උද්යෝගයේ ඝෝෂා

 ඡායාරූපය:

උද්යෝගයේ ඝෝෂා

උද්යෝගය සහ ඝෝෂාව වෙන් වෙන්ව අර්ථ ගැන්විය යුතු වචන දෙකක් නොවේ යැයි සිතමි. එසේ සිතෙන්නේ ඒවා වචනාර්ථය දනවන පද බැවිනි. හඬෙහි ස්වාභවය අනුව ඊට ලැබෙන්නේ උද්යෝගයක්ද උදාසීන බවක්ද යන්න තීරණය කිරීම නූතන මානව විලාසිතාවයි. එය එසේ වන්නේ තනිව නඟන හඬට වඩා, එක්ව නඟන හඬ ප්‍රබලය යන පොදු සමාජ පිළිගැනීම නිසාවෙනි. හඬ සංඛ්‍යාත්මකව ඉහළ අගයක පිහිටද්දී, එහි ඵලය ඝෝෂාකාරීය. සැබවින්ම ඝෝෂාව තුළ උද්‍යෝගයක් ඇත්තේද? නොඑසේ නම් උද්යෝගය මවා පෙන්වීම උදෙසා ඝෝෂාව නිර්මාණය කරන්නේද..?

එය තල දෙකකදී එකිනෙකට වෙනස් අරුත් ගන්වන කාරණයකි. වැස්සෙහි විවිධ ප්‍රභේද තිබේ. "පොද වැස්ස", "නිලි වැස්ස" ලෙස සෞම්‍ය හඬකින් ඇරඹෙන වැහි විටෙක "අනෝරා වැහි", "මුරුගසන් වරුසා" දක්වා විකාශනය වේ. පොද වැස්ස කාව්‍යාත්මක ලෙස වැනිය හැකි වුවද මුරුගසන් වරුසාවේදී එය එතරම් සුමට වර්ණනාවක් වන්නේ නැත. වියළි, කර්කෂ පොළොවකට වැහි පොද වැටෙද්දී නැඟෙන නැවුම් සුවඳ කවියක් වුවද අනෝරා වැහි ඇද වැටී, ගම්බිම් යට වී, ජල ගැලීම්, නායයෑම් අයත් වන්නේ ප්‍රවෘත්ති ගණයටය. අවස්ථා ද්වයම වැස්ස මූලික කර ගත්තද ප්‍රවෘත්ති සහ කවි ප්‍රකාශන මාධ්‍යයේ සුමට සහ කටුක අවස්ථාවන්ය. අනෙක් කාරණය වන්නේ රටාව සහ ස්වභාවයයි. හීන් පොද වැහි ගසකට, පත්‍රයකට, මලකට ආශිර්වාදයකි. සාහිත්‍ය භාෂාවේදී එය මවක් දරුවකුට කිරි පොවන්නා සේ යැයි සෙනෙහෙබරව අර්ථ ගැන්වේ. එහෙත් මහ වැස්සක් යෝධ ගස් පවා ගලවා බිම දමයි. හඬ සහ ඝෝෂාවද එසේය. තනිව නඟන හඬට වඩා එක්ව නඟන හඬ ප්‍රබල බව කීවද එය ඝෝෂාකාරීය. එය උද්‍යෝගිමත් යැයි සිතු සැබවින්ම උද්වේගකරය.

සුළඟද එසේය. "සිහින් සුළං රැළි" ගතට සුවදායකය. දාහය නිවනසුළුය. එවන් සුළඟකින් නැඟෙන හඬ පවා රිද්මයානුකූලය. තුරු හිසක් පවා නැළවෙන්නේ තාලයකටය. කෙහෙ රොදක් සොලවන්නේත් පිළිවෙළටය. "සුළි සුළං" හෝ "සැඩ සුළං" එසේ නොවේ. ඝෝෂාකාරීය. හානිකරය. දුහුවිලි නංවන්නේය. වහල සෙවිලි ගලවා දමන්නේය. ගස් කරටි අගින් අඹරවා උගුල්ලන්නේය. හඬද සවනට අමිහිරිය. විඳිය නොහැකිය. නමුත් දෙවර්ගයම නමින් සුළංය. ඇත්තෙන්ම උද්‍යෝගයේ සහ උදාසීනභාවයේ අරුත් මැවෙන්නේ එය විඳින සීමාවේ සිටය. එය දැනෙන පරාසයේ සිටය. ග්‍රහණයට ගන්නා කෝණයේ සිටය. ලෝකය බොහෝ ස්වාභාවික හැඟීම් කෘත්‍රිමවද නිර්මාණය කරයි. "විදුලි පංකාව" සුළඟෙහි කෘත්‍රිම නිර්මාණයයි. හඬ සහ ඝෝෂාවද ඒ හා සමානය. හඬ හැඟීමකි. ඝෝෂාව නිර්මාණයකි. විඳීම සහ විඳවීම ඔබේ තෝරා ගැනීමකි.

මුහුදෙහි "රළ නැඟීම" රිද්මයකි. එහි හඬ තාලයකි. වෙරළට ගසා ඒම ලතාවකි. ඒ රළ මතින් දියඹට ඇදෙන ඔරුවක, බෝට්ටුවක ගමනට විලාසයක් තිබේ. එය ගොඩබිමේ සිට ඔබට කියවිය හැකි කතාවකි. රසවිඳිය හැකි කවියකි. එහෙත් "වාරකන්" සමයෙහි මේ රටාව බිඳෙයි. මුහුද රළු වෙයි. රැළි ප්‍රචණ්ඩ වෙයි. හඬ දැඩි වෙයි. මුහුද හඳුනන ධීවරයා එම කාලය තුළ මුහුදු ගමනින් වැළකී සිටින්නේය. ඒ අනතුරු අවම කර ගැනීම සඳහාය. බොහෝ අනතුරු නිර්මාණය වෙන්නේ පරිසරය අවබෝධ කර නොගැනීමෙනි. අවශ්‍යතාව කෙතරම් ප්‍රමුඛ වුවද එයට සුදුසුම මොහොත යොදා නොගතහොත් අවධානම වැඩිය. කලෙක අපට "උදම් රළ" කියා දුන්නේ ඒ පාඩමයි. බොහෝ පුපුරා යෑම් ඇරඹෙන්නේ පතුළේ පීඩනය දරාගත නොහැකිම තැනය. පීඩනයට ඔරොත්තු දීම සඳහා පාලනය අත්‍යාවශ්‍යම කාරණයකි. හානිය අවම වන්නේ පිපිරීමට ඇති ඉඩකඩ ඇහිරීමෙනි. ලාංකීය ජන සමාජයද මේ මොහොතේ ඇත්තේ පීඩනයන්ගේ ඝෝෂාකාරී බව තුළය. එහෙත් ඒවා අපට පෙන්වන්නේ අපේ හඬවල් ලෙසය. උද්‍යෝගයේ ඝෝෂා නිර්මාණය වෙද්දී පාලනයෙන් කිමිදෙන පතුළේ පීඩනය වහා හැඳිනගත යුතුය. එසේ නොවුණහොත් හානිය ඉහළය.

සංගීතය කිසිම තැනෙක ඝෝෂාවක් ලෙස හඳුන්වන්නේ නැත. එය "කන්කලු", "කර්ණරසායන" ලෙසින් බුහුමන් ලබන්නේ එහෙයිනි. එය භාවනාවක්, සමාධියක් ලෙස අර්ථ ගැන්වෙන්නේද එනිසාවෙනි. "ආතතිය සඳහා බෙහෙතක්" ලෙසද සංගීතය යොදා ගනී. සංගීතයේදි හඬට ඇත්තේ ප්‍රමුඛ පිළිගැනීමකි. හඬ මිහිරි, ළයාන්විත, ශාන්ත, ළගන්නාසුලු වූ තරමට ඒ හඬ හා බැඳෙන ප්‍රවණතාවය වැඩිය. කිසිවකු රළු, ගොරහැඩි, ඝෝෂාකාරී හඬකට පෙම් බඳින්නේද නැත. අනෙක් කරුණ වන්නේ සංගීත ධ්වනියක් උපදින්නේ වාද්‍ය භාණ්ඩ රැසක එකතුවෙනි. හඬක් මුසු වෙන්නේ ඒ ධ්වනිය සමඟය. එකතුවක නිසි ඵල ලැබෙන්නේ සියල්ලෝම එම අරමුණෙහි පිහිටා සිටීමෙන් පමණි. අද අපට අපහසුම කාරණය එක අරමුණකට එකතු වීමය. එකතුවක් තුළද ඇත්තේ විවිධ අරමුණුය. හඬක් තුළ ඇත්තේද විවිධ පරාසයන්ය. අවසන ඝෝෂාව පමණක් නැඟී, උද්‍යෝගය වෙනුවට අලස, උදාසීන ප්‍රයත්න පමණක් අපට ඉතිරිවන්නේ එනිසාය.

දේශක චන්දන ගුණවර්ධනයන් සිය දේශනයකදී "උද්ඝෝෂණ" පිළිබඳව සිත් ගන්නාසුලු අදහසක් පළ කරන්නේය. ඒ මෙරට සිදු වූ පළමු උද්ඝෝෂණය පිළිබඳවය. ඔහු පවසන පරිදි එය සිදුව ඇත්තේ ඉංග්‍රීසි පාලන සමයේ නොමිලේ ලබා දුන් "අරක්කු දන්සැල්" නැවත විවෘත කරනා ලෙස ඉල්ලමින්ය. එම ඉල්ලීම වෙනුවෙන් පෙළගැසුනෝ, අඹේපුස්සේ අරක්කු නොමිලේ ලබා දීමට සාදා තිබූ ස්ථානය විනාශ කළ බවද ඔහු සඳහන් කළේය. එම දේශනයේදීම ඔහු මෙරට දේශීය ආර්ථිකය නංවාලූ සීනි කම්හල්, සිමෙන්ති කම්හල්, කඩදාසි කම්හල්, පෙහෙකම්හල්, පොස්පේට් නිධි, ටයර් සංස්ථාවලට සහ වානේ සංස්ථාවට අද සිදුව ඇති ඉරණමද සඳහන් කරන්නේය. පොකුණුවල සහ කුළුණුවල අයිතිය නිර්ණය කර ගැනීම වෙනුවෙන්, දෙපසට බෙදී කුලල් කා ගන්නා අපේ දේශමාමක හුදී ජනයා මම මනසින් දුටුවෙමි. අනේ! අර දේශීය සම්පත් යළි මෙරටෙහි ස්ථාපිත කර රට ගොඩනංවන්නැයි උද්‍යෝගයේ ඝෝෂා නඟමින් වීදී බට එරට වැසියන් සමූහයක්ද සිහිනෙන් දුටිමි.

අපේ ඝෝෂාව ඇත්තේ ජාති, ආගම්, භාෂා, පළාත්, පක්ෂ, පාට වෙනුවෙන් බෙදීමටය. අප හඬ නඟන්නේ තමන්ගේ අයිතීන් සහ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙනි. අප සටන් කරන්නේ, අරගල කරන්නේ, පාරට බසින්නේ, උපවාස කරන්නේ මරාගෙන මැරෙන්නට තනන්නේ තමන්ගේ පිල, තමන්ගේ ගොඩ, තමන්ගේ උන් රකින්නටය. දැක්මක් සහිත නායකත්වයක්, ප්‍රතිපත්ති සහිත රාජ්‍යක්, මතවාදයක් සහිත මිනිසෙක් වෙනුවෙන් අපට අරගල නැත. හඬක්ද නැත. ඉඳින් හෙටත් ඉඳිකට්ටේ සිට හැට්ටකටුව දක්වාත් සරුංගලයේ සිට බෞද්ධ කොඩිය, චීවරය දක්වාත් ආනයනය කරන රටක් වෙනුවෙන් උද්යෝගයේ ඝෝෂා නඟන්න මිත්‍රවරුනි!

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා