කළු පැහැය කියවන විට මම සුදු පැහැය කියවමි

 ඡායාරූපය:

කළු පැහැය කියවන විට මම සුදු පැහැය කියවමි

මානවයාට සෑම යුගයකදීම අහිමිව ගිය බුද්ධියක් තිබේ. ඇතැම් විට ඒවා පරිගණක යුගයේ ක්ෂුද්‍ර විද්‍යාවට පවරා හෝ පූර්ණ වශයෙන් ගිලිහී යෑමකට හෝ ලක්ව තිබේ. යමකු විස්මයට පත්වන දැනුමක් අතීතය සතුය. පුරාවිද්‍යාව හෝ ඉතිහාසය මඟින් මතුකරන අශ්චර්යයන් සතුව එවන් උදාහරණ බොහොමයකි. යමකු ඒවා අධ්‍යයනය කර විශ්මයට පත් වන්නේ අතීත දැනුමේ ප්‍රබලත්වය හේතුකොටය. නමුදු අප සියල්ලෝම දැනුමේ පිපාසිතයෝ වෙති. කිසිදින සංතෘප්ත කළ නොහී ආශාවක්, දැනුම සොයා යෑම සම්බන්ධයෙන් මිනිසාට තිබේ.

ඉතිහාසයේ නොවූ අයුරින් මිනිසාට දැනුම විවෘතය. google සෙවුම දැනුම සොයා යෑමේ පර්යාය පදයක් වී තිබේ. වෙබ් පැටලුම් තුළ විශාල තොරතුරු ප්‍රමාණයක් සැරිසරයි. සෑම මොහොතකම සොයන්නෝය. නැතහොත් ජාලයට තොරතුරු සපයන්නෝය. සෑම මිනිසකුටම දරාගතහැකි දැනුමේ ප්‍රමාණයක්, නැතහොත් විභවයක් පවතී. කිසිවකු තමාගේ පූර්ණ විභවයට පත්වන්නට උත්සාහ දැරීම වෙහෙසකරය. එය පෙර පරම්පරා සමඟ ඈඳෙන කරුණක් වන අතරම මානව දියුණුව යනු පරම්පරා ගණනාවක ගැටුමේ සහ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්ය. යමකු යම් දෙයකට සුදුස්සකු බවට පත් කරන්නේ උක්ත විභවයයි. පරිකල්පනයෙන් ප්‍රබල මිනිසා බිහිවන්නේද ඔහු සතු විභව ශක්තියේ ප්‍රභලත්වය මතය.

ලොව බොහෝ සත්‍යයන් ලොවට විදාරණය කළ, ප්‍රබුධත්වයට පත්වූවෝ බොහොමයකි. ඔවුන් දැනුමෙහි ඝට්ටනයෙන් බොහෝ විෂය පථයන් පුළුල් ලෙස අධ්‍යයනය කළ අතර ඉන් නව න්‍යායන්, දර්ශනයන්, විද්‍යාත්මක හෙළිදරව් ලොවට ඇති කළහ. දැනුම මඟින් මිනිසා බොහෝ දේ සොයා ගැනීමේ යෙදුණි. සියලු විද්‍යාත්මක කරුණු යළිත් කලානුරූපව ලබන දැනුම අනුව යළි විමර්ශනයට ලක්කරමින් සොයාගැනීම්හි සාධාරණත්වය අභියෝගයට ලක් කරයි. බයිබලයට අනුව ජේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ “හෙළිකරනු නොලබන සැඟවුණු දෙයක් නැත. ප්‍රකාශයට පත්නොවන හෙළි නොවන කිසි රහසක්ද නැත” යනුවෙනි.

දැනුම වේගවත්ව වර්ධනය වෙයි. මිනිස්සු වැඩියෙන් දැනගැනීම පිණිස වෙහෙසෙති. ඒ සඳහා ඉගෙනුම ප්‍රධාන වෙයි. ඉන් හැකියාව වර්ධනය වෙයි. පුළුල් දැනුම් පරාසයක් මිනිසා අත්කරගන්නේ කැපකිරීම් හේතුකොටය. එය සාධනීය වන්නේ මිනිසා සතු බුද්ධි පරාසය අනුවය. බුද්ධිය පොදු රුචිය වර්ධනයෙහිලා වෙසැසි සාධකයකි. එය ඉහළ යන තරමට පොදු භාවිතයේ නිර්මාණාත්මක ගුණාත්මකභාවයද ඉහළ යයි. එය මිනිසා තුළද ඔහු වටා ඇති භෞතික පරිසරය මඟින්ද විහිදෙයි. එවන් මිනිසුන් වෙසෙන නගර, ගම් මෙන්ම රටවල්ද නිර්මාණාත්මකය.

පොදු ජන රුචිය වර්ධනය කිරීම යනු දැනුමේ පෝෂණයෙන් මිනිසා බුද්ධිමත් තලයන්ට පත්වීමයි. කුමන ආකාරයේ විශේෂණය වූ ශානරයක ඉහළ දැනුමක් ඇති විශේෂඥයකු වුවද සාහිත්‍ය සහ කලාව පරිශීලනයෙන් ලබන දැනුමේ පුළුල් අවබෝධය ජන රුචිය ඉහළ නැංවීමකි. එවන් සමාජයක උසස් රසවින්දනයට වැඩිදෙනකුට ප්‍රියය. ඔවුහු ඉහළ කලා කෘති පරිශීලනය කරන අතරම ප්‍රාමාණිකව උසස් රසවින්දනයෙන් යුතු කෘතීන් සමාජයට හඳුන්වාදෙති. එය අපූර්ව වන්නේ ලෝකය හා සංසන්දනාත්මකව ප්‍රමිතිගත කියවීමක් වන බැවිණි. පොදුජන රුචිය වර්ධනය වූ ප්‍රජාවක් දියුණු යැයි සම්මත සමාජ ලක්ෂණ ප්‍රකට කරයි. රටකට අවශ්‍ය වන්නේ රසය නීරසය හොඳින් හඳුනන්නෝය. දියුණු සමාජය එය හොඳින් හඳුනයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට අනුව “අප නිතරම ඇසුරු කරන්නේ අප ගැන හොඳ කියන අය පමණි. අපේ දුර්වලකම් ගැන කතා නොකර අපේ හොඳ පැත්ත පමණක් දන්නා අය මිතුරන් ලෙස අපි සලකමු. අප විසින් කල්පනා ලෝකයෙහි විසීමට අපට ආධාර කරන අය අපේ මිතුරෝ වෙති.” සාහිත්‍ය යනු එවන් කල්පනා ලෝකයයි. රස වින්දනය වූ කලී නිර්මල ආස්වාදයක් වන්නේ එබැවිනි. විලියම් බ්ලේක් කවියාට අනුව කවියක් රස විඳීමේ වඩාත්ම විය යුත්තේ පේළි අතර කියවීමකි. එය පරිකල්පනයකි .

“එහෙත් ඔබ

කළු පැහැය කියවන විට

මම සුදු පැහැය කියවමි”

ජීවිතය කලාවක් නම් ඔහු පොදුජන රුචිය හොඳින් හඳුනන්නෙකි. අනෙකා සමඟ මිත්‍රත්වය මෙන්ම ආදරයෙහි ගුණ දරන්නෙකි. ජීවත්වීම යනු නිරන්තර නිර්මාණාත්මක ප්‍රවාහයේ සෞන්දර්ය ආස්වාදයයි. එය විඳිය හැක්කේ දැනුමේ පෝෂණයෙන් මිනිසා බුද්ධිමත් තලයන්ට පත්වීමෙනි. ඔහුට ජීවිතය විඳිය හැකිය. එය සංගීතය හෝ වෙනයම් මාධ්‍යයක් විය හැකිය. ප්ලේටෝ සඳහන් කරන පරිදි උක්ත කාරණා වටහා ගතහැකි මනසකට සියුම් භාවය, ඉසියුම් කරන ලද පරිකල්පනය උරුමය. එවිට මිනිසා අතර මෙන්ම මිනිසා සහ භෞතික පරිසරය අතර අන්තර් සබඳතාවලදී දරදඬු නොවී කටයුතු කළ හැකිය. එය බුද්ධිමය විශිෂ්ටත්වයට පත්වීමකි.

බොහෝ මිනිසුන් වැඩ කටයුතුවල යෙදෙන්නේ තම බඩවියත වෙනුවෙන්ය. එහෙත් නියම ලෙස අස්වනු නෙළීමට නම් ඊටත් වඩා කැපකිරීම අත්‍යවශ්‍යය. යමක ගෞරවය මෙන්ම සාර්ථකත්වය වන්නේ එම කැපකිරීමයි. යම්කිසිවක් වෙනුවෙන් අප කැපවිය යුත්තේ තවකකු එය භාවිතයේ තෘප්තිය විඳීමටය. කිසියම් අලුත් ගමනක මඟ දිග ඇති බාධක කලින් දැකිය නොහැකිය. එය අත්දැකීමකි. වටිනාකම වන්නේ සියල්ල අභියෝග කොට ඇරඹූ දෙය අවසන් කිරීමය. දුෂ්කරතා පැනනඟින විට, අභියෝග විසල් වන විට, පළමුව වියැකී යන්නේ විනයය. එවන් විටක මිනිසුන් වෙහෙසුණද විනය අතුරුදන් විය හැකිය. සාර්ථකත්වය පමණක් සිතන මිනිසුන්ට එය ලැබෙන්නේ කලාතුරකිනි. සිටුවන ලද පැළයකින් වේලාසනින් ඵල නෙළා ගන්නේ නම්, නොපැහුණු එයින් කිසිවකුට සෙතක් හෝ සතුටක් නොලැබෙනු ඇත. පොදු ජන රුචිය යනු දිගුකාලීන අත්දැකීමකි. එය ඵල බර වන්නට කාලය අවශ්‍යමය.

මාතෘකා