දිවුල් කිරි බීපු හාදයා

 ඡායාරූපය:

දිවුල් කිරි බීපු හාදයා

මා මේ කියන්නට සූදානම් වන කතාව අද ඊයෙක සිදු වූවක් නම් නොවේ. හරියටම කියනවා නම් එය සිදු වූයේ අසූව දශකයේ මැද භාගයේදීය. ඒ කාලයේදී වර්තමානයේ මෙන් බොහෝ ස්ථානවල සුව පහසු ආකාරයේ කිසිම දෙයක් නොතිබිණි. සරලවම කියනවා නම් මහජනතාව එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා බස් නැවතුම්පොළ පවා තිබූණේ තහඩුවලින් නිමකරය. එසේත් නැතිනම් බස් නැවතුම්පොළක් ඉදිකර තිබුණේම නැත. මේ සිදුවීමට අදාළ කරුණ සිදු වූයේ අනුරාධපුරයේදීය. අනුරාධපුරය එකල නව නගරය සහ පැරණි නගරය යනුවෙන් නම් කර තිබිණි. බොහෝ දෙනෙක් පැරණි නගරයට භාවිත කළ වචනය වූයේ පරණ අවම යන්නයි. පූජා නගරය පැවැතියේද පරණ ටවුමේය. එමනිසා අටමස්ථානය නැරඹීමට බොහෝ විදෙස් සංචාරකයන්ද පැමිණීම එකල බෙහෙවින් දක්නට ලැබිණි. අප මේ කතා කතා කරන සමයේ යම් යම් නිවෙස්වල පැවැතියේ බාල්දි වැසිකිළිය. පෝච්චි සහිත වැසිකිළි ඇහුවා නම් තිබුණේ එහෙමත් නිවසකය එය යම්කිසි තරමකින් ආර්ථික අතින් පොහොසත් නිවසක වන්නටද පිළිවන. නැතිනම් බොහෝ නිවෙස්වල පැවැතියේ වළක් සහිත වැසිකිළිය. ඒ අතරිනුත් එහාට ගිය කල පැවතියේ අප මේ කතා කරන බාල්දි ක්‍රමයේ වැසිකිළිය. මෙම බඳුන් ඉවත් කිරීම සඳහා නගර සභාවෙන් කසළ ශෝධකයකු යොදා තිබූ අතර සෑම දින දෙකකටම වරක් හෝ ඔහු පැමිණ සෑම නිවසකින්ම එම අපද්‍රව්‍ය ඉවත් කර තමා ගෙන ආ බාල්දියට දමාගෙන යෑම සිදුකෙරිනි. ඒ සමඟම ඔහුගේ අතේ තිබුණේ ඉරටුවලින් සෑදූ ඉළපතකි.

අනුරාධපුර පැරණි නගරය දෙසට යන විට ජේතවනාරාමය පසු කළ විට හමුවන අනෙක් ස්ථානය වන්නේ කොහොඹ ගස් හන්දියයි. කොහොඹ ගස් හන්දිය පසුකර යෑමේදී හමුවන මුල්ම වෙළෙඳසැල හිත මිතුරු වෙළෙඳසැලයි. එය එකල පළාතේ ඉතා ජනප්‍රියම සහ එකම වෙළෙඳසැල විය. එම වෙළෙඳසැල ඉදිරිපසින් මල්වතු ඔය ඇදී ආ කුඩා ඇළ හතර කොණට විවිධ අතර ඒවායින් ජලය සැපයූවේ ගොවිතැන් බත් කරන්නන්ටයි. කෙසේ වෙතත් මේ ස්ථානය පෙරවරුවේ මෙන්ම සන්ධ්‍යා කාලයේදී ඉලන්දාරි ගැටයන් රංචු ගැසෙන ස්ථානයක් විය. දිනක් මේ ස්ථානයේ පෙරවරුවේ ඉලන්දාරීන් රංචු ගැසී සිටින මොහොතක ඈතින් ඇදී ආවේ අසූචි බාල්දියක් කරේ තබාගෙන එක් අතකින් ඉලපතත් රැගෙන එන කසළ ශෝධකයාය. ප්‍රභාත් යනු අනුරාධපුරයේ ඈත ගම්මානයකින් පැමිණ මෙහි සිටින දයාරත්නලාගේ නිවසට හදිසියට ආ ගිය තරුණයෙකි. ඔහු දින ගණනාවක් එහි රැඳී සිටි අතර ඔහුද මේ කල්ලියට එකතු වී සිටියි. අන් සියල්ලන්ටම කසළ ශෝධකයා කවුරුන්ද යන්න ගැටලුවක් නොවූ නමුත් ප්‍රභාත් නම් මේ පුද්ගලයා කවුද යන්න මහත් ගැටලුවක් විය. ඔහු එකෙනෙහිම අසල සිටි තරුණයකුගෙන්ඇසුවේ

“කවුද බන් අර ඈතින් එන මනුස්සයා?” කියාය.

ඒ ගැන පිළිතුරක් ලබා දීමට අසල සිටි තරුණයෙක් ඉතා ඉක්මන් විය.

"අප්පෝ ඇයි දන්නෙ නැද්ද මේ මොනවද කියලා. ඇයි ඒ පැත්තේ ඒවා නැද්ද? හරි ෂෝක් දේවල්නෙ මේකෙ තියෙන්නේ....." කියා ඔහු කිව්වේය.

"ඇයි ඒ මොනවද තියෙන්නේ? කන දෙයක්ද?" ප්‍රභාත් ප්‍රශ්න කළේය.

"කන දෙයක් නෙවෙයි ඕකෙ තියෙන්නේ හොඳ ගුණ දෙයක්. ඒකෙ පුරවලා තියෙන්නේ දිවුල් කිරි. ඕන්නං කඩේ මුදලාලිගෙන් වීදුරුවක් ඉල්ලගෙන ගිහිල්ලා ටිකක් ඉල්ලගෙන වරෙන් මම කිව්වා කියලා. හෙට සල්ලි දෙන්නං කියලා." තරුණයා කීය.

ප්‍රභාත් එක තත්පරයක්වත් වෙලාව පරක්කු නොකර වහාම කඩේට ගොස් මුදලාලිගෙන් වීදුරුවක් ඉල්ලාගෙන කසළ ශෝධකයා වෙත දිව ගියේය.

"මට දිවුල් කිරි එකක් දෙන්න."

"මොන?"

"දිවුල් කිරි, දිවුල් කිරි, දිවුල් කිරි එකක් දෙන්න."

" චී චී අයියා... යේක මොන දිවුල් කිරිද.. මේක සේරම පුරවලා තියෙනවා .....වලින්...."

කසළ ශෝධකයා කැඩුණු සිංහලෙන් ලබා දුන් පිළිතුරෙන් අවට සිටි සියල්ලන්ටම සිනහව නම් නවත්වා ගන්නට නොහැකි විය. කෙසේ වෙතත් අනුරාධපුර පැරණි නගරයට පිට ගමකින් පැමිණි ප්‍රභාත්ට නම් අමුතුම ආකාරයේ වෙනම නමක් පටබැඳෙන්නට විය. ඒ අන් කවරක්වත් නොව 'දිවුල් කිරි' යන්නයි. එතැන් සිට ඔහුව සියල්ලෝම ඇමතුවේ දිවුල් කිරි යන නමිනි. කොටින්ම කියනවා නම් වෙළෙඳසැලේ මුදලාලි පවා ණයට ගත් මුදල් පිළිබඳ ලියා තැබුවේ දිවුල්කිරි යන නමිනි. කෙසේ වෙතත් දිවුල් කිරි එදා අනුරාධපුර පැරණි නගරයෙන් පිටමංව තමන්ගේ ගමට ගියා ගියාමය ආයෙත් නැවත පැමිණීමක් දක්නට නොලැබිණි. ඔහු අද ජීවතුන් අතර සිටින්නේ නම් ඔහුගේ වයස අවුරුදු පනස් ගණනක්ද ඉක්මව තිබෙන්නට පිළිවන.

බී. චන්ද්‍රපාල

පැරණි නගරය

අනුරාධපුර

මාතෘකා