තවත් ඇරඹුමක්...

 ඡායාරූපය:

තවත් ඇරඹුමක්...

අපි පිළිවෙතින් යුත් සම්මත වූ සමාජයක් ඇරඹුණු බව පිළිගන්නා කාලයක පටන් නිරන්තරයෙන් සවන් ගැටෙන වැකියක් වූයේ “සෑම ආරම්භයක් සමඟම අවසානයක් ඈඳෙන වගයි.” සුන්දර යැයි හඬනඟමින් වන ඇරඹුමක් අමිහිරි නිමාවක් සටහන් කළ වාර අප්‍රමාණයි. අප බොහෝ විට ඒ සුන්දරත්වය එක්ක එක්කාසුව පැතුම්, සිහින පොකුරු දරාගෙන නිමක් නොපෙනෙන අනන්තයකට ඇදෙනවා.

වරෙක මේ ගමනේදී ඔබත්, මමත් අනේක වූත් අපමණ වූත් අත්දැකීම් ගොන්නකට හිමිකම් කියන්නට ඇති. නැත්නම් හිමිකම් කියන්නට වනු ඇති. ඒ සියල්ල තවකකු තුළින් හෝ ඔබ තුළින්ම ඉපදුණු ඒවා නොවන්නටත් ඇත. නොනවතින රටාවන් ශීඝ්‍ර වියමනකට නතු කරන අපට හෙමින් සෙලවෙන ඇඟිලි තුඩුවක් පවා නැවුම් ආරම්භයකට මඟ කියන බව මොහොතකට හෝ ඔබට දැණුනාද? ඒ පැනය මොහොතකට පසෙකින් තියමු. නිර්ව්‍යාජ හසරැලි ගොන්නක් වෙළාගත් ආශ්වාදයක් ඒ හැම ඇරඹුමකදීම ඔබ, මා, අප සතුව නිබඳවම රැඳේවි.

අයෙක් නූපන් ඇරඹුමක් අභියස ජීවමාන අවසානයක් මත හිඳිමින් අතීතයටත් වත්මනටත් සුසුම් හෙළනවා. තවත් කෙනකු ආරම්භයක නැවුම් උණුසුම දනවමින්ම අවසානය කොතැනකදැයි නොදැන කෙලෙසකදැයි නොදැන නිනව් නැති ගමනක. නමුත් ඔබත් මමත් එක් නිමේෂයක ඇරඹෙන නැවුම් බලාපොරොත්තුවක් හැඟීමකට මුසු කර එහි රස විඳිමින් කොතෙක් අවසානය තෙක් සමීප වේවිද; එතෙක්ම ඒ දුර ඇදේවි. මේ මගේදීම වාරයේත්, අවාරයේත් හමා එන මද සුළඟ ඒ ඇරඹුමෙන් අපව ඈතකට රැගෙන යනවා. ඒත් ඒ සුළඟෙහි ඇරඹුම එතැනමයි.

නැවත නැවතත් අවසානයක් සොයා ගමන් අරඹන්නේ එහි ඵලය ලබන්නට ප්‍රාර්ථනා එක් කරන්නේ අතළොස්සක් වූවන් නොවෙයිද? ඒ අප තුටින් ඇරඹූ, මඟ ගෙවූ කිනම් හෝ ගමනක අන්තය දකින්නට බොහෝ විට අපම රිසි නොවන නිසයි. අත්හළ නොහැකි ප්‍රිය ජනක වූ ඇරඹුමක් තිබෙයිද? අවසන් වූ ඇරඹුමක් වෙයිද?

ඇත්තෙන්ම ඇරඹුමක් නිමාවක්ද?

වරෙක මල් ගොන්නක් පිරිවරා හිනැහුණු රුක් ගොමුවක් දිනය නිම වෙත්ම මුකුලිත වූ ඒ වන මල් නිසාම තුරු හිස් වියැකී යාවිද? නමුත් පසුදා අරුණෝදයේදී සුපිපි මල් ගොන්නක් ඒ තුරු සිප සනසන්නේ නිමාවක් නොවන සේමයි. එතුරු පත් සලමින්ම දළු මල් පුබුදවන්නේ ඇරඹුමක් මිස එය නිමාවක් නොවන නිසාමයි.

සියල්ල හමුවේ ඔබේ හිත මුමුණාවි මේ නම් නොසිතූ නිමාවකින් මතු අහඹු ඇරඹුමක්ය කියා. ඒත් මෙය දිගු ගමනක ඇරඹුමකින් අවසන් නොවන ආරම්භයක් පමණමයි.

නිදහසේ දකින්න, සිත් සේ විඳින්න. ඔබත් මමත් නොසිතූ මොහොතක ගිණිගත් වලාකුළුවලට ඉහළින් “සඳ මල්වර” වෙලා.

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා