ගුණගරුක මිනිසකු බිහිකිරීමට නම්

 ඡායාරූපය:

 ගුණගරුක මිනිසකු බිහිකිරීමට නම්

ළමයා යනු කුඩා වැඩිහිටියෙකි. ඔහු කුඩා කල සිට දිනෙන් දින වැඩෙන්නේ තම අවට පරිසරයේ අසන දකින දෑ අද්දැකීම් කොටගෙනය. ඒ අනුව මවුපියන් ඇතුළු පවුල අවට වටපිටාව ළමයාට පළමුව මුණගැසෙන සමාජානුයෝජනකාරක වන අතර ඒවා ළමයාගේ වර්ධනයට සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කරයි.

දරුවාගේ ස්වභාවය, හැසිරීම, කතා කරන භාෂාව අනුව ඔහු හෝ ඇය ජීවත් වන පවුල් පරිසරය පිළිබඳ කිව හැකිය. දරුවා වර්ධනය වන්නේ අද්දැකීම් ඔස්සේය. තම දැනුම පුළුල් කර ගන්නේ අත්දැකීම් මතය. ඒ අනුව ඔහුට වර්ධනයට හිතකර පරිසරයක් ගොඩනැඟීම මවුපියන් ඇතුළු වැඩිහිටියන්ගේ වගකීම වේ.

එසේම අද කුඩා දරුවන් දෙස බලන විට බොහෝ වැඩිහිටියන් කියන කාරණයක් නම් මීට වසර කිහිපයකට වඩා අද සිටින දරුවන් බුද්ධිමත්, ක්‍රියාශීලී දරුවන් බවයි. ඒ වගේම ඉතා මර්දනකාරී නොහික්මුණු ස්වභාවයෙන් යුතු බවද ඔවුහුම කියති. මේ සියල්ලට හේතුවන්නේ දරුවා ලබන අද්දැකීම්ය. දරුවා මවුකුස වර්ධනය වන කාලයේ මව අසන දකින දෑ, කරන්නා වූ දේ මෙන්ම සිතුම්පැතුම් පවා පසු කාලීන දරුවාගේ වර්ධනයට දැඩි ලෙස බලපාන බව වෛද්‍යවරුන්ගේ මෙන්ම මනෝ විද්‍යාඥයන්ගේද මතයයි. ගර්භණී කාලයේ ආගමික වතාවත්වල නියැළීම, රසවත් හා මිහිරි සංගීතයට සවන් දීම, පොතපත කියවීම ඉතා යෝග්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේද එබැවිනි.

පසුව ළමයා පෙර පාසලට, පාසලට යෑමත් සමඟ ලබන අත්දැකීම් තවත් පුළුල්වේ. එවිට විවිධ පරිසර පද්ධතීන් තුළ හැදෙනවැඩෙන දරුවන් එකට මුහුවන අතර එහිදී යහපත් වේවා, අයහපත් වේවා සියලු දෑ දරුවා උකහා ගනී. එය හරියට අප කුඩා කල ඇසූ ගිරා පැටවුන් දෙදෙනාගේ කතාව මෙනි.

අපේ කුඩා කාලය රසවත් කළේ ළමා ගී, ළමා කතා පොත්, හඳ මාමා වැනි ගුවන්විදුලි වැඩසටහන්, රූපවාහිනියෙන් විකාශනය වූ ළමා කාටූන්, ළමා කතා ආදියයි. එහෙත් ඒ සියල්ල අද වෙනස්ව ඇත. අද දරුවන්ට ගීයක් කීමට කී විට ඔවුන් ළමා ගී දන්නේ නැත. කවි දන්නේ නැත. ඔවුනට තම නිවෙසින්, පාසල් බස් රථයෙන් පවා ඇසෙන්නේ වැඩිහිටියන්ගේ ගීතය. ළමුන් සහභාගී කරගෙන ප්‍රචාරය වන විවිධ රියැලිටි වැඩසටහන්වල පවා ළමුන් ගයන්නේ වැඩිහිටියන් ගයන ගීතය. කාටූන්වල පවා දකින්නට ලැබෙන්නේ කෘෘරත්වය, පළිගැනීම, කපටිකම් වැනි ළමා මනසට අහිතකර, ළමා මනස විකෘර්ති කරන දෑය. ඒ වගේම කනගාටුවට කාරණයක් නම් අද දරුවන් පොතපතින් ඈත් වීමයි. වර්තමාන ළමා පරපුර ළමා සාහිත්‍ය අත්විඳින්නේ නැත. අඹ යාළුවෝ, මඩොල්දූව, හපනා, ආදී දේශීය නිර්මාණ හෝ හරි අපුරු ඉස්කෝලේ, ෆේමස් ෆයු වැනි විදේශීය නිර්මාණ හෝ බොහෝදෙනකු රස විඳින්නේ නැත. ඒ වෙනුවට ළමුන් රස විඳින්නේ කාටූන්ය, එසේත් නැති නම් වැඩිහිටියන් නරඹන ටෙලිනාට්‍ය දරුවන්ද එකට හිඳ රසවිඳින්නේ එහි හරයක් නොදැනය. ඊට ළමයාම වැරදි නැත. පොතපත කියවීමට වැඩිහිටියන් තම දරුවා හුරු කළ යුතුය. නිවෙසේ පොත්පත් ඇති නම් මවුපියන් ද පොතපත හා ළංව කටයුතු කරයි නම් දරුවන් ද නිරායාසයෙන්ම පොතපතට ළංවනු ඇත.

පොතපත ඔස්සේ දරුවන්ගේ දැනුම අවබෝධය පුළුල් වන අතර රසවින්දන ශක්‍යතාවද වර්ධනය වේ. එසේම හික්මුණු, සංවේදී පුද්ගලයකු බිහි කිරීමටද පොතපත ඉවහල් වේ. එහෙත් තරගකාරී අධ්‍යාපන රටාවක් තුළ ළමයාට ළමා සාහිත්‍ය ළං කර ගැනීමට ඇති ඉඩ අවමය. වැඩිහිටියන්ගේ වුවද ඊට අත්වැල අවම බව පෙනී ගිය කාරණයකි.

ළමුන් දැනුමින් පමණක් නොව, යහපත් ගතිගුණවලින් ද පිරිපුන් කළ යුතුය. එවිට අනාගතයේදී සර්ව සම්පූර්ණ මිනිසකු බිහිවනු ඇත. එවිට ඔබට ඔබේ දරුවා තුළින් අනාගතයේදී වෛද්‍යවරුයකු, ඉංජිනේරුවකු වගේම හොඳ කලා රසවතකු, ලේඛකයකු, කවියකුද දැකිය හැකිවනු ඇත.

ළමා කාලය පාසලට, අමතර පන්තිවලට සීමා නොකරන්න වැඩිහිටියන් වගබලා ගත යුතුය. ඔබ ඔබේ ළමා කාලයේ රසවත් අද්දැකීම් ලබා ඇත. ළමා කල ඇති නිදහස, ප්‍රීතිමත් බව අත්විඳ ඇත. ඔබ ඒ අත්දැකීම් දරුවාටද ලබා දෙනවා වෙනුවට ළමයාගේ ළමා කල ඔහුගෙන් හෝ ඇයගෙන් දුරස් කිරීම සාධාරණද? විශේෂයෙන් අද ළමුන්ගේ නිදහස අහිමි වීමට ප්‍රධාන කාරණයක් වන්නේ මවුපියන් තම සිතැඟියාවන්, ඉලක්කයන් දරුවාගෙන් සපුරාගැනීමට තැත් දැරීමය. එසේත් නැති නම් සමාජය හඹා යෑමට දරන ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. ඉන් තැළී පොඩිවන්නේ දරුවන්ය. ජීවිතේ සුන්දරතම කාල පරිච්ඡේදයක් වන ළමා කාලය ඉන් ඔවුනට අහිමි වේ.

දැනුමින් පමණක් සන්නද්ධ මිනිසා අර්ධ මිනිසෙකි. එසේ කියන්නේ හරිහැටි මිනිස්කම නොහඳුනනා, සංවේදී බවින් දුරස් වූ පුද්ගලයන් වන බැවිනි. මේ උදාවී ඇත්තේ සාහිත්‍ය මාසයයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇතුළු පොත් ප්‍රදර්ශන රැසක් මේ කාලය තුළ පැවැත් වනු ඇති. ඒවාට ඔබේ දරුවා කැඳවාගෙන යන්න. යහපත් පොතපත දරුවාට හඳුන්වා දෙන්න. ඔහුට කතන්දර පමණක් නොව කවියද සමීප කරන්න.

ඔබ ඔබේ දරුවා අනාගතයේ රටට වැඩදායී ගුණගරුක මිනිසකු වීම දැකීම අපේක්ෂා කරයි නම් දරුවා ලබන අත්දැකීම් යහපත් කිරීමට ඉටා ගත යුතුය. උසස් රැකියාවක් පමණක් නොව, උසස් ගතිගුණවලින් යුතු මිනිසකු කිරීම පිළිබඳ සිතා බලන්න.

[සත්‍යා නිර්මාණි]

 

මාතෘකා