අයං සාහිතං කාලෝ

 ඡායාරූපය:

අයං සාහිතං කාලෝ

මේ සාහිත්‍ය කාලයයි. ඉනික්බිතිව එළැඹෙන්නේ කියැවීමේ මාසයයි. වෙනදාට වඩා පොතපත ගැන වැඩි වැඩියෙන් කියවෙන්නටත් වාදවිවාද ඇතිවනේත් මේ කාලයේදීය. සෙසු ශ්‍රාවකයෝ වැසි සාර මාසයේ කුටියටම වී අලුතින් ජීවයලන තණපත් නොපාගා, කුඩා සතුන් නොපාගා දිවිගෙවන්නාක් මෙන්ම බුද්ධ ශ්‍රාවකයන්ටත් වස් විසීම අනුදැන වැදෑරුවක් මෙන් සාහිත්‍ය වෙනුවෙන්ද කාලයක් වෙන් කිරීම හොඳය. එම කාලය යහපත්ව සාහිත්‍ය ඇසුරින් කටයුතු කරන්නට ඉඩකඩ සකස් කරගන්නේ නම් ඊටත් වඩා හොඳය.

සාහිත්‍ය මාසයේ වැඩි වැඩියෙන් ඇසෙන්නේ සාහිත්‍ය ගෝරණාඩුය. ස්වර්ණ පුස්තක සම්මානය, ගොඩගේ සම්මානය, විද්‍යෝදය සම්මානය, රාජ්‍ය සම්මානය හා තවත් සම්මානයන් පිළිබඳව වූ විවිධ මතභේදයන්ය. ස්වර්ණ පුස්තකයේ අවසන් කෘති අතරටවත් එක් නොවූ විරාජිනී තෙන්නකෝන්ගේ “මකරානන්දය” විද්‍යෝදය සාහිත්‍ය උත්සවයේදී හොඳම නවකතාව බවට සම්මානයට පාත්‍ර විය. එම කෘතියම ගොඩගේ සාහිත්‍ය සම්මාන උත්සවයේදී හොඳම නවක නවකතා දායකත්වයට සම්මානය හිමිකරගනු ලැබීය. රාජ්‍ය සාහිත්‍ය උත්සවයේද එවැනි අලකලංචි සිදුවිය හැකිය. කෙසේ වෙතත් සාහිත්‍ය උත්සවයකින් සියයට සියයක නිවැරැදි විනිශ්චයක් දිය නොහැකිය. එය ඒ ඒ විනිශ්චය මණ්ඩල අනුව මෙන්ම ඒ ඒ තත්ත්වයන් අනුවද තීරණය විය හැකිය. වීජ ගණිතයේ දෙකයි දෙකයි එකතු කළ විට පිළිතුර හතරක් ලැබෙන්නාක් මෙන් කලාවේ නිර්ණායක සකස් කළ නොහැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට රසවින්දනයේ ප්‍රමාණය හා ඇසූ පිරූ තැන් ඇත්තාවූද ඇතැම් විටෙක දේශපාලනික හෝ ආර්ථික කාරණාද මුල්විය හැකිය. එබැවින් සම්මාන හිමිකර ගන්නා කලා කෘති ඉතා උසස් ඒවා කියා හෝ සම්මාන හිමිකර නොගන්නා ඒවා ඉතා පහත් නිර්මාණ කියා හෝ තක්සේරුවක් ලබා ගැනීමට නොහැකිය. සෑම වසරකම සම්මාන උත්සවවලින් ඉතා හොද කෘති දහය දොළහක් හෝ විචාරක හා පාඨක අවදානයෙන් ගිලිහී යන්නේ මෙම තත්ත්වය නිසාය. සම්මානයක් වැදගත් වන්නේ එයින් නිර්මාපකයාට යම් අගය කිරීමක් සිදු වීමත් හොඳ කෘති කෙරෙහි පාඨක අවධානය යොමු කිරීමටත්ය. එබැවින් ලංකාව වැනි පසුගාමී රටක ඉතා ස්වාධීන සාහිත්‍ය උත්සව පවත්වාවී යැයි සිතීමම මුලාවකි. සාහිත්‍ය සැම විටම ඉදිරිගාමී වන අතර සාහිත්‍ය උත්සව සැම විටම පසුගාමී වන්නේය.

සාහිත්‍ය මාසයත් සමඟම කරළියට පැමිණෙන අනෙක් මාතෘකාව වන්නේ කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. ඇතැම් ප්‍රකාශකයන්ට ප්‍රදර්ශන කුටි නොදුන් බවටත් ඇතැම් අයට ඕනෑවටත් වැඩියෙන් වරප්‍රසාද හිමිවන බවටත් කසුකුසු මතුවෙමින් පවතී. අනෙක්පසින් පොත් ප්‍රදර්ශනයේදී පාඨකයා කෙරේ ලබා දෙන්නාවූ වටිටම් පිළිබදවත් අලකලංචියක් ඇති වී තිබේ. අතැම් ප්‍රකාශකයන්ට වැඩි වට්ටමක් දීමට හැකියාව අතැයි ප්‍රකාශ කළත් ඒ සඳහා ඉඩක් නොලැබී ඇති බවද ප්‍රකාශ වී ඇත.

පොත් ප්‍රදර්ශනය පසුගිය කාලයේම නියෝජනය කරන ලද්දේ එක් ජනප්‍රිය උප සංස්කෘතික අංගයක් ලෙසින්ය. පවුල් පිටින් පැමිණෙන්නවුන්ගෙන් ප්‍රදර්ශන භූමිය පිරී ඉතිරී ගියත් ඔවුන් මිලදී ගත් පොත් දක්නට නොලැබුණි. මිළදී ගත්තත් ඒ අභ්‍යාස පොත් හෝ කවකටු පෙට්ටි හෝ පෑන් පැන්සල්ය. කියැවීම පොතක් පතක් මිලදීගෙන නිවෙස් බලා නික්ම ගියේ නම් ඒ අතළොස්සකි. නූඩ්ල්ස් කන්නටත් අයිස්ක්‍රීම් කන්නටත් තෙරෙපී තෙරපී පොත් පෝලිම්වල රස්තියාදු වන්නටත් බොහෝ උදවිය කැමැති වූහ. පොත් ප්‍රදර්ශනයෙන් පොත් කෙරෙහි යම් රුචිකත්වයක් හා වෙළෙඳ උත්ප්‍රේරණයක් ඇතිවන බව නම් සැබෑය. එහෙත් ඉන් සාහිත්‍යට විශාල සේවයක් වන්නේ දැයි උපකල්පනය කළ නොහැකිය. කොතරම් පොත් අලෙවියක් සිදු වුවත් කතුවරයාට ඉන් ලැබෙන්නේද සීයට දහයක ප්‍රතිශතයකි. බොහෝ ප්‍රකාශක සමාගම් කතෘ භාගයද නිසි ලෙස නොගෙවන බවද ප්‍රසිද්ධ රහසකි. පොත් ප්‍රදර්ශනයේදී අපහට දකින්නට ලැබෙන්නේ වෙළෙඳපොළ යුද්ධය වෙනුවෙන් අවි අමෝරාගත් ප්‍රකාශක මහත්වරුන්ය. එම නිසා කියැවීමේ අවකාශයක් පොත් ප්‍රදර්ශනවලින් ඔබ්බෙහි සකස් කර ගැනීම කාලීන අවකාශයකි.

කියැවීමේ හා පොත පත ඇසුරු කිරීම යහපත් සමාජයක් වෙනුවෙන් වැදගත්ය. එය කියැවීමේ මාසයෙන් එපිටට රැගෙන යෑමට හැකිවන්නේ නම් ඉතාමත් අර්ථපූර්ණය.

[ගාමිණී බස්නායක]

මාතෘකා