ජනතාවට ඉගැන්වීම

 ඡායාරූපය:

ජනතාවට ඉගැන්වීම

පසුගිය සති දෙකේ අප සාකච්ඡා කළේ ප්‍රජාතන්ත්‍රීය ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමය (Democratic Constitutional Government) මගින් ජනතාව බල ගැන්වීම සිදුවන ආකාරය ගැනය.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන පාලකයන් පිළිගත් නීතියක් හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පාලනය කරන්නට නොහැකි නම් ප්‍රජාතන්ත්‍රවාදය පාර කපන්නේ ඒකාධිපතිවාදයට යයි එම සාකච්ඡාවල දී පෙන්වා දෙන ලදි. එවිට සිදුවන්නේ ජනතාවගේ අයිතිවාසිකම් පමණක් නොව ඔවුන්ගේ එදිනෙදා ජීවත් වීම පවා පාලකයන්ගේ අසීමිත බල තණ්හාවට යටත් කිරීමය. එවිට රජ වන්නේ ජනතාව නොව ඔවුන්ගේ ඡන්දයෙන් පත්වන පාලකයන්ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අපේක්ෂාව රජවරුන්ගේ පාලනය වෙනුවට ජනතාවට වගකියන පාලනයක් ඇති කිරීමය. එය සිදුවන්නේ එම පාලකයන් පිළිගත් නීතියකට යටත්ව පාලනය කරන පිරිසක් බවට පත් කිරීමෙනි. ජනතාව දිනන්නේ හිතුවක්කාරී පාලනය වෙනුවට ව්‍යවස්ථානුකූල පාලනයක් ඇති කිරීමෙනි.

පාලකයන්ට කැමති ඕනෑම දෙයක් කළ හැකි යයි කියන්නට ඉඩ ලැබෙන පරිදි ව්‍යවස්ථාව සකස් කළ විට සිදුවන්නේ ජනතාව සුබසාධක ප්‍රදානයන් මගින් තමන්ට සහාය දෙන තත්ත්වයකට පත් කරන්නට පාලකයන්ට හැකිවීමය. ජනතාව සිතන්නේ පාලකයන්ට එම අසීමිත බලය ලබා දෙන්නේ තමන්ට යහපත් ජීවිතයක් ලබා දෙන්නට තිබෙන බාධාවන් ඉවත් කර දැමීමට බවය. පාලකයන් මෙබඳු ආකාරයකින් බලය අසීමිත ලෙස අත්පත් කර ගත් විට ඔවුන් කරන්නේ සුබසාධක ප්‍රදානයන් මගින් ජනතාව තමන් වෙතට නමා ගැනීමට උත්සාහ කිරීමය. එයට හේතුව ජනතාව විචාරාත්මකව සිතන්නට ශක්තිය නැති දුප්පතුන් වූ විටය. මෙහි දී දුප්පත්කම යනු මුදල් හෝ දේපළ නොමැතිකම නොවේ. දැනුමින් දුප්පත් වීමය. ලෝකය තේරුම් ගන්නට හැකි බුද්ධියක් නොමැති විට ජනතාව තමන්ට ලැබෙන මුදල් හෝ භාණ්ඩ බාර ගෙන එයට හිලව් ලෙස “කළගුණ සැලකීම” සඳහා ඔවුන්ට තව තවත් බලය ලබා දෙති. මෙම දේශපාලකයන් කරන තවත් දෙයක් වන්නේ ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නට බාධා කරන සතුරන් හඳුන්වා දීමය. මේ සඳහා ආගම්වාදය සහ ජාතිවාදය යොදා ගනිති. එවැනි සතුරන් සමඟ යුද්ධ කිරීමත් ඔවුන් පරදවමින් විජයග්‍රහණ ලබා දීම මගින් ජනතාව සතුටු කිරීමත් එමගින් දේශපාලනයට ගෙන එති.මේ සඳහා ප්‍රචාරක ව්‍යාපාර ගෙන යති. එහි ප්‍රතිඵලය වන්නේ අනිත් ජාතීන් තමන්ගේ ජාතිකත්වය සහ ආගම විනාශ කරන්නට පැමිණ සිටින සතුරන් ලෙස දකින මානසිකත්වයක් ජනතාව තුළ ඇතිවීමය. මේ නිසා දේශපාලකයෝ ජාතියේ වීරයන් බවට පත්වන අතර තවදුරටත් ඔවුන්ට බලය අත්පත් කර ගැනීමට ඉඩ දෙති.

මේ අන්දමේ තත්ත්වයක් ඇතිවූ විට සිදුවන්නේ දේශපාලකයන් සහ ඔවුන්ගේ ඥාති පරම්පරාවන් තව තවත් ධනවතුන් වෙද් දී ජනතාව තව තවත් දුප්පතුන් බවට පත්වීමය. එහෙත් ඔවුන් තවදුරටත් සිතන්නේ එම දේශපාලකයන්ගේ වහලුන් ලෙසය. අවසානයේ සිදුවන්නේ බලය මාරු වීම පාලන කණ්ඩායම තුළම ඇතිවන අර්බුදවලින් සිදුවන දෙයක් බවට පත්වීමය. එකම පක්ෂය දිගටම බලයේ සිටින අතර එම පක්ෂයේ නායකයන් අතර ඇතිවන ඇණ කොටා ගැනීම මගින් ඇතිවන බලය මාරු කිරීම දේශපාලනය බවට පත්වෙයි.

අද ශ්‍රී ලංකාවේ සිදුවී තිබෙන්නේත් සිදුවෙමින් තිබෙන්නේත් මෙයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය විසින් පාලකයන්ව පාලනය කරන්නේ නැත. ඒවා සාදා තිබෙන්නේ පාලකයන්ට අසීමිත ලෙස බලය ඒකරාශී කර ගන්නට ඉඩ ලැබෙන ආකාරයෙනි. මේ නිසා අද අවශ්‍යව තිබෙන්නේ ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමය යළිත් ස්ථාපිත කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට ක්‍රියා කරන බව අප 1994 සිටම අසන දෙයකි. වත්මන් ආණ්ඩුව ද එසේ කියා බලය ලබා ගෙන මේ මෑතක් දක්වා නව ව්‍යවස්ථාවක් සෑදීමට සියලු පක්ෂ සම්බන්ධ කර ගත් ක්‍රියාවලියක් පවත්වා ගෙන ගියේය. අවසානයේ එය ආඬි හත් දෙනාගේ කැඳ පිසීමක් බවට පත් විය. සියලු දෙනා කර තිබුණේ කැඳ හැළියට අත් දිග හැර බොරුවට සහල් දැමීමය. අවසානයේ උයා තිබෙන්නේ වතුරය.

දැන් කවුරු කවුරුත් පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවට එය පසුපස යමින් ජනාධිපති ඡන්දයට ඔට්ටු අල්ලමින් සිටිති. ජනතාව යළිත් වතාවක් සෙක්කුවේ බැඳි ගොනුන් මෙන් රවුමේ යනු ඇත. මෙම චක්‍රය නැවතිය හැක්කේ ජනතාව දේශපාලන වශයෙන් බුද්ධිමත්ව හිතන පිරිසක් බවට පත් කිරීමෙනි. මේ සඳහා අවශ්‍ය වන්නේ ජනතාවට දේශපාලන අධ්‍යාපනය ලබා දීමය. ප්‍රජාතන්ත්‍රීය සමූහාණ්ඩුවක සාර්ථකත්වය රැඳී තිබෙන්නේ ජනතාවට දේශපාලනය ඉගෙන්වීමට අප කොතරම් දුරට සමත් වන්නෙ ද යන්න මතය.

අද ලෝකයේ තිබෙන පැරණිතම ව්‍යවස්ථාවක් වන ඇමෙරිකානු ව්‍යවස්ථාව ලිවීමට සහභාගි වූ තෝමස් ජෙෆර්සන් කළ ප්‍රකාශයක් මෙහි දී සඳහන් කරනු වටියි. ජනතාව තමන් සතු බලය පාවිච්චි කරන හැටි දන්නේ නැති නිසා ව්‍යවස්ථාවක් මගින් ගෙනයන පාලනය තේරුමක් නැති දෙයක් යයි සමහරුන්ගේ මතය වූ බැවින් ඔහු පහත සඳහන් පිළිතුර ලබා දුන්නේය.

“සමාජය සතු අවසාන බලය ගබඩා කිරීමට ජනතාවම හැර වෙන් අන් තැනක් මට පෙනෙන්නේ නැත. එම බලය පූර්ණ ස්වාධිකාරය යොදමින් හසුරුවන හැටි ජනතාව දන්නේ නැතිනම් එය නිවැරදි කළහැක්කේ එම බලය ඔවුන්ගෙන් උදුරා ගැනීමෙන් නොවේ. එය නිවැරදිව පාවිච්චි කරන හැටි ජනතාවට කියා දීමෙනි. ව්‍යවස්ථානුකූල බලය අවභාවිත කිරීම නිවැරදි කිරීමේ සත්‍ය ක්‍රමවේදය එයයි”.

අද අපට අවශ්‍යව තිබෙන්නේ ජනතාවට දේශපාලන අධ්‍යාපනය ලබා දිය හැකි පිරිස් මේ ගැන අවධානය යොමු කිරීම ය.

මාතෘකා