ඩික්සන් සහ නෙලි

 ඡායාරූපය:

ඩික්සන් සහ නෙලි

විශ්ව සම්භාවනාවට පත් ද පික්වික් පේපර්ස්, ඔලිවර් ටුවිස්ට්, ද ක්‍රිස්මස් කැරොල් වැනි නවකතා රැසක කතුවරයා වන චාල්ස් ඩික්සන්, වික්ටෝරියානු යුගයේ සිටි ප්‍රමුඛතම ලේඛකයෙකි. සමාජය ඉදිරියේ දැඩි සුචරිතවාදියකු ලෙස පෙනී සිටියත් ඔහු සිය විවාහක බිරිය සිටියදීම වෙනත් තරුණියක හා රහස් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව දන්නා අය අල්පය.

ඔහු විවාහවී සිටියේ කැතරින් හෝගාත් සමඟය. ඔහු පෙම් කළ තරුණියගේ නම එලන් ටනන්ය. ඇය හැඳින්වූයේ නෙලි යනුවෙනි. චාල්ස් හා නෙලීගේ සම්බන්ධය වරින් වර කරළියට පැමිණියත් බොහෝ දෙනා සිතුවේ එය කටකතාවක් පමණක් වන බවයි. ඔවුන් අතර සම්බන්ධතාවක් තිබූ බවට සාක්ෂි සඟවා තිබූ අතර හුවමාරු වූ කිසිම ලිපියක් සොයාගත නොහැකි විය. එහෙත් ඩික්සන්ගේ දියණියක වන කැතීගේ මිතුරියක් වූ ග්ලැඩිස් ස්ටෝරි විසින් රචිත 'ඩික්සන් හා දියණියෝ' ග්‍රන්ථයේ ඇති තොරතුරුවලින් මෙය කටකතාවක් නොවන බවට තහවුරු විය. කැතී සිය මිතුරියට මවුපියන්ගේ වෙන්වීම සහ පියාගේ රහසිගත සම්බන්ධය පිළිබඳව තොරතුරු පවසා තිබිණි.

එහෙත් ඔවුන් අතර පැවතියේ ප්ලෝටනික ප්‍රේමයක් බවට ඇතැම්හු තර්ක කළහ. එම මතයද නිවැරදි නොවන බව තහවුරු වූයේ 1990 වසරේදී ක්ලේ ටෝමලින් රචනා කළද 'ඉන්විසිබල් වුමන්' නම් කෘතිය නිකුත් වීම සමඟය. මෙය 2013 වසරේදී සිනමාවට ද නැඟිණි.

දාහත් හැවිදිරි නෙලිව ඩික්සන්ට හමුවන විට ඔහු සිටියේ හතළිස් පස්වැනි විය පසුකරමිනි. එමෙන්ම දරුවන් දහදෙනකුගේ පියෙක් විය. ඩික්සන් 1857 වසරේදී සිය මිතුරකු වන විල්කි කොලින්ස්ගේ 'ද ෆොරස්ට් ඩීප්' නම් නාට්‍යය නිෂ්පාදනය කරයි. මෙහි රඟපෑම සඳහා සුප්‍රකට නිළියක වන ෆානි ටනන්ටද ඇරයුම් කරන අතර ඇය සිය දියණියන් දෙදෙනා වන මාරියා හා නෙලිවද කැඳවාගෙන එයි.

නෙලි රඟපෑමට පිවිස සිටියේ කුඩා අවදියේමය. ඇය සුරංගනාවක් මෙන් රූමත්, හුරුබුහුටි, චාම්, කාරුණික යෞවනියක් විය.

චාල්ස්ට නෙලි හමුවන විට ඔහුගේ පවුල් ජීවිතය ගතවෙමින් තිබුණේ අර්බුද මැදය. 1850 දශකයේ මුල් භාගයේ සිටම ඔහු සිය විවාහය සම්බන්ධයෙන් සිටියේ එතරම් සතුටකින් නොවේ. එම සමයේදී ඔහු සිය පැරණි පෙම්වතියක වන මාරියා බිඩිනල්ට නැවත ලිපි ලිවීමටද පටන් ගෙන තිබිණි. එමෙන්ම ඔහු සිය බිරිඳගේ බාල සොහොයුරියක වන ජෝර්ජිනා හෝගාත් සමගද සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව පැවසේ. ඩික්සන් කැමති අන්දමේ බිරිඳක් වීමට කැතරින්ට නොහැකි විය. වරෙක සිය මිතුරකුට ලිපියක් ලියමින් චාල්ස් පවසන්නේ කැතරින් දැන් ඕනෑවට වඩා ස්ථුල වෙමින් සිටින බවයි.

ඩික්සන් නෙලි සමඟ බැඳෙන්නේ මෙවන් තත්ත්වයක් තුළය. ඇය හමුවී වසරකින් ඔහු සිය බිරිඳගෙන් වෙන්වන අතර ඇය නිවසින් පිටවේ. චාල්ස් ඇයට රැගෙන යෑමට දෙන්නේ බාල පුතුව පමණි. අනික් දරුවන්ව ඩික්සන් තමා ළඟ තබාගත්තේය. ඔවුන්ව රැක බලාගත්තේ කැතරින්ගේ සොහොයුරිය වන ජෝර්ජිනාය. කැතරින්ට ජීවත් වීමට වසරකට පවුම් 600ක් ගෙවන මෙන් ඔහු සිය නීතිඥයාට උපදෙස් දුන්නේය.

මේ අතර ඩික්සන් තරුණියක් වෙනුවෙන් සිය බිරිඳව අත්හැර දමා ගිය බවට සමාජයේ රාවයක් පැතිර ගිය අතර ඉන් තම ප්‍රතිරූපයට හානියක් සිදුවේයැයි බියෙන් ඔහු පුවත්පත්වලට ප්‍රකාශයක් නිකුත් කළේය. මේ ටයිම්ස් පුවත්පතේ පළවූ එම ප්‍රකාශයේ කොටසකි.

'දිගු කලක් තිස්සේ පැවති මගේ ගෘහස්ථ ගැටලුවක් පසුගියදා එකලාසයක් කරගැනීමට කටයුතු යෙදුවෙමි. මෙම ගැටලුව කිසියම් ආකාරයකින් වඩාත් කුරිරු හා වැරදි අර්ථගැන්වීම්වලට ලක්විය.'

සිය බිරියගෙන් නිදහස් වුවත් ඔහු නෙලි සමඟ ඇති සම්බන්ධය පිටතට නිරාවරණය වනවාට කැමති වූයේ නැත. 1859දී ඩික්සන් ඇයගේ සොහොයුරියගේ නමට නිවසක් මිලදී ගෙන නෙලිව එහි නවත්වයි. ඉන් කලකින් ඇය රංගනයට සමුදුන්නාය. 1860 දශකයේදී ඩික්සන් අතින් ද ටෙල් ඔෆ් ටූ සිටීස්, ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් වැනි විශිෂ්ට නිර්මාණ රැසක් බිහිවන අතර ඒවායේ ඇතැම් කාන්තා චරිත ගොඩනඟා ඇත්තේ නෙලිගේ චරිතය ඇසුරින්ය. මේ කාලයේදී නෙලි ප්‍රංශයේ සිටි බව පැවසේ. ඇය එහිදි දරුවකු ප්‍රසූත කළත් ඔහු කුඩා අවදියේම මියගොස් ඇත.

1865දී ඇය නැවත එංගලන්තයට පැමිණෙයි. ඩික්සන් ඇය කැටුව ඇමෙරිකාවට යෑමට සැලසුම් කර තිබුණත් ඔහු එය අත්හිටුවන්නේ මෙම සම්බන්ධය ඇමෙරිකානු මාධ්‍ය ප්‍රශ්න කරයි යන බියෙනි.

වැඩිමහල් පුද්ගලයකුගේ අනියම් බිරිඳ ලෙස ජීවත්වීම ගැන පසුකාලයේදී නෙලි පසුතැවුනු බව පැවසෙතත් 1870දී ඩික්සන් මියයනතෙක්ම ඇය ඔහු හා රැඳී සිටියි. මිය යන විට ඔහු සැලකිය යුතු මුදලක් නෙලිගේ අනාගතය වෙනුවෙන් වෙන්කර තිබිණි.

ඩික්සන්ගේ මරණයෙන් සය වසරකට පසු නෙලි, ජෝර්ජ් වටන් රොබින්සන් නම් තරුණයෙක් සමඟ විවාහ වෙයි. එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකි. ජෝර්ජ් 1910දී මියයන අතර පිළිකාවක් වැලඳීමෙන් නෙලි 1924 අප්‍රේල් මස 25 වැනිදා මියයයි.

ඩික්සන් තමන්ගේ විවාහක බිරිඳට වඩා පෙම් කළේ තමාට වඩා විසිහත් වසරක් බාල තරුණියකටය. ප්‍රේමයේ හටගන්නේම උස් පහත්, වත පොහොසත් ආදී භේද සලකමින් නොවේ. ඒත් ඩික්සන් තමා පෙම් කළ තරුණිය විවාහ කර නොගත්තේ තමා පෙනී සිටි වික්ටෝරියා සදාචාරයට එරෙහිවීමට තරම් ශක්තියක් ඔහුට නොතිබූ නිසා විය හැක. ජීවිත කාලය පුරාම සුචරිතවාදී අදහස් දැරූ ඔහුට අවසානයේ රහසිගත පෙමක් ළඟම නතරවීමට සිදුවීම එක් අතකින් උත්ප්‍රාසය දන්වන්නකි.

මාතෘකා