රොක් ඇන්ඩ් රෝල් රජු එල්විස් ප්‍රෙස්ලි

 ඡායාරූපය:

රොක් ඇන්ඩ් රෝල් රජු එල්විස් ප්‍රෙස්ලි

 

පමා වැඩියි හෙට

සිදු වෙනවා නම්

දැන් එය සිදුවේවි

නැතිනම් සිදු නොවේවි....

වැලඳ ගන්න ඔබ මාව

සිපගන්න මාව මගේ ප්‍රියාවිය....

අද රැයේදී ඔබ මගේ වෙන්න

පමා වැඩියි හෙට......

සිදුවෙනවා නම්

දැන් එය සිදුවේවි

නැතිනම් සිදු නොවේවි....

මෙය රොක් ඇන්ඩ් රෝල් රජු ලෙස හැඳින්වෙන එල්විස් ප්‍රෙස්ලිගේ "it's now or never" නම් ගීතයේ කොටසකි. එහි කියවෙන්නේ හෙටක් ගැන එතරම් තැකීමක් නැති පෙම්වතකු සිය පෙම්වතියට කරන ආයාචනයකි. ඉතා කෙටි කලක් තුළ සංගීත දිවියේ මුදුනටම නැඟුණු ඔහු සැබෑ ජීවිතයේදී ද හෙටක් ගැන නොසිතා ඒ මොහොතේ ජීවත්වූ පුද්ගලයකු විය. ප්‍රෙස්ලිට අකාලයේ වයස අවුරුදු 42 දීම සිය ජීවිතයෙන් සමුගැනීමට හේතු වූයේද ඔහුගේ එම ජීවන රටාවයි.

1935 ජනවාරි මස 08 වැනිදා මිසිසිපි හි ටියුලිපෝ නගරයේ උපත ලැබූ ප්‍රෙස්ලිගේ සිය පළමු ගීතය පටිගත කරන්නේ වයස අවුරුදු 19දීය. සිය හැකියාවන් තුළින් ගුවන් විදුලිය, රූපවාහිනිය සහ සිනමාව අතික්‍රමණය කළ ඔහු 20 වැනි සියවසේදී බිහිවූ විශිෂ්ටතම විනෝදාස්වාදකයෙකි. 1967 මැයි 01 වැනිදා ප්‍රසිලා බියුලි සමඟ ඔහු විවාහ වුවත් එම විවාහය පැවැතියේ සය වසරක් පමණි. ලීසා ප්‍රස්ලි ඔවුන්ගේ එකම දියණියයි.

මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ එල්විස්ගේ අවසන් දින කිහිපයටය. විවාහය බිඳවැටීමෙන් අනතුරුව ඔහු ලින්ඩා තොම්සන් නම් තරුණියක සමඟ එකට ජීවත්වූ අතර ඇයගෙන් 1976 නොවැම්බරයේදී වෙන් විය. අනතුරුව ඔහුගේ පෙම්වතිය වූයේ ජින්ජර් ඇල්ඩෙන්ය. මේ කාලය වන විට එල්විස් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අතර ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ප්‍රසංග කිහිපයක්ම අවලංගු කිරීමට සංවිධායකයන්ට සිදුවේ.

ප්‍රෙස්ලිගේ අවසන් ඇල්බමය වන Way Down ජුනි 6 වැනිදා නිකුත් විය. මේ මාසයේදීම CBS ආයතනය ඔහුගේ රූපවාහිනී ප්‍රසංග දෙකක් පටිගත කළේය. එල්විස් සහභාගි වූ අවසන් ප්‍රසංගය ඉන්දියානාපොලිස්හී ජුනි 26දා පැවැත්විණි.

1977 අගෝස්තු මාසයේ 16 වැනිදා සවස එල්විස් ප්‍රසංගයක් කරා මෙම්පිස් බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි. එදින දහවල් ඔහු සිටියේ ග්‍රේස්ලන්ඩ්හි නිවෙසේය. දහවල් වන විට ඔහු පෙනෙන්නට නොසිටියේය. ගෙය පුරා ඔහුව සෙවූ ජින්ජර් ඇල්ඩෙන් අවසානයේදී නාන කාමරයේ බිම වැටී සිටි එල්විස්ව සොයා ගත්තේය. එවේලේම ඔහුව රෝහලට ගෙන යන ලදී. වෛද්‍යවරුන් නැවත සිහිය ලබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරූ නමුත් අසාර්ථක විය. සවස 3.30ට පමණ ප්‍රෙස්ලි මිය ගිය බව නිල වශයෙන් නිවේදනය කෙරිණි.

ඔහුව ඇතුළත් කළ බැප්ටිස්ට් අනුස්මරණ රෝහලේ වෛද්‍ය නිවේදනය පිළිබඳ වෛද්‍ය එරික් මියුර්හෙඩ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මරණ පරීක්ෂණයෙදී අඝාතයක්, හදවත දුර්වල වීමක් හෝ පෙණහැල්ලේ රෝගයක් පිළිබඳ කරුණු හෙළිදරව් නොවිණි. එහෙත් ඔහු නිදන්ගත දියවැඩියා රෝගයෙන් සහ මල බද්ධයෙන් පීඩාවට පත්ව සිටි බවට සොයා ගැනිණි.

එදින රාත්‍රී 8ට පමණ මරණ පරීක්ෂණය කළ වෛද්‍ය කණ්ඩායම සහභාගි වූ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්විණි. එම කණ්ඩායමේ ප්‍රකාශක ලෙස වෛද්‍ය ජෙරි ෆ්රැපන්සිස්කෝව පත්කර ගත්හ. සෙසු සාමාජිකයන් සියලු දෙනාම පුදුමයට පත් කරමින් ඔහු එල්විස්ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව මාධ්‍ය හමුවේ පැවැසීය. එය කණ්ඩායමේ අවසන් තීරණයට පටහැනි වූවකි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මරණයට නිශ්චිතවම හේතුව පැවසීමට දින කිහිපයක් ගත වන බවයි. එමෙන්ම මෙම මරණය සිදුවීමට ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවක් නොවූ බවත් පැවැසීය.

සති කිහිපයකින් විෂ රසායන වාර්තාව නිකුත් විය. එහි සඳහන් වූයේ එල්විස්ගේ ශරීරයේ වේදනානාශක ඖෂධ රැසක් අන්තර්ගතව තිබූ බවයි. ටෙනිසි වෛද්‍ය මණ්ඩලය විසින් මෙම මරණය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එල්විස්ගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ ජෝර්ජ් නිඩෝපූල්ස් හට නඩු පැවරීය.

නඩු විභාගයේදී ඔහු විසින් 1975 සිට ප්‍රෙස්ලිට 8,000කට අධික මාත්‍රාවන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරු ලියා ඇති බව තහවුරු විය. වෛද්‍ය නික් තමාට එරෙහිව ඇති චෝදනාවන්ට පිළිතුරු දෙමින් පැවසුවේ එල්විස් දැඩි ලෙස නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි බැවින් එයින් ඔහුව මුදා ගැනීමට මෙම ඖෂධ ලබා දුන් බවයි. මණ්ඩලය එය පිළිගත් අතර ඔහුව නිදහස් කරන ලදි. නැවතත් 1980දී ද ප්‍රෙස්ලි සහ ගායක ජෙරීලි ලෙවිස්ට අධි මාත්‍රාවෙන් යුතු ඖෂධ ලබාදීම යන චෝදනා ඔහුට එල්ල වන අතර එයින්ද නිදහස් වේ. නමුත් 1995දී නැවත වෛද්‍ය නික් ලබාදෙන ප්‍රතිකාර පිළිබඳ චෝදනා එල්ල වන අතර ඒවාට වරදකරු වීම නිසා ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අවලංගු කරයි.

එල්විස්ගේ මරණය පිළිබඳ පර්යේෂණ මේ දක්වාම සිදු කරන අතර මරණයට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය නොවීම විශේෂත්වයකි. ඔහුගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය පිළිබඳද යමක් සටහන් කළ යුතුයි.

ප්‍රෙස්ලිගේ දේහය 1977 අගෝස්තු 17 වැනිදා ග්‍රේස්ලන්ඩ්හි මහජන ගෞරවය පුද කිරීම සඳහා තිබූ අතර දහස් සංඛ්‍යාත ජනයා ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියහ. මේ විශිෂ්ට විනෝදාස්වාදකයා මියගොස් දැනට දශක තුනකට වඩා ගතව ඇතත් රොක් ඇන්ඩ් රෝල් ක්ෂේත්‍රය තුළ ඔහුව අභිභවා යෑමට තවමත් කිසිවකු සමත් වී නොතිබීම විශේෂත්වයකි.

මාතෘකා