ලෝක ගුරු දිනය

 ඡායාරූපය:

ලෝක ගුරු දිනය

වෛද්‍යවරයකු අතින් වැරැද්දක් සිදුවුවහොත් රෝගියකු මරණයට පත් වේ. නීතිඥයකු අතින් වැරැද්දක් සිදුවුවහොත් නිවැරදි කරුවකුට මරණ දඩුවම හිමි වේ. ඉංජිනේරුවකු අතින් වැරැද්දක් සිදුවුවහොත් ගොඩනැඟිල්ලක් හෝ ඉදිකළ ව්‍යාපෘතිය කඩා වැටේ. එහෙත් ගුරුවරයකු අතින් සිදුවන වැරැද්දකින් මුළු මහත් සමාජයම මහත් ව්‍යවසනයක් කරා ගමන් කරනු ඇත.

ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝබර් 06 වැනි දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නොයෙක් සැමරුම් උත්සව ලෝකය පුරාම පැවැත්වේ. ලෝක ගුරු දිනය යෙදෙන්නේ ළමා දිනය සමරා දවස් කිහිපයක් ගෙවී ගිය පසුවයි. ගුරුවරයා සර්ව සම්පූර්ණ වීමට නම් ළමයා නම් සාධකය අත්‍යවශ්‍ය වේ. සිගාලෝවාද සූත්‍ර දේශනාවේද ගෞතම බුදුහිමි විසින් ගුරුගෝල සම්බන්ධය විග්‍රහ කර ඇති අතර ඔවුනොවුන් විසින් ඉටුකළ යුතු යුතුකම්ද දේශනා කොට තිබේ. ගුරුවරයා යන්නෙහි වාචාර්තය වන්නේ "මඟ කියන්නා" නොහොත් "මාර්ගය පෙන්වා දෙන්නා" යන අදහසයි. මේ මඟ නම් නිසි මඟයි. ගුරුවරයා විසින් ශිෂ්‍යයා මැනවින් හික්මවිය යුතු බවත් ගුරු මුෂ්ටියක් තමා සන්තකයේ තබා නොගෙන ශිල්ප කියා දිය යුතු බවත් කියවේ. දිසාපාමොක් යුගයේදී ශිෂ්‍යයා විසින් ගුරුවරයාගේ නිවසටම ගොස් අත්පා මෙහෙවරෙහි යෙදෙමින් ශිල්ප උගත්තද වර්තමානයේදී එම තත්ත්වය වෙනස්ය. ඒ වෙනුවට පාඨශාලා ආරම්භ කොට ඒවායෙහි සේවයෙහි යෙදෙන ගුරුවරුන්ට රජය විසින් වැටුපක් ලබා දෙයි. ශිෂ්‍යයා පාඨශාලාවට පැමිණ ශිල්ප ඉගෙනගත යුතුය.

ගුරුවරයා යන නාමය දරන්නේ පාසලේදී ශිල්ප කියාදෙන රජයෙන් වැටුපක් ලබන්නා වූ ගුරුවරුන් පමණක් නොවේ. නිවසේදී හොඳ නරක යහපත් චර්යාවන් හුරුකරන්නේ මවුපියන්ය. ආගමික ස්ථානයේ පූජක තුමන් විසින්ද සිදු කරන්නේ සමාජයට නිසි මාවත පෙන්වා දීමයි. එලෙස බලන විට ගුරු භූමිකාව එක්තරා වෘත්තියකට පමණක් සීමා වූවක් නොවේ. යම් වයස පරතරයකට සීමා වූවක්ද නොවේ. අශෝක රජු යුද්ධයෙන් පැරැදී චිත්ත පීඩාවෙන් සිටියදී නිසි මඟ කියා දෙන්නේ නීග්‍රෝධ නම් කුඩා සාමණේර හිමියන් විසින්ය. ගින්න කුඩා වූවා කියා හෝ විෂඝෝර සර්පයා කුඩා වූවා කියා හෝ කිසිවිටක අවතක්සේරු නොකළ යුක්තාක් මෙන්ම ගුරුවරයාගේද ගෞරවය මනිනු ලබන්නේ වයසෙන් නොවේ. වයසින් නොමේරූ වුවත් බුද්ධියෙන් මේරූ නිසි මඟ පෙන්වන්නා "ගුරු" යන උතුම් අර්ථය දරන්නට සමත් වන්නේය.

ගෝලීය තත්ත්වයන් සමඟ ගුරුවරයාගේ සමාජ ක්‍රියාකාරීත්වයද අවගමනය වීමට පටන් ගෙන තිබේ. සෑම සමාජ ජීවියෙක්ම ආත්මාර්ථකාමීත්වයෙන් කටයුතු කරන්නට වීම නිසා ගුරුවරයාද සෙසු සමාජ ජීවීන්ගේ ස්වභාවයටම පරිණාමය වී අවසන්ය. බොහෝ පාසල් ගුරුවරුන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගෙවනු ලබන්නේ උපකාරක පංතිවලය. සෙසු වෘත්තිකයන්ට සේම ගුරුවරයාටද දැන් නිසි විවේකයක් ගැන. පෙර ගුරු වෘත්තියේ යෙදෙන්නවුන්ට පොත් මිලදී ගැනීම සඳහා විශේෂ දීමනාවක් හිමි විය. එම මුදලින් මිලදී ගන්නා නව පොත් පත් සඟරා ආදියෙන් තම නැණ නුවණ වර්ධනය කරගන්නට ගුරුවරයාට අවකාශ හිමිවිය. එහෙත් දැන් ලාංකේය ගුරුවරයා බෙහෙවින් කාර්යබහුල වීම නිසා කියවීමෙන් බොහෝදුරට ඉවත් වී තිබේ. අපේ ගුරු පරපුර බොහෝ සෙයින් පසුගාමී වීමට මේ හේතුව සෘජුව බලපා තිබේ. නිසි පුහුණු ක්‍රමවේදයක් නොමැති වීම නිසා ගුරුපරපුර යාවත්කාලීන වීම සිදු නොවේ. ලෝකයේ දැනුම දිනෙන් දින දියුණු භාවයට පත්වන විට දේශීය ගුරු පරපුර දැනුමින් වියුක්ත පිරිසක් බවට පත්වෙමින් තිබේ. අඩුවෙන්ම කියවීම පොත පත ඇසුරු කිරීම පමණක් නොව කාලීන සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික අවබෝධයද බොහෝ සෙයින් දුර්වලය. එවැනි ඉලක්ක ළඟා කරගැනීමට හැකි සමාජ අවකාශයද ගුරුවරයා වෙනුවෙන් සකස් වී නැත.

කොහේ හෝ තැනක වැරදී තිබේ. ලංකාවේ අඩුම වැටුප් හා වරප්‍රසාද ලබන්නවුන් අතරේ පහළ පියවරේම සිටින්නේ ගුරු වෘත්තිකයන්ය. සමාජයීය පිළිගැනීමක් වශයෙන්ද ගුරු වෘත්තිය පවතින්නේ ඉතා නරක පහළම පියවරකය. යම් රටක ගුරුවරයාට වඩා සොල්දාදුවා ඉහළ වැටුපක් ලබන්නේ නම් එකී සංස්කෘතිය පිරිහීමට ලක්වන බවට කියමනක් ඇත. තවත් නොබෝ දිනකින් ලිපිකරුවාට වඩා අඩු වැටුපක් ලබා ගන්නා වෘත්තිකයා බවට ගුරු වෘත්තිය පත්වෙමින් තිබේ. එහිදී මතුකරන ප්‍රධාන මතය වන්නේ මාස තුනක් නිවාඩු ගැනීමත් දිනකට වරුවක් පමණක් වැඩ කරන අයකු වන ගුරුවරයාට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවේද යන්නයි. ගුරුවරයාද මනුෂ්‍යයකු බැවින් සෙසු සමාජ ජීවීන්ට ඇති මූලික අවශ්‍යතා ගුරුවරයාටද ඇත. ගුරුවරයාට වැඩි විවේක කාලයක් ලබා දී ඇත්තේ දැනුම උකහා ගැනීමට හා කියවීමට හා ලිවීමටයි. ළමයකු හට ඉගැන්වීම සදහා ගුරුවරයා මනා දැනුමකින් සන්නද්ධ පුද්ගලයකු බවට පත්විය යුතුය. එහෙත් දැන් සිදුවන්නේ ගුරුවරයාට ලබාදෙන විවේක කාලය ටියුෂන් වෙනුවෙන් කැපකර ජීවන සටන දිනන්නට සිදුවීමයි. ඇතැම් ගුරුවරු සති පොළේ එළවළු විකුණති. ඇතැම් ගුරුවරු සාරි විකුණති. ඇතැම් ගුරුවරු චූංපාං විකුණා ජීවත් වෙති. මේ තත්ත්වයේදී අප සමරන ගුරු දිනය සැබෑ ගුරු දිනයක්ද යන ප්‍රශ්නය පැන නඟී. ළමයා විසින් මල් කළඹක් දී ගුරුවරයාගේ දෙපා සිඹ නැමදීමෙන් පමණක් සමාජයක් වශයෙන් ගුරුවරයාට ගෞරවාන්විත තැනක් ලබා දිය හැකිද යන්න අප ඉදිරියේ ඇති ගැටලුවයි.

නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා ගනිමින් නිසි පුහුණුවක් ලබා දෙමින් ගුරුවරුන් නිසි ඇගයීමට ලක්කරන්නේ නම් සමාජයක් වශයෙන් මීට වඩා ඵලදායී දායකත්වයක් ගුරුවරුන්ගෙන් ලබා ගැනීමට හැකිවනු ඇත. දේශපාලනඥයන්ද නිලධාරීන්ද බොහෝ විට තම පීඩනය මුදා හරින්නේ ගුරුවරුන් මතය. කිසිවිටක ඉහළ බලධාරීන්ගෙන් ගුරුවරයාට නිසි ඇගයීමක් හිමි නොවේ. එහෙත් කරුමය වන්නේ තවමත් අප සමාජය හොද්ද රස කරන්නට යොදා ගන්නා රම්පේ කරපිංචා පන්නයෙන් ගුරුවරුන් ගැන සිතීමයි, ඒ අනුව කටයුතු කිරීමයි.

ගාමිණී බස්නායක

මාතෘකා