ටෙලි විගඩම්

 ඡායාරූපය:

ටෙලි විගඩම්

මානවයා ස්වකීය ගමන් මඟේදී අත් කරගත් උදාර දායාද අතරින් කලාව ඉහළින්ම බැබළෙයි. ජාති, ආගම්, කුල, දේශසීමා ඉක්මවා විශ්වාන්තර මානව වාදයක් උදෙසාම කලාව පෙනී සිටියි. ජීවන අපේක්ෂා දලුලන සමාජයක් සඳහා කලාව නිරතුරුව අරගලයක යෙදෙයි. ඒ සඳහා කොතකුත් උදාහරණ මානව ඉතිහාසයේ ඇත.

කලාවේ මාධ්‍ය රාශියකි. කවිය, සංගීතය, චිත්‍රය, නර්තනය, නාට්‍ය, කෙටිකතාව, චිත්‍රපටය, ටෙලිනාට්‍ය ඒ අතර ප්‍රධාන වේ.

චිත්‍රපටය හා ටෙලිනාට්‍ය තාක්ෂණය සමඟ බිහි වූ කලා මාධ්‍යයෝ වෙති. සවන, නයන හා මනස එකවර පිනවීමේ සමත්කම චිත්‍රපටය හා ටෙලිනාට්‍ය සතුවේ. මේ අතරින් වර්තමාන ලාංකික සමාජයට වඩාත් සමීප කලා මාධ්‍යය ටෙලිනාට්‍ය බව අවිවාදිත කරුණකි. එයිනුත් ලංකාවේ ග්‍රාමීය සමාජය අතර ටෙලිනාට්‍ය අතිශය ජනප්‍රිය බව පෙනේ.

ලාංකික ටෙලිනාට්‍ය කලාවට ගෞරවනීය ඉතිහාසයක් ඇත. වර්තමානය ඛේදාන්තයකි. මෙයට දශක දෙකකට තුනකට පමණ පෙර බිහි වූ කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව, වෙද හාමිනේ, දිය කැට පහන, සින්තටික් සිහින, පිටගම්කාරයෝ බඳු ටෙලිනාට්‍ය ඥානයේ නිම් වළලු පුළුල් කළේය. වර්තමානයේ කලාතුරකින් එබඳු විශිෂ්ට නිර්මාණයක් බිහිවේ. “ කූඹියෝ” මෑත උසස් නිර්මාණයක් සඳහා නිදසුනකි. මේ දිනවල ප්‍රචාරය වන ගණන් කළ නොහැකි තරම් ටෙලි නාට්‍ය අතරින් “සුදු ඇඳන් කළු ඇවිදින්” තරමක් දුරට හෝ බලා සිටිය හැකි නිර්මාණයකි.

වර්තමානයේ ප්‍රචාරය වන ටෙලිනාට්‍ය බහුතරයක් කවර ලෙසකින් හෝ කලා මාධ්‍යක් ලෙසට හැඳින්විය නොහැකිය. මේ දිනවල සතියේ දින පහේම පෞද්ගලික නාලිකාවක රාත්‍රී 8.00 සිට ප්‍රචාරය වන ටෙලි නාට්‍යයක් යැයි කියා ගන්නා විගඩමක් බිහිසුණු අපරාධයක නියැළෙයි. පාසල් නිල ඇඳුම අවභාවිතයේ හෙළයි. උතුම් ගුරු වෘත්තිය කෙලෙසයි. භික්ෂුවගේ සිවුර, පොලිස් නිලධාරියාගේ කාකි ඇඳුම, පාසල් දරු දැරියන්ගේ සුදු ඇඳුම සාමාන්‍ය ඇඳුම් නොවේ. එම ඇඳුම් සඳහා සමාජයේ ගෞරවනීය ආකල්පයක් ඇත.

ගණිකාවකට වුවද මාධ්‍ය ප්‍රචාරයක් ලද හැකිය. ගණිකාව පාසල් නිල ඇඳුමක් පැලඳ ජන මාධ්‍යයක පෙනී සිටිය හොත් එහි ගැටලුවක් මතුවේ. වයස දහතුන, දහඅට අතර වයසේ දරුවන් (විශේෂයෙන් ගැහැනු දරුවන්) පිළිබඳ දියුණු රටවල විශේෂ රැකවරණයක් ඇත. එම වයසේ දරුවන්ගේ කායික මානසික වෙනස්කම් සමඟ නිතර කුතුහලයෙන් පසුවෙති. වැඩිහිටි සමාජය එම වයසේ දරුවන් ආරක්ෂාවන ලෙසට කටයුතු කළ යුතුයි. දීර්ඝ අධ්‍යාපනයකින් පසු ශල්‍ය වෛද්‍යවරයකු වන තැනැත්තා රෝගියාට සිතාමතා කිසිඳු හානියක් නොකිරීමට දිවුරා පොරොන්දු වෙයි. එලෙසම නිර්මාණකරුවාද කැමරාවක් අතට ගත්පසු සමාජය අනතුරේ නොහෙළන බවට තමාටම දිවුරා පොරොන්දු විය යුතුය. අනාගත අපේක්ෂාවන් සහිතව වැඩෙන සංස්කෘතික සමාජයක හදවත ගලවා අතට ගැනීම නිර්මාණ කාර්යයක් නොවේ. සමාජ ප්‍රගමනය කලාවේ අරමුණයි. පාසල් නිල ඇඳුමින් දරුවන් පෙම් කරන ජවනිකා, ගුරුවරු නිරතුරුව පෙම්බස් දොඩවන ජවනිකා සහිත විගඩම් දකින ළමා සමාජය අනාගත ලෝකයට නොව නැවත වනය දක්වා පසු බසියි.

විභාග සමත් වීම සඳහා දෙවියන් ඉදිරියේ වැඳ වැටීමට තරම් පසුගාමී ජන සමාජයකට (නම සඳහන් කිරීමට ද අපුල ) ටෙලි විගඩම් නැරඹීමෙන් කිව නොහැකි තරම් විපතක්ම සිදුවේ. මෙම විගඩම් සඳහා ආසක්ත වනුයේ ද මඟහැරීම් (Arrias) සහිත පීඩක ජන කොටසකි. තම මනසේ හොල්මන් කළ සිහින මුදා හැරෙනු දැක ඔවුහු සතුටු වෙති. ගංජා සුරුට්ටුව සහ කුඩු පැකට්ටුවද යම් ප්‍රමාණයකට ඉහත අරමුණ වෙනුවෙන්ම පෙනී සිටියි. ප්‍රේමය වැනි විශිෂ්ට මාතෘකා මානව ප්‍රාග්ධනයේ ප්‍රගමනයට නූතන ලංකාව වැනි සමාජවලදී යොදාගත යුතුය. ඕනෑම ජන කොටසකට (පාසල් දරුවාට, ගුරුවරයාට) නිදහසේ පෙම් කිරීමේ අයිතිය පැවතිය යුතු බවට තර්ක නඟන්නෝ ද සිටිති. එහෙත් එය පොදු දහමක් කිරීමට යත්න දැරීම සාධාරණද? රාජ්‍යයකට කලාව, නීතිය අවැසි වනුයේ කුමකට ද?

ධනවාදී අර්ථ ක්‍රමය කලාවට සතුරු යැයි මහා දාර්ශනික කාල් මාක්ස් ශ්‍රීමතාණෝ පැවසූහ. එම සුභාෂිතය නැවත පසක් වනුයේ ලංකාවේ දක්ෂ චරිතාංග නළුවකුද මෙම ටෙලි විගඩමේ අපූරුවට විකිණෙනු දුටු විටදීය.

අප මුහුණපා සිටින බාහිර හා ආධ්‍යාත්මික සංකූලතා කලාව මඟින් ප්‍රතිනිර්මාණය වේ. එම අර්බුද සමතික්ක්‍රමණය කිරීමට සමාජය සාමූහිකව මෙහෙය වීම කලාවේ අරමුණු අතරින් එකකි. වඩා සුවපත් සමාජයක් නිර්මාණය කිරීම හා පුද්ගල ප්‍රඥාවේ නිම් වළලු ප්‍රසාරණය කලාවේ ප්‍රමුඛ කාර්යයි.

පාසල් දරුවන්ගේ හා ගුරුවරුන්ගේ ආධ්‍යාත්මය උලාකෑමෙන් එබඳු ප්‍රඥාවක් ජනිත වේද?

අසතො මා සත්‍යං ගමාය

තමසෝමා ජොතිර් ගමාය

ගුරුවරු යනු අසත්‍යයෙන් සත්‍යට ද අන්ධකාරයෙන් ආලෝකයටද දරු පරපුර මෙහෙය වන්නෝය. එබඳු උත්තම වෘත්තියක ගෞරවය කෙළෙසා මුදල් ඉපයීම සාපරාධී ක්‍රියාවක් නොවන්නේද?

තම මව හෝ බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයන අඥානයාට සදාචාරය හා සංස්කෘතිය වෙ‍ළෙඳ භාණ්ඩයකි. එබඳු කුලී ඝාතකයන් අවුරුදු ගණන් ඇදෙන බාල ටෙලි විගඩම් හඬකවා පෙන්වීම ද සිදු කරයි. ඔවුහු “ඔෂින්” වැනි ලොව පිළිගත් නිර්මාණ නොදකිති. එබඳු නිර්මාණ ඔවුන්ගේ බාල න්‍යායපත්‍රයට හසු නොවෙයි. ජපානයේ N.H.K බඳු නාලිකා ලංකාවේ අහිංසක දරුවන්ට කවදා හිමිවේද? එය ඔවුනට සිහිනයක්ම වනු ඇත. වර්තමානයේ දරුවන්ට විශිෂ්ට ටෙලි නිර්මාණ දැක ගැනීමට නොලැබී යෑම කනගාටුවට කරුණකි.

මාතෘකා