HIV

 ඡායාරූපය:

HIV

ළදරු හා ළමා අංශයේ සායනික වටයේදී අනිවාර්ය අංගයක් වූයේ උදෑසනම ගොස් බේබි කාමරයේ සහ මවුවරුන් සමඟ සිටි ළදරුවන් පරීක්ෂා කර බැලීමය.

“මම දැඩි ලෙස මත්ද්‍රව්‍ය එන්නත් කරගන්න ඇබ්බැහි වෙලා හිටියේ. මම ඇසුරු කළ පුද්ගලයන්ද ඒ වගේ අය. මම දන්නෙම නැතිව ගැබ්ගෙන තිබුණේ. පියා කවුරුන්ද කියාවත් මම දන්නේ නෑ. ගැබ්බර බව දැනගත් විගස මම රෝහල්ගතවී පිහිට පැතුවා. දරුවා නැති කරන්න ඕනෑකමක් නෑ. එහිදී දැනගත්තේ මම HIV ශරීරගතවූ අයෙක් බව. මට ජීවිතේ එපා වුණා. ඒත් දරුවා නිසා ඉවසුවා. මම දැන් පූර්ණ ලෙස මත්ද්‍රව්‍යවලින් මිදී පුනුරුත්ථාපනය වූ අයෙක්. මට ඒඩ්ස් තත්ත්වය පාලනය කරගන්න ඕනෑ. දරුවාට ඒඩ්ස් නැති බව ඇසුවාම මට ගොඩක් සතුටු හිතුණා”

අප ඉදිරියේ සිටි යුරෝපීය ජාතික තරුණ මවක් ඇගේ ජීවිත කතාව කීවේ බොහෝ සුබවාදීවය.

ඒ අතරම එම ඒකකයේදී මවුවරුන් අතැර ගොස් ඇති ළදරුවන් රැකබලා ගැනීම සිදුවුණේ රෝහල් සේවකයන් විසිනි. ඒ අතර සිටි ඇතැම් බිලිඳුන්ගේ මවුවරුන් ඒඩ්ස් වෛරසය ශරීරගත වූවෝය. එහෙත් සිසේරියන් සැත්කම මඟින් බිහි කළ ඒ දරුවන්ට වෛරසය ශරීරගත නොවීය. රෝග සම්ප්‍රේශණය පිළිබඳ දැනුම අල්ප අප සමාජයේ මේ ගැන ඇති කරන ලද කථිකාවන් විටින් විට ඇසේ.

HIV ඇතැයි සැක කරමින් සමාජයේ විශාල කතිකාවක් ඇති කරමින් දරුවකුට පාසලක් අහිමි කළේ කුලියාපිටියේය. ඉන්පසු එයම ගම්පහ දිස්ත්‍රික්කයේද සිදු විය.

“කොයි දරුවත් දරුවෙක්” යැයි පවසමින් බලු පැටවු, පූස් පැටවුන්ට පවා කරුණාව දැක්වූ වැඩිහිටියන් සිටි රටක බුදු දහමේ සීල සමාධි ප්‍රඥාවෙන් ආලෝකය ලබන්නට, පෝයදාට රට පුරා බණ අසන්නට පන්සල් පිරී ඉතිරී යන රටක මෙවන් හැසිරීම් ඛේදනීය වේ.

වෛරස, බැක්ටීරියා, දිලීර , පරපෝෂිතයෝ කොතකුත් පරිසරයේ සිටිති. එහෙත් ඔවුන් අප ශරීරය තුළට සංසරණය වන ආකාරය හෙවත් ඇතුළු වන ආකාරය වෙනස් ය.

HIV නම් ඒඩ්ස් රෝගකාරක වෛරසය ප්‍රධාන වශයෙන් ශරීරයට ඇතුළු වන්නේ ආසාධිත තරල ශරීරගත වීම මඟිනි. එනම් ආසාධිත රුධිරය යෝනි මාර්ග ශ්‍රාවය සහ ශුක්‍රානු සහ මවුකිරි යන තරලය. මේ වෛරසය ඉහත කී තරලවල අධි සාන්ද්‍රණයකින් පැවතියද සිරුරේ ශ්ලේෂ්මල පටක හරහා මිසක ගෑවුණු හෝ තැවරුණු පමණින් සම්ප්‍රේෂණයක් සිදු නොවේ. රුධිර පාරවිලයනයකදී, ආසාධිත එන්නත් කටු ආදියෙන්, ලිංගික සම්බන්ධතාවකදී හෝ ආසාධිත මවකගෙන් දරු ප්‍රසූතියේදී දරුවාට හෝ මවුකිරි දීමේදී මේ සම්ප්‍රේශනය සිදුවිය හැකිය.

දහදිය, කෙළ, මුත්‍රා වැනි දේ මඟින් රෝග සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් නැති බවද අද වන විට ඔප්පු වී තිබේ.

එහෙත් මිනිසුන්ට ඇත්තේ අනියත බියකි. කැස්ස, හෙම්බිරිස්සාව වැලඳෙනවා වාගේ වාතය මඟින් ඒඩ්ස් බෝ නොවන බව ඇතැම් මිනිසුන්ට පැහැදිලි කිරීමද අපහසු කාර්යයකි.

අද වන විට අපට ඇසෙන්නේ රෝගීන් වාර්තා වීමේ ක්‍රමික වර්ධනයක් ඇති බවය. දෙසැම්බර් 1 වැනිදාට යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය අරමුණු කරගෙන පුවත්පත් ඔස්සේ ලිපි සහ විවිධ රාජ්‍ය වැඩසටහන් ඇති බව දැනුම් දේ.

රුධිර පාරවිලයන සේවය විසින් රෝගී සත්කාරය සඳහා රුධිරය ලබාගන්නේ ස්වේච්ඡාවෙන් පැමිණ තම රුධිරය දන් දෙන නිරෝගී පුද්ගලයන්ගෙනි. එහිදීද රුධිරය හරහා බෝ විය හැකි රෝග ගැන දැනුවත් කර අවදානම් හැසිරීම් සහිත පුද්ගලයන් වෙන්කර හඳුනා ගැනීම සඳහා ප්‍රශ්නාවලියක් පුරවන්නට රුධිර දායකයාට සිදුවේ. එම ප්‍රශ්නාවලිය අවසානයේ තමන් නිරෝගී බවද තමන්ට රෝගයක් ඇති බව දන්නා අතරම රුධිර දානය කළහොත් රෝග සම්ප්‍රේෂණය යටතේ දණ්ඩ නීති සංග්‍රහය අනුව තමාට විරුද්ධව නඩු පවරා නීති මඟින් කටයුතු කළ හැකි බවද එහි සඳහන් වේ.

“ඔබේ රුධිරය ලැබෙන්නේ රෝගී වූ අයෙකුට, ඔබට රෝගයක් ඇත්නම් රුධිරය මඟින් එය ඒ රෝගියාට සම්ප්‍රේෂණය වී ඔහුගේ තත්ත්වය බරපතල විය හැක. එනිසා ඔබේ හිතට එකඟව ඔබ නිරෝගී බව සහතික කිරීම මඟින් අනවශ්‍ය ලෙස ඒ සඳහා වන පරීක්ෂණවලට මෙන්ම මේ ගන්නා රුධිර පැකට්ටුව අපතේ යෑමද වැළැක්වේ” කියමින් ඔවුන් හැකි තරම් දැනුවත් කරන්නෙමු.

තවද දැනට ලෝකයේ පවතින නවීනතම පරීක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීම මඟින් ජාතික රුධිර පාරවිලයන සේවය විසින් රෝගීන්ට ලබා දෙන්නාවූ රුධිරයේ ආරක්ෂිත භාවය සහතික කරනු ලැබේ.

අපේ දැනුවත් කිරීම හරහා ඇතැමුන් තමන් දන්නා ඔවුන්ගේ රෝගී තත්ත්වයන් ගැන පවසා ලේ දන් දීමෙන් වැළකී සිටින අය මෙන්ම අසත්‍ය පවසා රුධිරය දානය කරන්නන්ද මේ පරීක්ෂණ මඟින් අපට හමුවේ. එවැන්නන් හට සමාජය තුළ රෝග සම්ප්‍රේෂණය කිරීමට තැත් කිරීම යන වරද යටතේ ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත අනුව පසුගිය මස අවසන් වන විට රට තුළ සිටින HIV ආසාදිතයන් සංඛ්‍යාව ‍2783ක් ලෙස හඳුනාගෙන තිබේ. එමෙන්ම දැන් මේ තත්ත්වයට ගොදුරු වන පිරිස වැඩි වශයෙන් පිරිමි බවද තරුණ වයස් කාණ්ඩවල අයවලුන් බවද වාර්තා වී ඇත.

අවදානමට වඩා ප්‍රවේශම අගනේය. ඒ නිසා වගකීමක් සහිත වැඩිහිටියන් ලෙස සමාජයේ මේ රෝග පැතිරීමේ අවදානම ඇති හෙයින් වඩා ආරක්ෂාකාරීව ක්‍රියා කළ යුතුය. එසේ අවදානම් හැසිරීමක් ඇත්නම් ඕනෑම රෝහලක ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමුවී පරීක්ෂා කළ හැකිය.

මාතෘකා