හෙට මලක් වනු පිණිස....

 ඡායාරූපය:

හෙට මලක් වනු පිණිස....

පැමිණෙන දුෂ්කරතාවන් සහ බාධක හේතුවෙන් මිනිසුන් තව තවත් ශක්තිමත් වෙනවා. ජීවිතේට අභියෝග එන තරමට තව තවත් උද්යෝගයෙන් සහ ශක්තිමත්ව කැපවීමෙන් ඒවාට මුහුණදිය යුතුයැයි කියාපාන ජීවමාන සාක්ෂි අපට හමුවෙනවා. එවන් මිනිසුන් සාමාන්‍ය යැයි සම්මත කුලකයෙන් වෙන්වී විශිෂ්ටයන් බවට පත්වෙනවා.

මේ කතාව ඇරඹෙන්නේ කොලු ගැටයකුගේ ළමා කාලයෙන්. මේ දරුවා හරි ක්‍රියාශීලියි. නිතරම සෙල්ලමේ යෙදෙනවා. ඔහු විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩාවට සමත්කම් දක්වන්නේ එය තමන් උපතින්ම ගෙන ආ හැකියාවක් වගෙයි. මේ දරුවාගේ පියා යකඩ කම්හලක කම්කරුවෙක්. මව පිරිසිදු කරන්නියක්. පවුල් පසුබිමෙන් අතිදුෂ්කරතා අත්විඳින මේ දරුවා සිය ඉරණම පාපන්දුව මත විසඳන්නට අදහස් කරනවා. ඔහු සමත්කම් පෑවේ එයට බැවින් එහි වරදක් කවුරුන් හෝ දුටුවේ නැහැ.

ජීවිතයට අභියෝග එන්නේ හොඳ ගමනක් යන්න උත්සුක වන අවස්ථාවන්වලයි. වයස අවුරුදු 11දී ඔහු වර්ධක හෝමෝන හිඟතාව ආශ්‍රිත රෝගයකින් පෙළෙන බව සොයාගන්නවා. ඒ වෙනුවෙන් ඔහුට ලබාදිය යුතු ඖෂධවල මිල අධිකයි. කම්කරු පවුලක් වුණු ඔවුන්ට එය දරාගන්න හැකියාවක් නැහැ. මේ මොහොතේදී මේ දරුවා තම ක්‍රීඩා සමාජය හා එක්කර ගන්න රිවර් ප්ලේටෝ කණ්ඩායම කැමැත්ත පළකලත් වෛද්‍ය වියදම් දරන්න ඔවුන් එකඟතාවක් පළකරන්නේ නැහැ.

මේ අවස්ථාවේ ඔහුගේ පිහිටට එනවා ලෝක ප්‍රකට බාර්සිලෝනා කණ්ඩායමේ පුහුණුකරු වූ කාර්ල් රෙක්සැච්. සමත්කම් පිළිබඳව පැහැදීමකට පත්වෙන ඔහු පුහුණු කාලයක් සඳහා මේ දරුවා තම කණ්ඩායමට කැඳවනවා. එමෙන්ම වෛද්‍ය වියදම් දරන්නත් එකඟතාවක් ඇතිවෙනවා. 1987 ආර්ජන්ටිනාවේ උපන් ඔහු ඒ සමඟ ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමක් වූ බාර්සිලෝනාහි තරුණ ඇකඩමියට සම්බන්ධ වෙනවා. මෙයයි ඔහුගේ ජීවිතය වෙනස්කරනු ලබන තැන ලෙස සලකන්නේ.

2004/2005 තරගවාරයේදී ඔහුගේ පළමු පෙනී සිටීමේදීම ලීග් ගෝලයක් ලබාගත් ලාබාලතමයා බවට පත්වීමත් එක්කම ලෝකයේ අවධානය කෙමෙන් තමා දෙසට දිනාගන්නට සමත්වෙනවා. කව්ද මේ තරුණයා? ඔහු පාපන්දු ලොව උන්මාදයක් ඇතිකරනු ලැබූ ලියොනල් මෙසී. දැන් ඔහු හඳුන්වන්නේ කොහොමද? යකඩ කම්හලක සේවකයකුගේ සහ පිරිසිදු කරන්නියකගේ පුත්‍රයා ලෙසද? වර්ධක හෝමෝන හිඟතාවෙන් පෙළුණු දුර්වල දරුවකු ලෙසද?

නැත. අද ඔහු හඳුන්වාදෙන්නේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙසයි. ලොව ශක්තිමත්ම දෙපා හිමි ක්‍රීඩකයා ලෙසයි. 2012 වසරේදී වසරක් තුළ වැඩිම ගෝල ලබාගත් වාර්තාව තමා සතුකරගත් ඔහු ජර්ඩ් මුලර් විසින් තබනු ලැබූ ගෝල 85 වාර්තාව බිඳහෙලමින් ගෝල 91ක් රැස්කරගනු ලබනවා.

"මගේ වාර්තාව වසර 40ක් තිස්සේ නොකැඩී තිබුණා. මේ වන විට ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා විසින් එය බිඳහෙලා තියෙනවා. මම ඔහු ගැන උද්දාමයෙන් ඉන්නේ. ඔහු අසාමාන්‍යයි, දැවැන්තයි." මෙසී ගැන මුලර් කිව්වේ එහෙම.

2012 වසර අවසානයේ ඔහුට රුසියානු පාපන්දු කණ්ඩායමකින් ලැබෙනවා සුවිශාල කොන්ත්‍රාත් යෝජනාවක්. එහෙත් ඔහු එය ඉවත දමමින් තවදුරටත් බාර්සිලෝනා කණ්ඩායම සමඟ රැඳී සිටිනවා. බාර්සිලෝනා කණ්ඩායම හා රැඳී සිටිමෙන් ඉන්ග්ලිෂ් ප්‍රීමියර් ලීග් තරඟාවලියත් ඔහුට අහිමි වෙනවා.

"බාර්සිලෝනා කියන්නේ මගේ ජීවිතය. ඔවුන් තමයි මා මේ අද සිටිනා තැන කරා රැගෙන ආවේ. මට යන්නට වුවමනාවක් නැහැ. මගේ හදවත හැමවිටම බාර්සිලෝනා සමඟයි."

වයස 11දී ආජන්ටිනාව හැර ආ ලියොනල් මෙසීට 2004 වසරේදී ස්පාඤ්ඤ වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමට ක්‍රීඩාකරන්නට ආරාධනයක් ලැබෙන්නේ ඒ වන විට ඔහු එරට පදිංචිකරුවකු නිසයි. ඔහු තෝරාගන්නේ ඔහු උපන් රට වූ ආජන්ටිනාවයි. 2005 වසරේ ෆිෆා තරුණ ශූරතාව කරා ඔහු සිය රට මෙහෙයවනු ලබනවා.

2006 වසරේදී ඔහු ආජන්ටිනාව නියෝජනය කරමින් පාපන්දු ලෝක කුසලානයට එක්වන්නේ එරට නියෝජනය කළ ලාබාලතමයා ලෙස වාර්තාවක් හිමිකරගනිමින්. 2008 වසරේ බෙයිජින් ඔලිම්පික් උලෙළේ සිය රට රනින් සරසන්නට ඔහු සමත්වෙනවා.

තවත් විශිෂ්ටයකු වුණු දියාගෝ මැරඩෝනා විසින් කියනු ලැබු අදහසකින් මෙසී කෙතරම් විශිෂ්ටයකුදැයි කියවෙනවා.

"පන්දුව ඔහුගේ පාදයේ ඇළුණු ආකාරයකට හැසිරෙනවා. මගේ ක්‍රීඩා කාලය තුළ මම ඇතිතරම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් දැකලා තියෙනවා. එහෙත් ඔහු තරම් හොඳින් පන්දුව පාලනය කරන්නෙක් මා දැක නැහැ."

මේ විශිෂ්ටත්වය නිසාමයි ලියොනල් මෙසී පාපන්දුවේ විශිෂ්ටත්වයට පිදෙන බැලොන් ඩිඔර් සම්මානයෙන් පස්වරක් පිදුම් ලබන්නේ. නොම්මර 10 ජර්සිය දරන ලියොනල් මෙසීට තවමත් ළඟාකරගත නොහැකි වී ඇත්තේ පාපන්දු ලෝක කුසලානයක පහසයි. ඔහු නවතාලිය හැකියැයි කාට කිවහැකිද?

තමන් විඳින දුෂ්කරතා ජීවිතය දිනන්නට අවැසි යෝධ ශක්තිය සපයන උත්තේජකයන් ලෙස සලකන මිනිසුන් මේ අයුරින්ම හෙට දවසේත් ලොව ජයකෙහෙළි නංවන බව නම් සත්‍යයක්. තමන් සතු දුර්වලතා පරාජය කරගනිමින් අඛණ්ඩ කැපවීමෙන් ඉලක්කගතව දිනුම් කණුව කරා ඇදෙන්නට සියල්ලන්ටම මඟ පෙන්වන ආලෝකය නිකුත් කරන්නේ එවන් විශිෂ්ටයන්. සුළු දෙයකින් පවා අධෛර්යට පත්ව සියල්ල අතහැර යන මිනිසුන්ට ලියොනල් මෙසීගෙන් යමක් උකහාගන්නට හැකියි. රත්න ශ්‍රී කිවිවරයාණන්ගේ ඔහුගේ කවි පදයක මේ කතාවෙහි සංක්ෂිප්තයක් මෙසේ දක්වා තිබේ.

"දුෂ්කරයි කියා හැර යායුතුද ජීවිතය...

කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස"

[මේනක මදුජිත්]

මාතෘකා