විද්‍යාවද කලාවක් බව පසක් කළ පිල්ට් ඩවුන් මිනිසා

 ඡායාරූපය:

විද්‍යාවද කලාවක් බව පසක් කළ පිල්ට් ඩවුන් මිනිසා

 

ක්‍රි.ව 1912දී එංගන්තයේ පිල්ට් ඩවුන් ප්‍රදේශයෙන් පුරාතන මානවයකුට අයත් අවශේෂ සොයා ගත් ආරංචිය ලැව්ගින්නක් සේ පැතිර ගියේය. ඔහු එංගලන්තයෙන් හමු වු දියුණු බුද්ධි මට්ටමක් සහිත පැරණිතම මානවයා පමණක් නොව ක්‍රීඩාශීලියෙකුද වු බව ඔහු ගේ අවශේෂ සමඟ හමු වූ අලියෙකුගේ කලවා අස්ථියකින් කළ ක්‍රිකට් පිත්තක් හැඩැති අස්ථියෙන් පැහැදිලි වන බව ඇතම් අය ඒ සොයාගැනීම උපහසාසයට නැඟූහ. නමුත් ඉන් දශක හතරකට පමණ පසු මෙකී සමස්ත සොයා ගැනීමම එක්තරා චංචනික ක්‍රියාවක් බව ලොවට හෙළි විය.

මෙම වංචාවේ පසුබිම් කතාව ඉතාම සිත් ගන්නාසුලු එකකි. ක්‍රිතව 1891දී ලන්දේසි පුරාමානව විද්‍යාඥයෙකු විසින් හෝමෝ ඉරෙක්ටස් මානවයා පිළිබඳ පළමු සාක්ෂිය ලොවට අනාවරණය කළේය. ජාවා මිනිසා ලෙස හැඳින් වූ එම මානවයා සොයා ගත්තේ ඉන්දුනීසියාවෙනි. ඉන් වසර දහසයකට පසු ජර්මනියේ හයිඩල්බර්ග් ප්‍රදේශයෙන් තවත් එවැනි පැරණි වානර-මානවයෙකුට අයත් හනු කොටසක් සොයා ගැනිණි. හයිඩල්බර්ග් මානවයා ලෙස ප්‍රසිද්ධ වූ එම මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙන් පැවත ආවෙකු බව සැලකිණි. 1912 දෙසැම්බර් මස 18 වන දින එංගලන්ත වැසියන් දෙදෙනෙකු වූ ආතර් ස්මිත් වුඩ්වර්ඩ් සහ චාර්ලස් ඩෝසන් යන දෙදෙනා විසින් ප්‍රකාශ කළේ පිල්ට් ඩවුන් ප්‍රදේශයෙන් තවත් එවැනිම පැරනි සාධක සොයා ගත් බවය. මෙම සොයාගැනීම, ඒ වන විට ප්‍රංශය තුළ සහ ජර්මනිය වැනි රටවල තිබී හමු වූ නියන්ඩතාලයන්, ක්‍රොමැග්නන් වැනි පැරණිතම මානව සාධක සමඟ එකට එක තැබිය හැකි පැරණිතම සාධක එංගලන්තයෙන්ද හමු වී ඇත බවට විද්‍යාත්මක ලෝකය තුළ වහසිබස් දෙඩිය හැකි තරමේ ජයග්‍රහණයක් බවට පත් විය. මෙම සොයා ගැනිමත් සමඟ එංගලන්තය පැරණිතම මානව ෆොසිල හිමි කරගැනීමේ තරඟයෙන්ද ප්‍රමුඛත්වයට පත් විය.

මේ වන විට පිල්ට් ඩවුන් වංචාවට පුද්ගලයින් තිස්දෙනෙකු චෝදනාවට ලක් වී ඇත. එහි පළමු වග උත්තරකරු වී සිටින්නේ මෙම සාධක මුලින්ම සොයාගත්තා යැයි කියන චාර්ල්ස් ඩෝසන් නැමැති පුරාවස්තු එකතු කරන්නාය. එහෙත් බොහෝ විද්‍යාඥයින් විස්වාස කරන්නේ ‍මෙම වංචාව හසු නොවන ලෙස කිරීමට එවකට ක්ෂේත්‍රය තුළ සිටි පාෂාණධාතුක විද්‍යාඥයින් ඇතුළු අනෙකුත් විද්‍යාඥයින්ගේ සහාය ලැබී ඇති බවයි. මොවුන් අතර ප්‍රකට රහස් පරීක්ෂක කතාකරුවෙකු වූ අතාර් කොනන් ඩොයිල්ද සිටී. අතාර් කොනන් ඩොයල් පිල්ට් ඩවුන්වල ගෝල් ක්‍රිඩාවේ නියලුණ අතර ඔහු සහ එකට එංගලන්තය තුළ සිටි විදයාඥයින් සමඟ යම් ආරෝවක් වර්ධනය වී තිබිණි. පෙරදී වෛද්‍ය වෘතියේ නියලුණ කොනන් ඩොයිල් ෆොසිල එකතු කිරීමටද ඇල්මක් දැක්වුයේය. එමෙන්ම හිස්කබල් කොටස් ව්‍යාජ ලෙස නිර්මාණය කිරීමට ඔහුට නිපුණත්වයක් තිබිණි. -The Lost World නම් ඔහු විසින් 1912දී ප්‍රකාශයට පත් කළ සුප්‍රකට කෘතියේ එන එක් චරිතයක් "ඔබ දක්ෂ නම් ඒගේම ඔබ මේ වැඩෙ හරියට දන්නව නම් ඔයාට හොර ඡායාරූපයක් හදනව වගේ පහසුවෙන් ව්‍යාජ අස්ථිත් හදන්න පුළුවන්." යනුවෙන් කරන ප්‍රකාශයක් හරහා දැක්වෙන්නේ ඒ පිළිබඳ ඔහු සතු දැනීමයි.

එමෙන්ම තවත් ජේසුයිට් දාර්ශනිකයකු, පාෂාණ භූත විදයාඥයෙකද වූ පියරේ ටෙලිහාර්ඩ් ඩි චාර්ඩින් නැමැත්තාද මෙයට හවුල් වූ බව සොයාගෙන ඇත. මීට අමතරව බ්‍රිත්‍රාන්‍ය ස්වාභාව ඉතිහාස කෞතුකාගාරයේ කීර්තිමත් විද්‍යාඥයෙකු වූ ආතර් ස්මිත් වුඩ්වර්ඩ්ද මෙයට හවුල් වී ඇති බවට සාක්ෂි ඇත. ඩෝසන්ගේ සොයාගැනීම සත්‍යයක් බව තහවුරු කරන ලද්දේ ඔහු විසින් වන අතර අප මානවයාගේ ඉතා පැරණිම පුර්වජයෙකුට එම අස්ථි කොටස් අයත් බව පැහැදිලි කළ අතර එම මානවයා ඉයන්ත්‍රොපස් ඩෝසානී යනුවෙන් නාමකරණය කරන ලද්දේය. එවකට ඔහුගේ සහායක මෙන්ම පසුව කීර්තිමත් පාෂාණ ධාතු විදයාඥයෙකු වූ මාර්ටින් හින්ටන්ද මෙයට සම්බන්ධ බවට ඔහුගේ මියයෑමෙන් වසර දහයකට පසුව එනම් 1970 දශකයේ මැද භාගයේදී සොයා ගන්නා ලදි. ඔහුගේ පෞද්ගලික සන්තකව තිබූ පේට්ටගමක තිබී හැඩගන්නවා සහ වර්ණ ගන්වා තිබූ, පිල්ට් ඩවුන්වලින් හමු වූ සාධකවලට සමාන අස්ති කොටස් සොයා ගැනීමට සමත් විය.

ක්‍රිස් ස්ටින්ගර් නම් පර්යේෂකයා සහ ඔහුගේ ශිෂ්‍යයන් විසින් 2012දී එම සාධක පිළිබඳ කළ විකිරණශීලී දිනනීර්ණය, DNA සහ සමස්ථානික විශ්ලේශනය ආදී නවතම අන්වික්ෂීය අධය්‍යයන මඟින් එම සාධකවල වර්ගීකරණ අනන්‍යතා සහ භූවිද්‍යාත්මක සම්භවය සොයා බැලීමට උත්සහ කළහ. එමෙන්ම පිල්ට් ඩවුන් මිනිසාගේ අස්ථි, දත් සහ මෙවලම් වලට කොපමණ වර්ණගැන්වීම් ක්‍රම ගණනාවක් යොදගෙන ඇද්ද යන්න බලා ගැනීම සඳහා වර්ණාවලීක්ෂණ ක්‍රියාවලිය භාවිතා කරන ලදී. එමඟින් ඔවුන්ට මෙම වංචාව කිරීමට අනුගමනය කළ රාසායනික වෙනස් කිරීම් පැහැදිලිව හඳුනාගත හැකි විය.

පිල්ට් ඩවුන් සාධක වෙනස් කිරීමට ලක්කොට එහි වළ දැමුවේ කවුද යන්න සොයා ගත හොත් ඔවුන් එසේ කළේ කුමක් සඳහාද යන කාරණයද එළිකොට ගත හැකිය. ඩෝසන් මෙසේ කළා කියා හෙළි වුවහොත් ඔහු එසේ කරන්නට ඇත්තේ මූලිකවම විද්‍යාත්මක සමාජය තුළ පිළිගැනීමක් ලබාගැනීමටය. මක් නිසාද යත් ඩෝසන්ට රාජකීය සංගමයේ සමාජිකයෙකු වීමට මහත් ඕනෑකමක් පැවති අතර ඔහු නිරන්තරයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන් ඇසුරු කිරීමට ඇල්ලමක් දැක්වූ බව ඔහුගේ දිවිය ආශ්‍රිත කරුණු කාරණාවලින් පැහැදිලි වෙයි.

පිල්ට් ඩවුන් මිනිසාගේ මෙම සොයාගැනීම් පාෂාණධාතු විද්‍යාවේ ප්‍රගමනයට විශාල බලපෑමක්ද ඇති කළේය. එනම් 1920 දශකයේ මැදදී දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔස්ට්‍රොලොපිතිකස් ඇෆ්‍රිකානුස් නම් ආද්‍ය මානවයාගේ පැවැත්ම බොහෝ අය විසින් යම් කාලයක් යන තුරු පිළිගැනීමට අකමැත්තක් දැක්වුයේ මෙම පිල්ට් ඩවුන් සාධකවල ඇති සංකීර්ණ බව නිසාය.

News Order: 
0
මාතෘකා