අපි කන හැටි අපිට වටී

 ඡායාරූපය:

අපි කන හැටි අපිට වටී

පහුණුදොහක කෝංගල ගියාම ඕං අයියා උඹැහැට මාළුවක් පින්නක්වත් ඇඹුල් කරගන්නෙයි කියාලා මේ ටික පොදි බැඳ තිබ්බා කියලා කිව්වෙ කලු මල්ලිගෙ නගා. බැලින්නං ගොරකා මල්ලක්. අවුරුද්දක් කන්ඩ තරං ගොරක. ඇන්න ආවම අම්මා කිව්වෙ ඕං බං ඔව්වට ලුණුත් දාලා තම්බලා අඹරා තිබ්බා නම් ආයෙ ලේසියි බලයෙක්, කුම්බලාවෙක් වුණත් ඇඹුල් තියා ගන්ඩ වුවමනා වෙච්චි වෙලාවක කියලා. අපේ ගෙවල්වල කෑම් පීම් ගැන ඕං ඔයි වාගෙ කරුණු කාරණා තමයි නිතර මතු වෙන්නෙ. හැබෑවට ඒ වාගෙ කතා ගැන මට තියෙන්නෙ අපරිමාණ සංතෝෂයක් ආඩම්බරයක් ආයිබොවන්ඩ. ඇයි දන්නවද මේ හැම එකක්ම ඇඟට ගුණක් මිස අගුණක් නොදෙන කැවිලි කියාලා ඉන්තේරුවෙම්ම කිව්වැකි නෙව.

 මේං මේක ලියන්ඩ ගත්තෙත් ගලේ තලාපු පොළොස් මාලුවකුයි, දෙමළ දඹල කිරට හි‍න්දලායි ලුණු දෙහි පෙත්තකුත් ළං කරගෙන සුදු බත් එක්ක කාලා. අපි ඉතිං ලෙඩින් වැටුණොත් ගමන් ගෙඩිය වාගේ රට වටේ කරක් ගහද්දි කන හෝටල කෑම හින්දා මිස ගෙවල්වල කන ජාතිවලින් නම් නෙවෙයි ඕං. මේ පෙරෙයිදා බලද්දි අවුරුද්දකට උඩදි හිටවාපු දළුක් දඹල වැලේ නිල් සුදු මල් පිපිලා. උන්දෑ පූදින්න හොර වෙද්දි ඇඹේනි කිව්වා මේක උගුල්ලලා විසික්ක කරන්ඩවත් වෙයි කියාලා. මට ඒකට හිත දුන්නෙ නෑ.

මොකද දඹල වැල මළත් අලෙන් හරි ආයෙ පැළ වෙනවනේ. ඒ හින්දා මං කෙරුවේ කලවම් මැල්ලුමට දඹල දළු එක්කහු කරන්ඩ පුළුවන් විත්තිය අරුන්දැට කියලා දීපු එක. ඒකෙන් වැල් ගාලත් බේරිලා දැන් මලුත් පිපිලා එක දෙක ළපටි කරලුත් මෝදු වෙලා. අඟල් හතරක් විතර දිග ඒ ළපටි කරල් දැක්ක ඉස්සරහ ගෙදර නැන්දා කිව්වා,“ඕං පුතේ තව අඟලක් දික් වුණාම ඔය කරල් අමුවෙම්ම කෑවැකි.” කියලා. උන්දැ නම් කරනවා කිව්වෙ දඹල කරල් හීන්වට ලියාලා හෝ මිරිස් කරලක් දෙකකුත් ලියලා එක්කාසු කරලා ලොකු ලූනු, තක්කාලි නැත්තං දෙහි දාලා අනලා ගන්න එක. ඒ විත්තිය කියද්දි මට මතක් වුණා දවසක් පස්සරදි රහමෙර බොන්ඩ ගියපු අපි දෙතුන් දෙනෙක් ඒ නෑ ගෙදර දඹල වැලේ සේරම කරල් කටගැස්මට කෑ හැටි. ඒ වේලෙ එතැනින්ම කඩා ගත්ත බණ්ඩක්කා කෑවෙත් අමුවෙන්. සෙවලයි කියලා බලන්නෙ නැතුං අමු ළපටි බණ්ඩක්කා සම්බෝලෙට හදලා කාලා බලන්ඩ. ඒ වාගෙම බණ්ඩක්කා තම්බලා පොල් ටිකක් ගාගත්තත් කන්ඩ රහයි. අමුවෙන් කන සම්බෝලෙට කරවිල, වට්ටක්කා එහෙමත් අගෙයි නෙව. වට්ටක්කා නම් ගාලා කැරට් සම්බල වාගෙ තමයි හදාගන්ඩ ඕනැන්නෙ.

ගෝවා කොළ මැල්ලුම වාගෙ ලියාලා ළපටි අලිපේර කොළ මලවාන කන්ඩ පුළුවන් කියාලා අර ඉස්සරින්දා කිව්වෙ අපේ සසංකනේ. සසංක කීව තවත් දෙජාතියක් ගැන කියන්ඩ ඉඩ තිබා ගත්තා මේ පාර. මෙයි ඇත්තො අහලා ඇති ‘හොඬපර’ ගැන. අපේ පාරම්පරික වෙදකමට ගන්ඩ පුළුවන් බෙහෙතක් තමයි හොඬපර කියන්නෙ. ‘වම්පර’ එහෙම නැත්නම් ‘හොඬපොල්ලන්’ කියලත් එව්වට කියනවාකියල කිව්වෙ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ වැඩ කරන නාමල්. මේ ඇත්තො මතක තියාගන්ඩ ගොඩපර, දියපර, හොඬපර වාගෙ සුදු මල් පිපෙන එව්වාට අපේ දේශීය වරිගක්කාරකම තියෙනවා. අර කළු ගඟ දෙපැත්තෙ තියෙන කහ මල් පිපෙන එව්වා ආක්‍රමණිකයි. ඔය හොඬපර තම්බලා ඔලුවෙ උලලා ඉස්සොරි නැති කරන්ඩ පුළුවන් කියලා අහලා ඇතිනේ. ඉතිං එව්වා බඩටත් ගුණ ඇඹුලක් උයාගන්ඩත් පුළුවන් ජාතියක් බව දැන ගන්ඩ හොඳයි. ඒකෙදි මුලිම්ම කරන්නෙ හොඬපර ගෙඩිය වටේ තියෙන මලේ මණිපත්‍රවලින් හැදිච්ච බොරු ගෙඩිය පොතු ගලවලා අහක් කරගන්න එක. එතකොට පොඩි මැංගුස් ගෙඩියක් වාගෙ ගෙඩියක් ඉතුරු වෙනවා.

ඒක පැලුවම මැද්දෑවෙ තියෙන ළොඳයයි ඇටයි අහක් කරගන්ඩ පුළුවන්. හා දැන් කරන්නෙ ගෙඩි මදේ කැබලි කරලා කහ වතුරට දාගන්න එක. අර වම්බටු කපද්දි වාගෙ එහෙම කරන්නෙ කහට පිපෙන හින්දා. පස්සෙ ඩිංග වෙලාවක් උණු දියේ තම්බා දිය ඇරලා දුරු, මිරිස්, ගම්මිරිස්, කහ, ලුණු, ලූනු, කුරුඳු, කරපිංචා එහෙම එක්කහු කරලා තෙම්පරාදු කරාගෙන තැම්බීගෙන එද්දි මිටිකිරි ටිකක් දාලා හින්දා ගන්න එක. හොඬපරත් එක ජාතියක ඇඹුලු වෑංජනයක් තමයි. හොයාගන්ඩ හම්බ වුණොත් උයාගෙන කාලා බලන්ඩ.

සසංක කිව්වෙ ඔය විදිහටම මී ගෙඩිත් උයා කන්ඩ පුළුවන් කියලා. මී ඇටෙන් හිඳින මී තෙල් දාලා උයන බතුයිමීක් රොටී, මී මල් හැලප ගැනයි එහෙම අපි මීට ඉස්සර කතා දමලා තියෙන්නෙ එව්වා කාපු ඒ ගැන අහපු මතකත් එක්ක. මී ගෙඩි උයන්ඩ නම් ගස්වලට ගොඩ වෙලා පැහිච්ච මී ගෙඩි කඩා ගන්ඩ වෙනවා. එහෙම කියද්දි මතක් වුණේ අපේ වත්ත පහළ මී ගහ පහුගිය වැස්සට ඉදිරිලා වෙළට වැටුණා දැන් ඒක දොයියාගෙන දළු දානවා. මං බලං ඉන්නෙ ඵල ගනියිද කියලා. රජ කාලේ මී ගස් කපන්ඩ තහනම්ලුනෙ. ඒ වවුල් පොහොරයිමී කොළ පොහොරයි එක්කාසු වෙන හින්දා. හා ඉතිං මී ගෙඩි තියෙනවා නම් පිට සිවියයිඇටයයි අහක් කරලා තෙම්පරාදු කරගෙන කිරෙන් හින්ද ගත්තොත් බත් කන්ඩ වෑංජනයක් පෑහෙනවා.

මාතෘකා