලු ගුණ අමතක කරමින් ලොව වටා කුණු හල හල යන කුණු කරත්තයක් නොවන්න. ඔබට එක්වරක් සිනහවකින් හෝ සංග්‍රහ කළ අයකු වේ නම් ඒ මනුසත් ගුණය සැමදා ඇගයීමට තරම් සොඳුරු හිතැත්තකු වන්න. මන්ද ජීවිත කාලය පුරාම අනෙකා වෙනුවෙන් කැප වීමට කිසිවකුටත් නොහැකිය. එම නිසා නොකළ දේ අමතක කර කළ දේ සිහි තබා ගන්න.

කාලයට මැසිවිලි කීම නවතන්න

කාලයට චෝදනා කරන අයගෙන් වැඩි දෙනකුට ඔවුන් දැන් කරන සහ කළ දේවල් ලියන්නට කිවහොත් ලියන්නට හෝ කියන්නට දෙයක් නැත. නමුත් මැසිවිලි කීමට පමණක් ඔවුන්ගේ දවසම ගතවී තිබේ. කෙනකුට රැකියාවක් කරමින් දරුවන්ගේ සහ ස්වාමියාගේ වැඩකටයුතු, නිවසේ වැඩකටයුතුද කරමින් තමන්ගේ විනෝදාංශ සඳහාද අතිරික්ත කාලයක් තිබියදී තවත් කෙනකුට ගේ අතුගාගන්නවත් කාලයක් නැති වීමට හේතුව තම කාල කළමනාකරණයේ දුර්වලතාව මිස අන් දෙයක් නොවේ. කාලය වටිනාම සම්පතයි. එය නිකරුණේ නාස්ති වීමට ඉඩ නොදී ඔබට හෝ රටට සෙතක් වන කාර්යයක් සඳහා යොදවන්න.

අනුන් ගැන වද වෙමින් අනුන්ගේ ජීවිතවලට CCTV නොදමා තමා වෙනුවෙන් අරමුණක් බලාපොරොත්තුවක් නිර්මාණය කරමින් ඒ ඔස්සේ කාලය මෙහෙයවමින්, සුන්දර දේ අගයමින්, අනෙකාට හැකි අයුරින් වචනයකින් හෝ උපකාර කරමින් බැහැර කළ යුතු දේ හලමින් හරවත් දෑ එකතු කරගනිමින් සමාජයේ ගෞරවනීය සොඳුරු කාන්තාවක් ලෙස ඔබ ඔබවම දිනවන්න.

[අනිශා ජයකොඩි] සිංගප්පූරුව

මාතෘකා