ජනතාවාදී නළා පිඹින්නන් ආරක්ෂා කිරීම

 ඡායාරූපය:

ජනතාවාදී නළා පිඹින්නන් ආරක්ෂා කිරීම

රට ගිලගෙන තිබෙන රාජ්‍ය අංශයේ වංචා සහ දූෂණ මැඩලීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන්නේ ඒවා හෙළිදරව් කරන නළා පිඹින්නන්ගේ කාර්ය ප්‍රජා සංවිධාන සහ ජනමාධ්‍ය විසින් ඉටු කිරීම බව ගිය සතියේ සඳහන් කළෙමි.

“නළා පිඹින්නන්” යනු කිසියම් ආයතනයක් තුළ සිදුවන්නට යන නීති විරෝධී ක්‍රියාවක් හෝ වංචාවක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් පිළිබඳ එළිදරව් කිරීමට ඉදිරිපත්වන පුද්ගලයන්ය. ඔවුන් හැඳින්විය යුත්තේ පොදු යහපත උදෙසා වැරදි ක්‍රියාවන් හෙළිදරව් කරමින් අන්‍යයන්ට අනතුරු ඇඟවීම් නිකුත් කරන්නට ඉදිරියට පැමිණෙන යහපත් පුරවැසියන් වශයෙනි.

ලංකාවේ මෑත කාලයේදී සිදුවී ඇති අදෘශ්‍යමාන වංචා ගණයට ගැනෙන වංචා පිළිබඳ වාර්තා සලකා බලන විට පෙනෙන්නේ නළා පිඹින්නන්ගේ අවශ්‍යතාවයි. ලංකාවේ සිදුවන්නේ නව ආණ්ඩුවක් බලයට පත්වී පසුගිය රජයේ දූෂණ ගැන කථා කරමින් කාලය මරා දැමීමත් සෙමින් සෙමින් අලුත් ආණ්ඩුවද එම ක්‍රියාවලියම ඉදිරියට ගෙන යෑමත්ය. හොරු ඇල්ලීම නොව ‘කවුද හොරා” යැයි අනිත් පසට ඇඟිල්ල දිගුකරමින් ජනයා ගොනාට ඇන්දවීම දිගටම සිදුවෙන්නේ එම නිසාය.

මේ නිසා දූෂණ සහ වංචා හෙළිදරව් කරන්නට සමත් අය හෙවත් “නළා පිඹින්නන්” දේශපාලන පක්ෂවලට පිටිතින් සොයා ගැනීමට අද සිදුවී තිබේ. මෙය කළ හැක්කේ නළා පිඹින්නන්ගේ කාර්යයට නීතිමය රැකවරණ සලසන නීතියක් පනවාගැනීමට මහන්සි වීමෙනි. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම නිසා වැදගත් තොරතුරු ප්‍රසිද්ධ කර ගැනීමට මහජනතාවට විවෘත වී තිබෙන අවකාශය තවදුරටත් පුළුල් කර ගැනීමට මේ මඟින් හැකි වනු ඇත.

මේ දිනවල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝගය දෙස බැලීමෙන් නළා පිඹින්නන්ගේ කාර්යය ගැන හොඳ අදහසක් ලබා ගැනීමට හැකිය. ඇමෙරිකානු ජනාධිපතිවරයා තම තනතුරට සදාචාරාත්මක වශයෙන් නොගැළපෙන ක්‍රියාවක් සිදුකර ඇති බවට චෝදනා කරන හෙළිදරව්වක් “නළා පිඹින්නකු” විසින් සිදුකිරීම නිසා කොන්ග්‍රස් මණ්ඩලය විසින් ඔහුට විරුද්ධව දෝෂාභියෝග පරීක්ෂණයක් දැන් අරඹා ඇත. ජනාධිපතිවරයාට විරුද්ධව ඇති චෝදනාව වන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති ජෝන් බයිඩන්ට මඩ ගැසීමේ අරමුණින් ඔහුගේ පුතාගේ ව්‍යපාරික කටයුතු ගැන විමර්ශනයක් අරඹා තමන්ට උදව්වක් කරන ලෙස යුක්රේනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමය. තම රටට ඇමෙරිකාවෙන් මිසයිල මිලදී ගැනීමට උදවු කරන ලෙස ඔහු විසින් ඉල්ලා සිටි විට ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ යැයි වාර්තා වෙයි. මේ සම්බන්ධ දුරකථන සංවාදවල සහ සිය නියෝජතයන් මඟින් කරන ලද සාකච්ඡා පිළිබඳ වාර්තා කොන්ග්‍රසයට ලබා දී තිබෙන්නේ ඇමරිකානු බුද්ධි තොරතුරු අංශයේ සාමාජිකයකු යැයිද ඔහු තවමත් නිර්නාමිකව සිටින බවද ප්‍රකාශ වෙයි. මේ පිළිබඳව පරීක්ෂා කරන කොන්ග්‍රස් කමිටුවේ සාමාජිකයන් බුද්ධි අංශ වැඩ බලන ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරමින් ඉල්ලා සිටියේ එම සාමාජිකයාට “නළා පිඹින්නන්’ පිළිබඳ නීතිය මඟින් මෙබඳු නිලධාරීන්ට ලබා දෙන ආරක්ෂාව එම සාක්ෂිය දෙන්නට ඔහු හෝ ඇය පැමිණි විට ලබා දෙනවාද යන්නය. ඔහු ඒ පිළිබඳව සහතික වන බවත් එම සාමාජිකයා විසින් කර තිබෙන්නේ නිවැරදි ක්‍රියාවක් බවත් පිළිගත්තේය.

මෙම නීතිය පළමුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්මත කළේ 1989දීය. ජනාධිපති ඔබාමා 2012 විධායක නියෝගයක් මඟින් මෙම නීතිය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මෙබඳු හෙළිදරව් කිරීම් කරන නිලධාරීන්ට රැකියාවේ තත්ත්වය සම්බන්ධ පියවර ගැනීම මඟින් හිරිහැර කිරීම, රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම යටතේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම නොකළ යුතුය. මන්ද එම හෙළිදරව් කිරීම කර තිබෙන්නේ ඇමරිකානු රාජ්‍යයට සහ ජනතාවට හානියක් වන අවස්ථාවකදී නිලධාරියකු සතු වගකීම ඉටු කිරීම බැවිනි. නළා පිඹින්නන්ගේ කාර්යය ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් පමණක් නොව බුද්ධි අංශවල සාමාජිකයන්ටද අවස්ථාව සලසන්නට මේ විධිවිධාන මඟින් සිදුකරන ලදි. රාජ්‍ය ආරක්ෂාවේ මුවාවෙන් වැරදි ක්‍රියාවන්හි නිරතවන්නේ නම් ඒවා රාජ්‍යයෙත් පොදු මහජනතාවගෙත් යහපත වෙනුවෙන් හෙළිදරව් කිරීම වරදක් නොවන බවත් එබඳු ක්‍රියාවන් නිසා අදාළ නළා පිඹින්නාට හිරිහැර කිරීම වළක්වා ආරක්ෂාව සැලසීම මේ මඟින් සිදුකර තිබේ.

ලංකාවද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබෙන බව සඳහන් කළ යුතුය. පුරවැසියාගේ පැත්තෙන් බලන විට පෙනෙන්නේ මේ අවස්ථාවේ තිබෙන වැදගත් ප්‍රශ්ණය වන්නේ මීළඟ ජනාධිපතිවරයා කවුදැයි සොයා ගැනීමට වඩා කවුරු එම තනතුරට පත්වූවත් රාජ්‍ය අංශය තුළ පවතින වංචා සහ දූෂණ වැළක්වීමට අවශ්‍ය අවකාශය විවෘත කර ගැනීම බව සඳහන් කළ යුතුය. වංචනික ක්‍රියාවක් සිදුවන්නට පෙර හෝ එය සිදුවන අවස්ථාවේදී හෙළිදරව් කර ගැනීම සඳහා නීතිමය අවකාශයක් විවෘත කර ගත යුතුය. එබැවින් මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් ඇරඹීමටත් එය ඡන්ද පොරොන්දුවක් බවට පත් කර ගැනීම ගැනත් සාකච්ඡාවක් අරඹන ලෙස මහජන යහපත වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

මාතෘකා