අනාරක්ෂිතය!

 ඡායාරූපය:

අනාරක්ෂිතය!

ගැහැනු ජීවිත යනු තේරුම් ගැනීමට බැරිම දෙයක් බව කියැවේ. උපන්දා සිට බොහෝ දුෂ්කර ගමනක් යෑමට ඇත්තේද ඇයටය. සෑම මසකම හෝර්මෝන වෙනස්කම් සමඟ ගැබ් බිත්ති පුපුරා හැලෙන්නේද කොඳු ඇට මාංශපේෂී උදර බිත්තිය අඹරවමින් බොහෝ රිදුම් දෙමිනි. මේ ගැහැනුකම නිසාම ගැහැනු කොයිතරම් ශක්තිමත් ජීවීන්දැයි මට සිතේ.

ස්ත්‍රී දූෂණ සිදුවීමක් ඇසෙන විට පමණක් සමාජයේ කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වන අතර ඒ කොතරම් සුළු කාලයකටද? මුහුණු පොත නම් අන්තර්ජාල සමාජ වෙබ් අඩවියේ දකින දකින අත මෙවැනි ඛේදාන්ත ගැන විවිධ රූප රාමු හෝ දැන්වීම් පළ වුවත් එයද කොයිතරම් සුළු කාලයකටද ?

කාන්තාවන්, දැරියන් සහ ළදැරියන් මුහුණ දෙන්නාවූ මෙවැනි ඛේදවාචක ගැන සංවේදී වූයේ කිනම් දේශපාලන නායකත්වයක්දැයි මා අතීතය විමසා බලන්නෙමි. මෙවැනි අසාධාරණයට ලක්වූ අපේ රටේ ගැහැනු, දැරියන් හා ළදැරියන් නිතර දකින අතර ඔවුන්ගේ දුක් කඳුළු දකිමින් අවසන ඔවුන්ගේ කතාව අහන්නට මෙන්ම දුක දරන්න පිහිට වන්නටද සිදුවන නිසාය.

මහා දරුණු ඛේදවාචකයකට මුහුණ දුන් පුංචි දැරිවියන් දෙන්නකු මට මුණ ගැසුණේ හදවත බොහෝ රිදවමිනි. අම්මා අගනුවර රැකියාවක් කරන අතර මල්ලිත් නංගීත් බලාගෙන මේ අක්කා සිටියේ තම පියාගේ රැකවරණයේය. එනමුදු අක්කාටත් නංගීටත් ඉතා කුඩා වයසේදීම තම පියාගෙන් සිදුවූයේ අහස පොළොව නුහුලන අපරාධයකි.

"දැන් මිනිස්සු යක්කු වෙලා" කෙනකු කියනු ඇසේ. "අසීමිත නිදහස නිසයි මේ, ඉස්සර මෙහෙම නෑ " එහෙමත් අදහසක් මතුවේ.

"අම්මා නොමැති කළ අප්පා කවර කල! කියා කියන්නේ මෙවැනි තාත්තලාට වන්නට ඇති" යැයි වාට්ටුවේ වැඩිහිටි ස්ත්‍රියක පවසනු ඇසේ. ඒත් මේ මොහොතේ මේ තීරුව කියවන ඔබෙත් මගෙත් මතු බුදු වන තාත්තලා/අප්පච්චිලා වැනි පියවරුන් ලබන්නට අපි කොයිතරම් පින්කර ඇද්දැයි බොහෝ සුරක්ෂිත ළමා කාලයක් ගෙවූ මට යළිත් සිහිපත් වේ.

"මට විභාගේ ඩොක්ටර්, පොත් ටික ගෙන්න ගන්න විදිහක් තියෙයිද ?” මා අසලට පැමිණි තරුණියක් විමසයි. ඇය තම පෙම්වතා විසින් අතවරයට ලක්වූ නමුදු ඊට එරෙහි නොවූ නිසා දිගින් දිගටම එවැනි අඩම්තෙට්ටම් සිදුවූ තරුණියකි.

“පොත් තියෙන්නේ හොස්ටල් එකේ කාමරේ" විශ්වවිද්‍යාලයේ විභාගයක් බව ඇය අප හමුවේ පවසයි.

“ කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ ඩොක්ටර්”

"අපි ඔයාට කොහොම හරි පොත් ටික ගන්න ක්‍රමයක් කියන්නම්" බොහෝ යුහුසුළු වුණු අප ඉන්පසු ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහායෙන් ඇයට පොත්පත් ලබා දුන්නෙමු.

"දැන් මම මොකද කරන්නේ ඩොක්ටර් ?" තම කුසෙහි සිටින දරුවා ගැන ඇය විමසන්නේ දරුවා ලැබුණු පසු පරිවාසයට බාර දී නැවත අධ්‍යයන කටයුතුවල යෙදෙන්නට හිත හදාගන්නේ කොහොමදැයි නිතර විමසමිනි.

නිසි දැනුමක් හෝ මඟ පෙන්වීමක්, ලිංගික අධ්‍යාපනයක් නොමැති නිසා තරුණියන් සමාජයේ විවිධ වූ අකටයුතුකම්වලදී රැවටීමට ලක්වේ. ලිංගික අධ්‍යාපනය ගැන අප රටේ පවතින බොහොම ඇල්මැරුණු ස්වභාවය මීට බොහෝ ලෙස හේතුවේ. එහෙත් යථාර්ථය නම් අප සංස්කෘතික වටිනාකම් හා සාරධර්ම සදාචාර ආචාර ධර්ම යැයි කුමක් ලියූවත් මේ කිසි දෙයක් අද බල පවත්වන්නේ නැතිකමයි.

අවුරුදු 5ක දැරියක් තම අම්මා විසින් රැගෙන ආවේ හිස අත් තබා විලාප තබමිනි. අසල ගෙදරක සිටි දරුවනුත් සිටින අමනුස්සයකු විසින් මේ දැරිය අතවරයට ලක් කර තිබිණ. නමුත් ඇයගේ කෑ ගැසීම් හමුවේ අහල පහල වුන් පැමිණ ඇය බේරාගෙන තිබේ. දැඩි දුකක් සහ බයක් ඇතිවේ. "මෙහෙම සමාජයකද අපි ජීවත් වන්නේ?.... ඉස්සරහට මීට වඩා දරුණු වෙයි !. "එහෙමත් ඇසේ.

මුහුණු පොතේ, අන්තර්ජාලයේ අපි වීරයන් මෙන් නොයෙක් අතවර ගැන ශෝක ප්‍රකාශ ලියන්නෙමු, කවිකාර ඇත්තෝ කවි ලියමීන් ශෝක වෙති. විප්ලවීය අදහස් ඇත්තෝ යුද ප්‍රකාශ කරති. මරණ දඬුවම දෙන්න යැයි නියෝග කරති. නමුත් සමාජයක් වශයෙන් අප අවට අපි ජීවත් වන ප්‍රදේශයේ ඇති සුරක්ෂිත බව ගැන විමසිලිමත් වීමට අපි තවම අපොහොසත් වී ඇත.

දිනක් උතුරු කොනට ඇදී යන බස් රථයක මා අසුන්ගෙන යද්දී පොත් බෑගයක් එල්ලාගෙන ඉස්සරහින් සිටගෙන සිටි දැරිවියට හේත්තු වන්නට ආ මැදිවියේ මිනිසා දුටු මට මහත් කෝපයක් ඇති විය. දෙමළ දන්නා නිසා දැරිවියට කතා කර මා අසලට ඇදගත් නිසා අර මිනිසා මට රවමින් සහ ඔරවමින් ඉස්සරහට ගියේය. එහෙම නොවුණා නම් තමන්ගේ අසික්කිත ඕනෑ එපාකම් අර කුඩා දරුවාගේ පිටින් යවන්නට ඒ තිරිසනා කටයුතු කරනවා ඇති.

"වීරකම් කළාට, බහින තැන බලාගෙන ඉඳලා ඇවිත් ඔයාට හිරිහැර කළා නම් ! " මගේ යෙහෙළියක එසේ මට අමතක වූ පැත්තක්ද මතක් කළාය. දින කිහිපයක් යන තෙක් තනියම කොහේවත් නොගිහින් ඉන්නට මම වග බලා ගත්තෙමි. නොයෙක් විට අනුන් වෙනුවෙන් වීරකම් කළද ඒ පළාතෙන් මාරුවී යන තෙක්ම මේ බිය හිතේ පැවතිණ.

බස් රථයේ හෝ දුම්රියේ රාත්‍රී කාලයේ තනිව ගමන් කරන්නට බැරි තරම් මේ සමාජය අනාරක්ෂිතය. සමාජය යනු අපිමය. අපි වෙනස් විය යුතුය. අපි විසින් ඇතැම් දේ වෙනස් කළ යුතුය. එසේ නැත්නම් සමාජය වෙනස් නොවනු ඇත.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

 

මාතෘකා