භික්ෂුව වෙනස් විය යුතුයි

 ඡායාරූපය:

භික්ෂුව වෙනස් විය යුතුයි

ක්‍රි: පූ: හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. එසමයෙහි භාරතීය සමාජයට ආධ්‍යාත්මික නායකත්වය සපයන ලද්දේ බමුණන් විසිනි. තත්කාලීන බමුණන්ගේ හැසිරීම බුදුරජාණන් වහන්සේගේ තදබල විවේචනයට ලක් විය. පෙර සිටි බමුණන් මෙන් නොව බුදුන් ජීවමාන සමයෙහි සිටි පිරිස අන්ත දූෂිත බවට සාධක ත්‍රිපිටකයෙහිම ඇත.

බමුණන්ගේ හැසිරීම පිළිබඳ බුදුන් වහන්සේ කදිම උපමාවක් ගෙන හැර දැක්වූහ. බමුණු සමාජය උරෙන් උර අල්ලා ගමන් කරන අන්ධ රැළකට උපමා කළහ. අන්ධ රැළක් ගමනක යෙදෙද්දී පළමු අන්ධයාගේ උරය දෙවැන්නා අල්ලා ගන්නා අතර මුල්ම තැනැත්තා අවසාන තැනැත්තාගේ උරය අල්ලා ගනී. ඔවුහු එකම රවුමක කරකැවෙති. ඉදිරියට නොයති. දැනුමෙන් හා විචාරයෙන් තොර බමුණු සමාජය අන්ධ රැළ සේම එකම තැනක කරකැවෙන බව වදාළේ එබැවිනි. එම උපමාව දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙහි ද මජ්ඣිම නිකායේ සුභ සූත්‍රයෙහි ද දක්නට ලැබෙයි.

ලාංකික බෞද්ධ ජන සමාජයට ආධ්‍යාත්මික නායකත්වය සපයනුයේ භික්ෂුන් වහන්සේයි. දැනුමෙන් හා විචාරයෙන් තොර වුවහොත් ඉහත දැක් වූ අන්ධ රැළේ උපමාව භික්ෂුව විෂයයෙහි ද ගැළපෙනු ඇත. ජන සමාජය ආධ්‍යාත්මිකව සහ නූතන ලෝකයට ගැළපෙන ලෙස නිවැරදි දිශානතියකට ස්ථානගත කිරීම සමාජ නායකත්වයේ වගකීමයි. වර්තමානයේ ලාංකික බෞද්ධ ජන සමාජයට එබඳු නායකත්වයන් ලැබේද යන්න ප්‍රශ්නාර්ථයකි.

ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංස්කෘතිය, ආධ්‍යාත්මික පරිසරය බිඳ වැටී ඇති ලාංකික සමාජය නූතන ලෝකයේ අතරමං වූ පිරිසක් බවට පත්ව ඇත. ලාංකික ජන සමාජය මංමුළා කිරීමේ වරදකරුවා දේශපාලනඥයා පමණක් ද? සමාජයට නායකත්වය සපයන භික්ෂුවද ඊට වගකිව යුතු නොවේද? භික්ෂුව ආධ්‍යාත්මිකව සුවපත්ව දැනුම සහ විචාරය දියුණු කරගනු දැකීම සමාජයේ පැතුමයි. ඒ සඳහා සමාජය විසින් සිව්පසයෙන්ම භික්ෂුව පෝෂණය කරනු ලැබේ. එහෙත් නායකත්වයේ වගකීම තමා අතින් අතපසුව ගිය අවස්ථා ඇති බව භික්ෂුව මැදහත්ව අවධානයට ගත යුතුව ඇත.

මෙම ඓතිහාසික වගකීම භික්ෂුවට අතපසු වූයේ ඇයි? එය විමසිය යුතු පැනයකි. භික්ෂුව පක්ෂ දේශපාලනයට බෙදී ඇත. පළාත් අනුව සහ කුලය අනුව බෙදී ඇත. මේ බුද්ධ දේශනාව ඉක්මවා යෑමකි. ජන සමාජයද භික්ෂුවම අනුකරණය කර ඇත. ඔවුහු ඇති සෑම සාධකයක්ම බෙදීම සඳහා භාවිතයට ගනිති. වේගයෙන් පරිණාමය වන අනාගත තාක්ෂණික ලෝකය ජය ගැනීමට සමත් ජන සමාජයක් මෙබදු පරිසරයක ගොඩනැඟෙන්නේ නැත. වෙනස් වීමට නොහැකිව විනාශ වූ ඩයිනෝසරයන්ට අත් වූ ඉරණම ලාංකිකයාට ද උරුම වන ලක්ෂණ ප්‍රකට කරමින් සිටියි. සමාජය එම විනාශයෙන් ගළවා ගැනීම සඳහා එයට නායකත්වය සපයන පිරිස සිහි එළවා ගත යුතුය.

ලංකාව එක්දහස් නවසිය පනහේදී පමණ අතිරික්ත විදේශ විනිමය එංගලන්තය බඳු රටවලට ණයට ලබාදුන් රාජ්‍යයකි. වර්තමානයෙහි ලෝකයේ ණය බර අධික රටවල් කිහිපය අතරට ලංකාව ඇද වැටී ඇත. ලංකාව ලෝකයේ අන් රටවලට නොදෙවැනි ඉතිහාසයක් සංස්කෘතියක් පැවති රාජ්‍යයකි. චාලිමෙන් රජු රෝමය කිරිගරුඬින් ගොඩනඟද්දී ලංකා රජු කාශ්‍යප සීගිරි පබ්බත රාජ්‍යය ගොඩනඟා ඇත.

එම සියලු ජයග්‍රහණ අතීතයට සීමා වී ඇත. රැකියා විරහිත තරුණයා විවිධ මත්ද්‍රව්‍ය සඳහා යොමුව තිබේ. නිෂ්පාදනයට දායක කරගත යුතු තරුණ ප්‍රජාව ඵල රහිත රාජ්‍ය සේවයට ගාල් කර ඇත. අධ්‍යාපනය අන්ත දුක්ඛිත තත්ත්වයකට ඇද වැටී තිබේ. සමස්ත රට වැසියාගෙන් හතරෙන් තුනකටම පෝෂ්‍යදායී ආහාර සහ පානීය ජලය නැත. මිථ්‍යා දෘෂ්ටිය රජ කරමින් සිටී.

සමාජය ඇදවැටී ඇති මෙම ඛේදාන්තය පිළිබඳ භික්ෂුව සවිඥානක ද? භික්ෂුව තම හිතෛශී අපේක්ෂකයා ජනපති කර වීම වඩා ප්‍රමුඛ කාර්ය ලෙස සලකන බව පෙනේ. එහෙත් එක්දහස් නවසිය හතළිස් අටේ සිටම පාලකයන් පත් කිරීමට භික්ෂුව පෙරට පැමිණ ඇත. එයින් රාජ්‍යයට අත් වූ යහපතක් තිබේද?

අඳුරු යුගයේ යුරෝපයේ පූජක පක්ෂයට බරපතළචෝදනාවක් එල්ල විය. ඒ පාලක පංතිය හා එක්ව රාජ්‍ය සම්පත් කොල්ලයක යෙදෙන බවයි. එම චෝදනාව නොබෝ කලකින් ලාංකික භික්ෂු සමාජයටද එල්ලවනු ඇත.

සමාජය පවතින උවදුරින් ගලවා ගැනීමට භික්ෂුව කළයුත්තේ කුමක්ද? වඩා වැදගත් පැනය එයයි. කළයුත්තේ ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයේ ආභාසයෙන් නූතන ලෝකයට ගැළපෙන සංස්කෘතික සදාචාර පද්ධතියක් බිහි කිරීමයි. පැරණි යුගයේ පැවති මිථ්‍යා ඇදහිලි ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව ඊට එරෙහි වීම නව සංස්කෘතියට වැදගත් ප්‍රවේශයකි. පන්සල තුළ ඝෝෂාකාරී පරිසරය වෙනුවට නිහඬතාව පැවතිය යුතුය. දැවැන්ත ගොඩනැඟිලි වෙනුවට පමණ දැන සෙනසුන් සකසා ගත යුතුය. විදුලි ආලෝක සංදර්ශන, නාස්තිකාර පෙරහැර, සති ගණන් එක දිගට ඇදී යන පිරිත් දේශනා, දහසේ ලක්ෂයේ මල් පහන් පූජා නූතන ලෝකය ජය ගැනීමට බාධක බව තේරුම් ගත යුතු කාලය එළැඹ ඇත.

ඉහත විස්තර වූ සංදර්ශන මඟින් ගිනිකන වැටෙන දායක පක්ෂයට තමා නිමග්නව ඇති ඛේදවාචකය නොපෙනී යයි. ඒවා ඈත් කළ යුත්තේ එබැවිනි.

යල් පැනගිය පිරිවෙන් අධ්‍යාපනය නවීන විය යුතුය. කෙසේ හෝ දරුවන් සොයා පැවිදි කිරීම වෙනුවට දැනුමට ලංවිය හැකි සුළු පිරිසක් වුවද ඵලදායී බව තේරුම් ගත යුතු කාලය එළැඹ ඇත. භික්ෂුව බෞද්ධ දර්ශනය සේම පෙරදිග අපරදිග දර්ශනවාද භාෂා ශාස්ත්‍ර, සාහිත්‍ය කලා ආදිය සහ විචාරවාද අධ්‍යයනය කළ යුතුය. එබඳු දැනුමෙන් යුතු භික්ෂුව නායකත්වය සපයන ජන සමාජය මංමුළා වන්නේ නැත. පළමුව භික්ෂුව සිතිය යුතුය. දෙවැනුව සමාජය ද සිතනු ඇත.

මාතෘකා