ජීවිතයක වටිනාකම!

 ඡායාරූපය:

ජීවිතයක වටිනාකම!

ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්තරයක් බව මට කීවේ අපේ පවුලේ හිතවතෙකු වන පියදාස වැලිකන්නගේ ජ්‍යෙෂ්ඨ ලේඛකයා. ජීවිතයේදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්නවලට අපට වැරදි උත්තර දෙන්න බෑ. විභාගයකදි අපි වැරදි උත්තර දෙන්නෙ හරි උත්තර දන්නෙ නැති නිසා. ඒත් ජීවිතයේදී අපි හරි උත්තරය දන්නවා. අපි එහිදී වැරදි උත්තර දෙන්නෙ හරි උත්තර දැන දැනම. මේ ඔස්සේ ඇතැම් විට ජීවිතය අහිමි කර ගත් අය පවා ඉන්නවා. ඇත්තටම අද මගේ ක්ෂේත්‍ර රාජකාරිය වසමේ සියදිවි හානි කරගත් අයෙකුගේ මළගෙදර යෑම.

මළගෙදර තියෙන්නේ වසමේ කෙළවරට වෙන්න. උදෑසනම කාර්යාලයට ගොස් ඉන් පසු මළගෙදර යා යුතු යැයි මම හිතුවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ගෙදරදොර වැඩ අවසන් කළ මම කාර්යාලයට ආවා. කාර්යාලයට එන විට එහි දොර ජනෙල් ඇරලා හරිම නැවුම් බවක් දක්නට ලැබුණෙ.

“ගුඩ් මෝනිං මිස්! අද මාත් උදෙන්ම ආවා.”

දවසේ ප්‍රථම ළෙන්ගතුකම විදහාපෑවේ විනීතා.

“ගුඩ් මෝනිං! ඇයි අද උදෙන්ම?”

“අපේ ගෙදර ළඟනේ මිස් අර මළගෙදර තියෙන්නේ. අද අවසන් කටයුතු කරන දවස. මම ටික වෙලාවක් මෙහේ ඉඳලා එතන්ට යන්න ඕන. අපේ මරණාධාර සමිතියෙන් තමා අද දවල් කෑම වේල දෙන්නේ. ඒක නිසා මම යන්න ඕන මිස්.”

“ඇයි ඒ මනුස්සයා වස බීලා තියෙන්නේ?”

මරණය ඇසූ සැණ සිට හිතට වද දුන් පැනය මම ඇයට ඉදිරිපත් කළා.

“ඔය මැරුණ මල්ලි අපේ අල්ලපු ගෙදරනේ මිස්. කාටවත් අතපාන්නේ නැතිව වැඩ ටික කරගත්ත කෙනෙක්. එයා වහ බීලා තියෙන්නේ ගෙදර ප්‍රශ්නයකට නෙවේ, වැඩපොළේ ප්‍රශ්නයකට කියලයි කියන්නේ.”

විනීතා ඇය දත් සත්‍යය මට හෙළි කළා.

“එයාට දරුවෝ නැද්ද?”

“මොකෝ නැත්තේ! බබාලා දෙන්නාම හරිම පොඩියි. බැඳලා ඉන්න නංගිත් ටීචර් කෙනෙක්. ඔය මල්ලිත් කොළඔ ලොකු කොම්පැනියක වැඩ කළේ. අනේ මන්දා, නරක කාලෙට මෝල් ගසුත් පත්තු වෙනවා කියනවානේ.”

ඇය ඇත්තටම දුක් වෙන බව මට දැනුණා.

“විනීතා, මටත් මළගෙදර යන්න ඕන. එහෙනම් තවම කවුරුත් නැති නිසා අපි ඒ පැත්තට පොඩ්ඩක් ගිහින් එමුද?”

මම ඇයට මගේ අවශ්‍යතාව පැහැදිලි කළා.

“අපෝ යමු මිස්. තවම අටයිනේ. අටහමාර වෙනකොට එන්නත් පුළුවන්. ජනෙල් ඇරලා තියමු මිස්. දොර විතරක් වහලා යමු.” ඇය මට යෝජනා කළා.

කුඩය අතට ගත් මම ඇය හා ගමනට එක් වුණා. වසමේ කෙළවර මළගෙදර තියෙන නිසාත් හැකි ඉක්මනින් ආපසු කාර්යාලයට පැමිණිය යුතු නිසාත් අපි දෙන්නා ත්‍රීරෝද රියකට ගොඩ වුණා. කුඹුරු යායවල් මැදින් වේගයෙන් ඇදී ගිය ත්‍රීරෝද රිය නතර වුණේ හොඳින් ඉදි කළ නව නිවසක් ඉදිරිපස. එහි මිදුලේ සුදු කොඩි එල්ලා තිබුණා. උදෑසන වුණත් තවම හු‍ඟ දෙනෙක් කූඩාරම්වල වාඩිගෙන.

සාලයේ මෘතදේහය අසල වාඩිගෙන සිටියේ පිළිවෙලට හැඳ ගත් වයස අවුරුදු හතළිහක පමණ කාන්තාවක්. අපි නිවසට ඇතුල් වූ සැණින් ඇය අප වෙත පැමිණ ආචාර කළා. විනීතා පැවසුවේ ඒ, මියගිය තරුණයාගේ බිරිඳ බව. විනීතා ඇයටත් මා හැඳින්වීමෙන් පසු ඇය කථා කළා.

“වාඩි වෙන්න මිස්!”

ඇගේ හඬ බිඳිලා.

“ඇයි මහත්තයා මේ වගේ දෙයක් කර ගත්තේ?

මඳ වේලාවක් ඈ හා ගැවසීමෙන් පසු මම විමසුවා.

“එයා මේ තැනට වැටුණේ රජයේ සේවය හරියට නොකරන මිනිස්සු හින්දයි මිස්.”

ඈ දිගු සුසුමක් හෙළා යළි කථා කළා.

“මිස් මම ටීචර් කෙනෙක්. මගේ මහත්තයා එයාම පටන්ගත්තු වාහන සර්විස් කරන වැඩපළක් කළේ. අපි මේ ගේ හදාගත්තට පස්සේ මහත්තයා මොනවා හරි කරන්න කල්පනා කළා. රථවාහන අලුත්වැඩියාව එයා ඉගෙනගෙන තිබුණු දෙයක්. ඒ නිසා ඕක පටන් ගත්තා. එයා ළඟ තව කීප දෙනෙකුත් වැඩ කළා. අපට ඒකෙන් හොඳ ආදායමක් එහෙමත් ලැබුණා. ඒත් මහත්තයා එක්ක තරහට හිටිය, වැඩිය ආදායම් නැති තවත් වාහන සර්විස් කරන කෙනෙක් කට්ටිය දාලා මහත්තයාගේ වැඩපොළේ ඔක්කොම බඩු සොරකම් කළා. තුන්වෙනි පාරටත් සොරකම් කළා. මහත්තයා අඩුවට වැඩ කරලා දෙන එක ඒ මිනිහාට ඉවසන්න බැරි වුණා. තුන්වෙනි වතාවටත් බඩු සොරකම් කළාට පස්සෙ ඇයි ඒ ගැන පොලිසිය පරීක්ෂණ නොකරන්නෙ කියල මහත්තයා සොයා බැලුවා. එතකොට එයාට තේරුණා පොලිසියත් අර සර්විස් කරන මනුස්සයාගේ පැත්ත අරන් කියල. ආයෙ බිස්නස් කළත් මේක තමයි වෙන්නෙ කියල දවසක් එයා මාත් එක්කත් කිව්වා. ඔහොම කල්පනා කරලා කල්පනා කරලා තමයි මිස් එයා ඔය තීරණය අරන් තියෙන්නෙ.”

“ඇත්තටම පොලිසිය අපරාධකාරයාගේ පැත්ත අරගත්තාද?” මම විමසුවේ ඇගේ චෝදනාව බරපතල නිසා.

“ඒක මං හරියටම දන්නෙ නෑ මිස්. ඒත් එයාට එහෙම දෙයක් තේරුණා. මොකද එයා සුමාන දෙක තුනක්ම පොලිසියට ගිහින් එයාට වෙච්ච අසාධාරණය කිව්වා. සොරකම් කළ බඩුත් අර සර්විස් සෙන්ටර් එකේ තිබිලා තියෙනවා. එහෙම වෙලාත් පොලිසිය කිසිම පරීක්ෂණයක් කළේ නෑ.”

ඇගේ කතාව එහෙමයි. ඒත් ජීවිතයක වටිනාකම මිල මුදලින් තක්සේරු කළ හැකිද? නැති වූ බඩු භාණ්ඩවලට එය හිලව් කළ හැකිද? මියගිය තරුණයා ඒ දේ නම් අවබෝධ කරගෙන නැතැයි මට හැඟුණා. එසේ වුණත් ඔහු තමා නැති කරගත් ජීවිතයෙන් කියාපාන සත්‍යයක් ඇතැයි මට දැනුණා. ඒ නම් ජීවිතවලට වගකිව යුත්තේ ඒ ජීවිත අයිති අය පමණක් නොව මුළුමහත් සමාජයම බවයි. සැබැවින්ම අනුන්ගේ දේ සොරකම් කරන අය අනෙකාගේ ජීවිතය ගැන සිතනවා නම්, පොලිසිය තමාගේ රාජකාරිය ගැන සිතනවා නම්, නීතිය පසිඳලන ආයතන වගකීම්සහගතව රාජකාරි ඉටු කරනවා නම් නිකරුණේ නැති වූ මේ තරුණ ජීවිතයත් බේරාගත හැකිව තිබුණේ නොවේදැයි මළගෙදරින් බැහැර වෙද්දී යළි යළිත් මට හැඟෙන්නට වුණා.

මාතෘකා