ආත්ම විශ්වාසයෙන් පිරී යන්න

 ඡායාරූපය:

ආත්ම විශ්වාසයෙන් පිරී යන්න

තමන් ගැන තියෙන්නේ කොයිවගේ තක්සේරුවක්ද? වෙලාවකට අවතක්සේරුවෙන් හිතන සහ විටෙක අධි තක්සේරුවෙන් හිතන මනසක් ස්වභාවිකයි. නියමාකාරයෙන් තමන් ගැන දැනගන්න මිනිසෙක් මේ අන්තයන් දෙකටම නොවැටෙනවා සේම සිය දුර්වලතා මඟ හරවාගන්න උත්සාහ දරනවා. නිතරම කියන කියමනක් මේ වෙලාවේදී මතක් කරන්න හිතෙනවා."ලෝකය ඔබ මනින්නේ ඔබ කළ දෙයින් මිසක් ඔබ හැකියැයි සිතන දෙයින් නොවෙයි." තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න අය කියන කතාන්දර සමහර වෙලාවට කණ වැකෙනවා. එහෙම කියන්නේ කවුරුන් හෝ යමක් කළ විටයි.

"අය්යෝ. ඕක මහලොකු දෙයක් නෙවේ."

"පොඩි ළමයෙකුටත් කරන්න පුළුවන් වැඩක් ඒක"

"ඔච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. මට කිව්වනම් ටක් ගාලා වැඩේ කරන විදිය කියනවා"

ඇයි ඇත්තටම අපිට හැකි දේවල් සහ හැකියැයි සිතන දේවල් අතර නොගැළපීමක් තියෙන්නේ? එහෙම වෙන්න එක හේතුවක් තමයි අපි යථාර්ථය පිළි නොගන්න බව. හිත සනසා ගන්න සමහරක් දේවල් කළ හැකි යැයි තක්සේරුවක් අපි ඇති කරගන්නවා. සමහර වෙලාවට එය වදනින් පවා ප්‍රකට කරනවා. ඔබ තුළ තියෙන්න ඕන අව තක්සේරුවක් නොවෙයි. අධි තක්සේරුවත් නොවෙයි. නිසි තක්සේරුවක්.

තමන් ගැන නිසි තක්සේරුවක් කරගන්නෙ කොහොමද කියන එකට නම් තියෙන්නෙ සරල වැඩක්. මේ කාර්යය හරි අවංකව කළොත් ඔබ ඉන්නේ කොතනද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ඉලක්කයන් හරියාකාරව හසුරවාගන්නත් ඉන් හැකියාව ලැබෙනවා.

'ශදුඅත' කියලා හඳුන්වන්නේ එය. කොළයක් අරගෙන හරි ඔබේ ජංගම දුරකතනයේ යෙදවුමක හරි සටහනක් ඇතුල් කරගන්න. මෙතුලින් කතා කරන කාරණා හතරක් තියෙනවා. පළමුව යෙදෙන 'ශ' අකුරෙන් කියන්නෙ ඔබේ ශක්‍යතාවයන්. ඔබේ ශක්‍යතාවක් ඒ කියන්නෙ ඔබ දක්ෂතා දක්වන දේවල් ලියාගන්න. දෙවනුව කියන 'දු' අකුරෙන් කියවෙන්නේ ඔබේ දුර්වලතාවන් ගැන. ඊට පස්සේ ඔබේ දුර්වලතා ලයිස්තු ගත කරන්න. මේ කාරණා දෙක වැඩිපුර හිතමින් අවංකව සටහන් කරන්න. මොකද ඊළඟ කරුණ වන අවස්ථා හඳුනාගන්න එයින් පහසු වෙනවා.

'අ' අකුරෙන් කියවෙන්නේ අවස්ථාවන්. ඒ කියන්නේ ඔබ අවට තියෙන ස්වර්ණමය කාරණයන්. උදාහරණයක් ලෙස ඔබ කරන රැකියාව තුළම ඉඳගෙන යම් පාඨමාලාවක් කරන්න ඉඩකඩ සලසා එහි වියදම් පවා ප්‍රතිපූර්ණය කරනවා නම් අන්න එවැන්නක්. විටෙක ඔබ ඇසුරු කරන විශිෂ්ටයෙක් ඇසුරෙන් අත්දැකීම් ලබාගන්න එකත් ලොකු අවස්ථාවක්. එවැනි අවස්ථා හඳුනාගැනීමෙන් තම ඉදිරි දියුණුවට ලැබෙන්නේ ලොකු පිටුවහලක්.

අන්තිම වචනේ ගැන අපි ටිකක් හිතන දෙයක්. 'ත' කියන්නේ තර්ජන. තර්ජන කියන්නේ අපිට එන අභියෝගයන්. පවතින අවශ්‍යතාවන්ට අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක්. අපි නොතකා හිටියොත් වෙන්නේ පොඩි දෙයත් ලොකු තර්ජනයක් වෙන එකයි. හරිම ඉක්මනින් තාක්ෂණය වෙනස් වෙනවා. නව දැනුම උකහාගත යුතුවෙනවා නේද?

මේ කාරණා සියල්ල සම්පූර්ණ කරගත් අයෙක් තුළ තියෙන්න "ආත්ම විශ්වාසය." ආත්ම විශ්වාසය කියන්නේ තමා ගැන තියෙන නිසි තක්සේරුවයි. ආත්ම විශ්වාසය කියන කාරණේ මැනවින් පහදා දෙන කතාවකින් මේ සියල්ල අපුරුවට එකතු කරන්නට පුළුවන්.

එක් තරුණයෙක් රැකියාවක් පිණිස සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවෙන්න එම ස්ථානයට ළඟාවුණා. පැමිණි පිළිවෙළට පිරිස අසුන්ගෙන සිටියා. ඔහු ගණින්න පටන් ගත්තා. ඔහු ඉන්නේ හරියට පහළොස්වෙනියාට. තමන් ඉන්නේ අවසානයට බව ඔහු ඒ සමඟම තේරුම් ගත්තා.

සියලු සුදුසුකම් සලසා තියෙන තමන්ටත් නිසි අවස්ථාවක් ලැබෙනවානම් රැකියාව ලබාගන්න හැකියාව තියෙන බව ඔහු විස්වාස කළා. පැමිණ සිටින සියල්ලන්ම නිසි සුදුසුකම් ඇති පිරිසක් විය හැකියි. අවදානමක් ගන්න කැමැති නොවුණ තරුණයා අසුනෙන් නැඟී සිටියා. පිළිගැනීමේ අසුනේ සිටින තරුණිය අසලට ගියා.

තම ලිපි ගොනුවෙන් ගත් කඩදාසියක යමක් සටහන් කර ඔහු ඇය අතට පත් කළා.

"කරුණාකර මෙය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට දෙන්න" ඔහු ඉල්ලා සිටියා.

නැවත සිය අසුන වෙත ගිය ඔහු සැහැල්ලුවෙන් ඉඳගත්තා. තමන්ගේ අවස්ථාව ලද විට ඔහු අවසාන ඉල්ලුම්කරු ලෙස සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට මුහුණදෙමින් ඉන්නේ.

"ඇයි ඔබ මේ සටහන එව්වේ?" ඔහු එවූ පණිවිඩය ලියූ කඩදාසිය පාමින් පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා ඔහුගෙන් විමසා සිටියා.

"මහත්මයා, මා සිටින්නේ අවසානයට. කරුණාකර සියල්ලන්ම කැඳවන තෙක් අවසන් තීරණයක් ප්‍රමාද කරන්න" එහි එලෙස සටහන් කර තිබුණා.

"මහත්මයා, අපි ඔක්කෝටම සමාන අවස්ථාවක් ලැබෙන්න ඉඩක් නැතිවෙන්න පුළුවන් පළමුව ඔබට අවශ්‍ය ආකාරයේ කෙනෙක් මුණ ගැසුණොත්. ඊට පස්සේ ඉන්න වඩා දක්ෂයෙක් මේ ආයතනයට අහිමි වෙන්නත් පුළුවන්." තරුණ අපේක්ෂකයා අපූරු පිළිතුරක් දුන්නා.

එය ඇත්තෙන්ම වෙනසක් ඇති කළ කතාවක් වුණා. තමන් අදාළ රැකියාවට සුදුසු බවට ඔහු තුළ තිබුණු ආත්ම විස්වාසය පළ කරනු ලැබූ පණිවිඩයේම දිගුවක්.

දින කිහිපයකට පසුව මේ තරුණයාට එම ආයතනයෙන් යළි කැඳවීමක් ලැබෙන්නේ ඒ තනතුරේ පුරප්පාඩුව සඳහායි.

හිතලා බලන්න, කොයිතරම් දෙයක් ආත්ම විස්වාසයකට කරන්න පුළුවන්ද කියලා. අවතක්සේරුවෙන් සහ අධි තක්සේරුවෙන් මිදෙන්න. ආත්ම විස්වාසයෙන් ජීවිතය පුරවාගන්න. මේ හිතන්න සුදුසුම වේලාවයි.

[මේනක මදුජිත‍්]

මාතෘකා