කේඩෑරි වූ මුදල් පසුම්බිවලට පිළියම්

 ඡායාරූපය:

කේඩෑරි වූ මුදල් පසුම්බිවලට පිළියම්

 

 

මෙම පරිච්ඡේදය කියැවීමට පෙර මොහොතක් ඔබගේ මුදල් පසුම්බිය ඉවතට ගෙන මේසය මත තබා මද වේලාවක් හොඳින් එය නිරීක්ෂණය කරන්න.

සැබැවින්ම එහි පිටත පෙනුම කෙබඳුද? තැනින් තැන නූල් මතු වී, කොන්වලින් නැවී ගිය, දහඩියෙන් පෙඟීම නිසා දුර්වර්ණ වූ එකක්ද? දැන් එහි ඇතුළත වූ ද්‍රව්‍ය එකින් එක ගෙන මේසය මත තබන්න. පැරණි බස් ටිකට්, රැලි ගැසී නැවුණු අපිළිවළට ඔබන ලද මුදල් නෝට්ටු, දිනුම් අදින ලද ලොතරැයි, ගෙවන ලද බිල්, බැංකු කාඩ්, වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද බෙහෙත් තුණ්ඩු, ලැයිසන්, දඩ කොළ, පැරණි ලිපියක් සහ දුරකථන අංක ලියන ලද කොළ කැබලි, විසිටින් කාර්ඩ්..... වැනි එකී මෙකී නොකී ලට්ට ලොට්ට සම්භාරයක්ම සොයා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඔබට ලැබෙනවා ඇතැයි මම අපේක්ෂා කරන්නෙමි. දැන් ඒවා එකින් එක පිළිවළට මේසය මත තබා ලැයිස්තුගත කරන්න. දැන් මෙම ලැයිස්තුවේ ඇති ද්‍රව්‍යන්ගෙන් පසුම්බිය තුළ අනිවාර්යෙන්ම දිනපතාම පැවැතිය යුතුයි යනුවෙන් සලකනු ලබන ද්‍රව්‍ය පමණක් ඉතිරි වන්නට අනෙක් සියලුම ද්‍රව්‍ය කපා දමන්න.

දැන් ලැයිස්තුවේ ඉතිරිව ඇති අත්‍යාවශ්‍ය දේවල් පමණක් පසුම්බිය තුළට ඇතුළු කරන්න. එමඟින් පමණක්ම පසුම්බියට ලැබුණු අලුත් වෙනස ආස්වාද කරන්න.

ඔබගේ මුදල් පසුම්බිය යනු ඔබ සතු ජංගම කුණු බාල්දියක් යැයි නොසිතන්න. එදිනෙදා ජීවිතයේදී අතට හසුවන වැදගත් හෝ පසුවට අවශ්‍ය වේ යැයි සිතන දේවල්, ලිපි ලේඛන, බිල්පත් වැනි ද්‍රව්‍ය මින් මතු මුදල් පසුම්බියට කොටා ගැනීමට පෙර කිහිපවරක් සිතන්න. බොහෝ දෙනා මෙවැනි කුණු කන්දල් පසුම්බිය තුළට ඔබා ගන්නේ අවශ්‍යතාවට නොව, පුරුද්දට මෙනි. එලෙස පසුවට අවශ්‍ය වේ යැයි සිතන දේවල් ඔබගේ ගමන් බෑගයේ පොකට්ටුව තුළට දමා පසුව අදාළ තැන්වලට ස්ථානගත කිරීමට පුහුණු වන්න.

සැබෑ ලෙසම මුදල් පසුම්බිය යනු ඔබගේ ධනවත් භාවය පිලිබිඹු කරන කැඩපතක් බඳුය. මෙලෙස ඉතාමත් ගෞරවාදරයට පාත්‍ර වූ ධනවතකුගේ මුදල් පසුම්බියක් අතපත ගෑමේ අවස්ථාව ඔබට ලැබුණා යැයි සිතන්න. එසේ නම් එහි පෙනුම කෙසේ විය හැකි දැයි ඔබ විසින් අපේක්ෂා කරනු ලබයිද...? එහි හැඩය, පෙනුම, ප්‍රමාණය පිළිබඳ විශිෂ්ට අදහසක් ඔබ සතුව පවතී. එහි ඇතුළත ඇති මුදල්වල වටිනාකම සිතින් මදකට අමතක කර දමන්න. දැන් ඒ තුළ ඇති අනෙකුත් ලක්‍ෂණවලින් ඔබගේ මුදල් පසුම්බිය වෙනස් වන්නේ කෙසේදැයි විශ්ලේෂණය කරන්න. ඔබගේ මුදල් පසුම්බිය එම විශිෂ්ටයාගේ පසුම්බිය හා සමාන වන ලෙසින් පවත්වා ගැනීමට ඔබ කළ යුතු වෙනස්කම් වහාම ක්‍රියාත්මක කර එකී විශිෂ්ට පසුම්බියට සමාන පසුම්බියක් නිර්මාණය කරන්න.

මා මෙම ක්‍රියාකාරකම සහ නිරීක්ෂණ පෞද්ගලිකව සිදු කර එම අත්දැකීම් විශ්ලේෂණය කර ලබා ගත් නිගමනවලට අනුව විශිෂ්ටයකුගේ මුදල් පසුම්බියක ලක්‍ෂණ හා ඒ තුළ තිබිය යුතු ද්‍රව්‍යන් කිහිපයක් මෙලෙස සඳහන් කරමි.

01. මුදල් නෝට්ටු

මේවා පොඩි නොවී පිරිසුදුව සහ පිළිවෙළට එකම දිශාවට සිටින ලෙස සකසා තෝරා ගත් එක් විවරයක් තුළ තැන්පත් කළ යුතුය.

02. අනිවාර්ය නෝට්ටුව

දැනට ලංකාවේ පවතින ඉහළම වටිනාකම ඇති නෝට්ටුව රුපියල් 5,000ක නෝට්ටුවයි. හැකි නම් සෑම විටම පිරිසුදු නැමුම් පාරවල්වලින් අපවිත්‍ර නොවුණු ගෞරවමාන රුපියල් 5,000ක නෝට්ටුවක් ඔබගේ මුදල් පසුම්බියේ විවරයක් තුළ සෑම විටම පෙනෙන පරිදි තබා ගන්න. එම නෝට්ටුව කිසිම අවස්ථාවක වියදම් කිරීමට ගැනීමෙන් වළකින්න. එලෙසින් රුපියල් 5,000ක් තබා ගැනීමට හැකියාවක් නොමැති නම් රුපියල් 2,000ක හෝ රුපියල් 1,000ක නෝට්ටුවක් එලෙසින් තබා ගන්න.

03. සිල්ලර කාසි පසුම්බිය තුළ පුරවා ගැනීමෙන් වළකින්න.

හැකි සෑම විටම ඒවා මාරු කර නෝට්ටු බවට පත් කර පසුම්බිය තුළ ස්ථානගත කරන්න. නැතිනම් ඔබ බහුල ලෙස සිල්ලර කාසි භාවිත කරන්නෙක් නම් ඒ සඳහාම විශේෂිතව නිපදවූ (Coin Pouch) මාරු කාසි රඳවනයන් භාවිත කරන්න.

04. ඔබගේ හැඳුනුම්පත්, ක්‍රෙඩිට් කාර්ඩ්, බැංකුපත් වැනි දෑ දැමීම සඳහා පසුම්බියේ නියමිත ස්ථානයක් පමණක් වෙන්කර තබා ගන්න.

05. ඔබගේ ඡායාරූපයක් තබා ගන්න. (එහි පිටුපස දුරකථන අංකය හා ලිපිනය සදහන් කරන්න.)

06. ඔබගේ ලේ වර්ගය සඳහන් කළ කාඩ්පතක්.

07. හදිසියේ අස්ථානගත වීමකදී දැනුම් දීම සඳහා නම, වෘත්තිය, ලිපිනය, දුරකථන අංකය ඇතුළත් කළ හැදින්වීමේ කාඩ්පතක්.

08. මූල්‍යමය සෞභාග්‍යය වර්ධනය වන අන්දමේ අදහස් සහිත උදාර වාක්‍යක් හෝ ස්වයං යෝජනාවක් සඳහන් කළ කාඩ්පතක්.

09. හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔබගේ චෙක් පොතේ තබා ගත් හිස් චෙක් පත් කිහිපයක් (අත්සන නොමැතිව)

මාතෘකා