අනුන්ගේ වැරදිවලට තමන්ට ඇනගන්නා ටොකු

 ඡායාරූපය:

අනුන්ගේ වැරදිවලට තමන්ට ඇනගන්නා ටොකු

"මම නම් මහ කරුමයක් කරපු ගැහැනියක්. මොන කරුමයක් කළාටද මට මෙහෙම වුණේ?"

ඔබත් නිරන්තරයෙන් එසේ මැසිවිලි නඟන අයෙක්ද?

ඇත්තටම දවසකට, සතියකට, මසකට, වසරකට කීවරක් මන්තරයක් ලෙස එලෙස පවසමින් අපි අපිටම එසේ ද්වේෂ කරගන්නෙමුද?

එසේ කියූ පමණින් අප කළ කරුමය කුමක්දැයි අපට අවබෝධ වේද?

ඒ අසහනකාරී සිතිවිලිවලින් අපේ සිත් මිදේද?

මඳක් සිතන්න... අප එලෙස අපිටම දොස් පවරාගන්නේ අප අතින් සිදුවන වරදක්, අඩුපාඩුවක් හෝ අප අතින් වෙනත් කෙනකුට සිදුවූ සිත් රිදවීමක් නිසාද? එසේත් නැත්නම් අපිට සමීප අයකුගෙන් අපට යම් පීඩාවක්, අසාධාරණයක්, රිදවීමක් සිදු වූ විටද? එසේ නම් එයින් හැඟෙන්නේ අපි කළ කරුම මොනවාද යන්න සොයා බලන්නට අපට සිතෙන්නේ අන් අයකු විසින් අපට අකටයුතුකමක් කළ අවස්ථාවන්වලදී පමණක් බවය.

ඔබ මෙතෙක් කල් කවුරු හෝ කරන දෙයක් අරබයා ඔබේ සිත රිදවා ගෙන ඔබ කළ කරුමය කුමක්ද යන්න සිතමින් පසුතැවිලි වූ අයකු නම් මෙතැන් සිට නවතා දමන්න ඔබ සිතන ආකාරය.

මඳක් වෙනස් කරන්න ඔබ මෙතෙක් සිතූ මෝස්තරය.

ඔබේ කර්මය වගකිව යුත්තේ ඔබ කරන කියන දේට බව මතක තබාගන්න.

ඔබ පීඩාවට පත්ව ඇත්තේ බාහිර පුද්ගලයකු නිසා නම් ඔබ සිතිය යුත්තේ එසේ තැවුල් විඳීමට හේතු වූ ඔබේ කර්මය ගැන නොවේ. කෙනෙකුට අකටයුතුකම් කරන්නට තරම් කුරිරු මනසක් හිමි වී ඇති අය ගැන සිතමින් තමාටම ද්වේෂ කර ගැනීම ඔබේ යුතුකමක් වන්නේ කෙසේද?

අනුන්ගේ වැරදිවලට අප ස්වයං දණ්ඩන පණවාගත යුතුද?

බල්ලකු බුරන්නේත් සපාකන්නේත් ඒ එම සත්ත්ව ජාන ලක්ෂණයක් නිසා මිසක බල්ලාට බිරීමේ ලක්ෂණ පහළ වන්නේ මිනිසාගේ කර්ම ඵලයක් නිසා නොවේ යන්න උදාහරණයක් ලෙස ගනිමු.

එහෙයින් නොයෙක් විට අපට අප අතරම සිටින හෝ සමාජයෙන් අපට එල්ල වන අපව ප්‍රකෝප කරන්නට සමත් සිදුවීම් අරබයා අප අපේම කර්මයට ආඩපාලි කියවීම නවතාලමු.

ඒ ඒ මිනිසා හැසිරෙන්නේ ඒ ඒ අයගේ ආවේණික ගති ලක්ෂණ සමඟය.

රූපය, සිතන පතන, කථා කරන, හැසිරෙන, අදහස් බෙදාගැනීම ආදී මේ කොයි ඉසව්වක් ගත්තද එකිනෙකට හාත්පසින් වෙනස්ය.

වෙන ගෙදරක කීකරු දරුවන් සිටිනවා නම් තවත් ගෙදරකින් මැසිවිලි නඟන්නේ

"මට නෑනේ එහෙම ළමයි මගෙ කරුමෙට මුන්ව හම්බුණේ " ලෙසටය.

එය ඔබේ කරුමය නොවේ. දරුවා ගෙනා ගති ලක්ෂණය. අනෙක් කාරණය නම් අපිට පීඩා ගෙන එන හැම අවස්ථාවකම මොන කරුමයක්ද යැයි කියමින් දරුවන්ට තඩිබෑමෙන් ඔවුන්ගේවත් අපගේවත් කරුමය කුමක්ද යැයි සොයාගත නොහැකි වනවා සේම එය වෙනස් කළ හැකිද නොවන්නේය. කළ හැකි වන්නේ අප සිතන ආකාරය වෙනස් කර ගැනීමයි. ඔබ මෙතෙක් සිතූ රටාව වෙනස් කර බලන්න. ඔබට මෙතෙක් දැනුන ඒ වදකාර හැඟීම තවදුරටත් ඔබට නොදැනෙනු ඇත.

එසේ නම් කෙසේද ඔබ වෙනස් වන්නේ?

ඔබ, ඔබ තුළ දකින අඩුපාඩුවකදී, ඔබ අතින් බාහිර පුද්ගලයකුට වන කරදරයකදී, ඔබ අතින් වෙනත් පුද්ගලයකු රැවටීමකදී, ඔබ වෙනත් අයකු ගැන විවේචනය කරන විට ආදී අවස්ථාවකදී ඔබ, ඔබ ගැන ද්වේෂ වූවාට වරදක් නැත. ඔබ කර ඇති කරුමය කුමක්ද සොයා බැලුවාට වරදක් නැත.

නමුත් අනුන්ගේ වැරදිවලට ඔබට ටොකු ඇන ගැනීම දැන්වත් නවතා දමන්න. එවිට ඔබට වැටහේවි ඔබ මෙතෙක් ජීවත් වී ඇත්තේ අනවශ්‍ය පීඩනයකින් බව.

[දිනේෂි අමරකෝන්]

 

මාතෘකා