කිඩාරම් අලත් කාලා ලියන වග නම්

 ඡායාරූපය:

කිඩාරම් අලත් කාලා ලියන වග නම්

උදැහෙම්ම පොළ පැත්තෙ යන්ඩ ඉස්පාසුවක් තිබ්බ එකෙන් හිතේ මහන්සිය ඩිංගක් දුරු වුණා. ඉඳහිටවත් පොළක් මැද්දෑවෙන් ඇවිදින අතරෙ එළවළු, පලා, මාලු හරුබැස්ස මිල ගණං අහලා ගන්ඩ ඉඩක් තිබ්බොත් ඒක ඉහේ අලස ගතිය දුරු වෙන්ඩ හොඳයි කියලා හිතන්ඩ.

රට ලෝකෙ ගැන කන බොන ජාති ගැන යම්තම් හරි දන්නවා නම් නිතර කන අල පරිප්පු වෙනුවට අලුත් යමක් කන්ඩ ගන්ඩත් පුළුවන්. මාත් ඕං ගත්තා පාත්තරයක් වාගේ කිඩාරම් අලයක්, කිරි අල, ඉන්නල එක්ක දම් පාට රාජ අලයකුත්. රාජ අලේ නම් ගෙනාවෙ පොල් කිරිත් දාලා අපි අර කිතුල් පිටි හැඳි ගාන්නැහේ පතු ගාලා පුඩිමක් හදන්ඩ හිතාගෙන. කිඩාරම් අලේ නම් ගෙනා හැටියෙ තම්බලා ගත්තා. ඒක කන්ඩ හීන් කොච්චි පොල් සම්බෝලයක් හදා ගත්තම ආයෙ දිව්‍ය භෝජනයක් නෙව.

මේ වැහි කන්නෙ හින්දා කිඩාරම්වල පිටි ගතිය නම් ටිකක් හිඳිලා. ඒ වුණාට රහ අඩුවක් නෑ. පිටි අඩුව කන්ඩ ආස උදවියට අපූරු කෑමක් වෙයි.

මේ වාගෙ බව භෝගවලින් පිරුණු මහා කෑම සංස්කෘතියක් තියාගෙන අපි හැමදාම එකම වරිග ටිකක් තම්බ තම්බ කනවා. දූපතෙන් එපිට වෙන රටවලට ගියාම ලෝබයි ඒ කන දේවල් ගැන. දුකයි අපි ගැන. මං පහුණු සුමානවල මියන්මාර කෑම කලාව ගැන ටිකක් ලිව්වෙත් ඒකයි. යුරෝපාකරේ ඇත්තො මෙහෙට ඇවිල්ල පරම්පරා කෑම සංස්කෘතියට තව අලුත් ජාති ටිකකුත් එක්කහු කෙරුවම අපි ඒවට කොටු වෙන්ඩ ගත්තා. අද ඉතිං අලයි, පරිප්පුයි, සෝයා මීටුයි නැත්තං කාලා හමාරයි. ඉහ ටිකක් උස්සලා හතර දිබ්බාගෙ බැලුවම පෙනෙයි කන ජාති කොච්චරද කියලා.

අපි ඉතිං ඌව වෙල්ලස්සෙ මිනිග්ගජ්ජු වෙච්චි කොට මඤ්ඤොක්කා කොළය හිට මලවගෙන කන්ඩ දන්නවා. කොළඹ රටේ සමහර උන්දැලා එව්වා අහලා අපිට හිනා වෙන වෙලාවලුත් තියෙනවා. ඔලොක්කුවට බලන්ඩ කාරණාවක් නෑ. මඤ්ඤොක්කා කොළේ එහෙම පිටිම්ම බැදලා කන්ඩ පුළුවන් බව මං දැනගත්තෙ ඉන්දුනීසියාවෙ ජකර්තා නුවරදි.

ඉතිං කන්ඩ පුළුවන් කොයිතරමක් ජාති නොදන්නකම හින්දා පැත්තකට දාලා තියෙනවද කියලා හිතෙන්නෙ සමහරු ඒවා ගැන හාංකවිසියක්වත් නොදන්න බව තේරෙද්දි. පහුණු දවසක මං කොස්ලන්ද පහු කරලා එද්දි සුදු හඳුන් වතු වවලා තියෙනවා දැක්කා. හැබැයි ඒවයෙ ඉන්න උන්දැලාවත් හඳුන් දල්ල කන්ඩ පුළුවන් බව දන්නෙ නැහැ.

අද අපි පැත්තකට දාලා තියෙන හුඟ හරියක් කෑම රජ ගෙදරත් උයාපුව. රජ්ජුරුවන්නෙ තිස් දෙකක් සූප වෑංජන ගොන්නට ගස්වල පොතු, දළු උයලා පිළියෙල කරපුවත් තිබ්බා. බෝ පොතු, කුඹුක් පොතු දෙජාතියේ සුඹුල සූරලා පොත්ත විතරක් ඇරගෙන වල් කපු මලුත් එක්කහු කරලා සැත් හෙලූ මස් උයා ගන්ඩ කියලා කිව්වෙ රජ්ජුරුවන්නෙ අරක්කැමියා. මස් මාළු උයන තව වට්ටෝරුවක් රජ්ජුරුවන්නෙ කෝකියා කියලා තියෙනවා මෙහෙම. තෝරා ගත්ත පිළිහුඩු ජාතිය සෝදන්ඩ ඕන කුඹුක් පොතු සුඹුල් මුහු කරලා. ඊට පස්සෙ උම්බලකඩයි, මුං ඇටයි, දුරු ඉඟුරු, සුදු ලූනු එකවන්ව අඹරපු වයිතියි දාලා උයා ගන්නවා. පමණක් මස් මාළුවල පිලී ගඳ තියෙනවා කියලනෙ ගම්වල මිනිස්සු කිව්වෙ. ආං ඒ අප්පිරියාව නැති කරන්ඩ තමයි වෛවාරණ දේවල් මුහු කරලා හෝදන්ඩ නියම කරලා තියෙන්නෙ.

ඒකෙන් ආහාරවල ප්‍රිය ස්වභාවයක් ඇති කරනවා විතරක් නෙවෙයි අපත්‍ය බවක් ඇති වෙන්ඩ පුළුවන් ඉඩත් ඇහිරෙනවා.

කොස් කපද්දි මදුලු වට තියෙන ඉරි ගලවලා වෙනම වට්ටියකට එකතු කෙරුවෙ වේළුණාම තෙලේ බැදලා පැණි ඉහලා කන්ඩ. එහෙම නැත්තං දුරු මිරිස් ඉහලා ගත්තම කට ගැස්මක්. කුළු බඩු අමුවෙන් අඹරලා හදාගන්න අමු පැසියි, තෙලෙන් බැදලා හදාගන්න බැදි පැසියි දුරුත් එක්ක අඹරලා ඒ සියල්ල මුහු කරලා තමයි රාජ භෝජනයට කොස් ඉරි උයාගත්ත කියන්නෙ.

කොස් නහල්ල අද කාලෙත් දන්න මිනිස්සු මස් උයනවා වාගේ උයා ගන්නවා නෙව. රජ ගෙදරත් කොස් නහල්ල ඉවුවා. හුඟ වෙලාවට ඔය කියන්නෙ වැල ගෙඩියෙ නහල්ල ගැන වෙන්ඩ ඕන. ඒකෙදි මුලිම්ම කරන්නෙ කොස් නහල්ල හීන් ඉරි වෙන්ඩ කපාගෙන මඳ ගින්නෙ තම්බ ගන්න එක. තැම්බුණාම බාලා ඉඟුරු, දුරු, සුදු ලූනු අඹරලා හදා ගත්ත සුවඳ වයිතියි, අමු පැහි, බැදි පැහියි ඒ එක්කම මී කිරියි දාලා කලවම් කර ගන්නවා. රාජ භෝජනයක්ම වෙන්ඩ ඇති නේද?

මා එක්ක මියන්මාරෙ ගියපු ස්රීන් සරූර් කෑම කන්ඩ ගියපු වෙලාවක හරක් මස් එක්ක උයපු බටු වෑංජනයක් ඉල්ලුවා. ඒක හරිම රහයි නෙව.

ඕං බලද්දි කන්ද උඩරට රජ්ජුරුවොත් බටු කාලා තියෙන්නෙ මස් එක්ක. ඒ මෙහෙමයි. වේලාපු මස් අඹරලා අසමෝදගම්, අබ, කොත්තමල්ලි, මිරිස්, එලමල් පියලි එක්ක බැදි ලූනුත් අඹරලා දාලා ලුණු ඇඹුල් පදමට සුවඳ වයිති එක්ක යොදාලා වම්බටුවලට එක්කහු කරලා මඳ ගින්නෙ උයාගෙන. රහ ඇති නේද?

[ලසන්ත ද සිල්වා]

News Order: 
0
මාතෘකා