බාහිර මිනුම්

 ඡායාරූපය:

බාහිර මිනුම්

සිංහල ප්‍රබන්ධ විචාරයේදී නිතර වැහැරෙන පදයක් නම් මානව දයාව යනුයි. “එය මානව දයාවෙන් පිරි රචනයකි.”, “කතාකරුවාගේ මානව දයාව මොනවට පෙනේ” ආදී වශයෙන් එම විචාර සිදු වනු පෙනේ. විචාරයේදී මානව දයාව යන්න භාවිත කළ හැකිද? එය එහිලා නිවැරදි වදනක්ද? ප්‍රබන්ධයකින් කෙරෙන්නේ රස නිෂ්පත්තියය. පාඨකයා කරන්නේ ඒ රස වින්දනය කිරීමය. රසවින්දනය ඔස්සේ ලැබෙන්නේ ඒ ආශ්‍රිත ආස්වාදයකි. අනෙක් අතට මානව දයාව ප්‍රබන්ධ ලෝකයෙන් බැහැර මිනුමකි. එනිසා එය රසාස්වාදය හා සැසඳීම අර්ථශුන්‍ය දේකි.

මානව දයාව කතාකරුවකුට කොහොමටත් තිබිය යුතු දේකි. ඔහු කතාවකට ප්‍රවිෂ්ට වන්නේම දයාවෙනි. එහෙත් කතාව කියවා අවසන දැනෙන්නේ දයාවක් නොවේ. එය ඇත්ත වශයෙන් විස්මයකි. මේ විස්මය සංස්කෘත විචාරවේදයේ හැඳින්වෙන්නේ චමත්කාරය ලෙසය. රසයේ සමස්තාර්ථය චමත්කාරය නිසාය. අනෙක මානව දයාව භාවයකි. කලාවේ ඇත්තේ භාවයන් නොවේ, රසය. සාහිත්‍ය කලාව රසවලින් වෙන් කර ගෙන අන් මිනුම්වලින් මිනීම ඵල නැති දෙයකි.

මානව දයාව පමණක් නොවේ, ප්‍රබන්ධයට තව නොයෙක් බාහිර මිනුම් ඇත. එක හුස්මට කියවීමට හැකි වීම, යථාර්ථය නිරූපණය, සමාජ දේශපාලනය විවරණය, කතාවේ ළගන්නාසුලු බව, සරල බව, කතාව පාඨකයා අතීතය වෙත කැඳවීම, අදහන්න බැරි දේ ගෙනහැර පෑම ආදියද ඉන් කිහිපයකි. මේවා ප්‍රබන්ධ නොවන රචනයක් තක්සේරුවට ගත හැකි මිනුම් මිස ප්‍රබන්ධ තක්සේරුවට ගත හැකි මිනුම් නොවේ. වෙනත් ලෙසකට කිවහොත් ඒවා රසිකයන්ගේ නොව අවරසිකයන්ගේ මිනුම්ය.

ප්‍රබන්ධය ඇත්තේ අවරසිකයන්ගේ අවශ්‍යතා සපිරීමට නොවේ. රසිකයාට වැදගත් වන්නේ තමාගේ භාව ලෝකයය. හැඟීම් පක්ෂයය. අවරසිකයාට හැඟීම් වෙනුවට ඕනෑ තමාගෙන් බැහැර සමාජය දැනගැනීමය. කතාකරුවා එම දේශපාලනය හෙළිදරව් කිරීමය. ඔහු චූදිතයනට දඬුවම් දෙනු බැලීමය. එනිසා ඔහුට තුවක්කුව මෙන්ම මානව දයාවද වැදගත්ය. දුෂ්ටයා තුවක්කුවෙන් දමනය කරනවා මෙන්ම වීරයාගේ වීරත්වයද, ඔහුගේ දයාව හා කරුණාවද දැකීමට ඔහුට ඕනෑය. අවරසිකයා, ඔවුන් ආමන්ත්‍රණය කරන ලේඛකයා හැම විටම ජනතාවාදී සාහිත්‍යය හා රැඳී සිටින්නේ මෙනිසාය. සෝවියට් සමාජවාදය අවසන් වූවාට මේ තත්ත්වය වෙනස් වී නැත. අදටත් අපේ සාහිත්‍යයේ, කලාවේ මේ තත්ත්වය දක්නට හැක්කේ තතු මෙසේ නිසාය. මට හැඟෙන ලෙස අද කොළඹ පොත් දොරට වැඩුම් නාමයෙන්, සාහිත්‍ය කතිකා නාමයෙන් කලඑළි දකින්නේ අවරසිකයන්ගේ අසාහිත්යික දෑ උත්කර්ෂයට නැංවීම්ය. අද පුදුමාකාර වේගයකින් තරුණයන්ගේ සාහිත්‍ය නිර්මාණවල නැඟීමක් - සංඛ්‍යාත්මකව - දක්නට හැක. රටේ පාලන තන්ත්‍රයේ නස්තිකවාදයට සමාන අයුරින් මේ තරුණයන්ගේ කවි පොත්වලින්, නවකතාවලින් නස්තිකවාදය වැපිරේ. එහෙත් මින් ඵලක් තිබේද? කිසි ඵලක් නැත. ඒ කිසිවක් සාහිත්‍යය නොවන නිසාය.

ප්‍රබන්ධ කෘතියකදී කතාකරුවකුට රස සහ ඒ මතින් වූ කල්පනා ලෝකයක් - ෆැන්ටසි සවාරියක් - හැරුණු විට අන් කිසිවක් වැදගත් නැත. ප්‍රබන්ධකරුවා නවකතාවක්, කෙටිකතාවක් කියවන්නේ ඉන් ලැබෙන ආස්වාදය නිසා මිස එහි ඇති මානව දයාව, යථාර්ථ නිරූපණය, සමාජ විවරණය නිසා නොවේ. ඇත්ත වශයෙන් කලාව, සාහිත්‍යය යනුම දේශපාලන අදහස්වලින් බැහැර දේකි. මතවාදවලින් වියුක්ත දේකි. දේශපාලනය හෝ ආකල්ප එහි ඇතොත් ඇත්තේ කතාව තුළින් පැනනඟින දෙයක් ලෙසය. ඉන් පරිබාහිරව ඊට එබ්බවූ දේශපාලනයක්, මතවාදයක් එහි නොවේ. එනිසා එවැනි දේශපාලනයකට, අදහස්වලට රසිකයකුට එකඟ නොවී සිටිය නොහැකිය. එහෙත් අද අප කලා කෘතියේ දේශපාලනය මනින්නේ, මතවාද මනින්නේ ඊට වෙනස් ලෙසය. එනම් “කතාව හොඳයි. ඒත් මං ඒකෙ දේශපාලනයට කැමති නෑ”, “මං එයාගේ මතවාදවලට කැමති නෑ”, “එයා කියල තියෙන දේ ඇත්ත. මං ඒකට කැමතියි”, “එයා හරිම තැන ඉන්නවා” ආදී දේ කියා පෑමෙනි. ප්‍රබන්ධය, සිනමාපටය කලාත්මක වශයෙන් ඉහළ නම් ඊට එකඟ වීමට, එකඟ නොවීමට එහි එන අදහස් වැදගත් නැත - කලා කෘතිය උසස් නම් එහි අදහස්ද නැත. මීට නිදසුනක් දක්වමි. වරක් අපේ එක් පශ්චාත් නූතනවාදී යැයි කියන නවකතාකරුවකුට මම ගුණදාස අමරසේකරගේ ඒ වන විට අලුතින්ම නිකුත් වූ ‘ධාතුසේන’ නවකතාවේ පිටපතක් (මා ළඟ වූ අතිරේක පිටපතක්) දුනිමි. මා සිතුවේ ඔහු එය ඉතා ආසාවෙන් පිළිගනී යැයි කියාය. එහෙත් ඔහු ගත්කටටම කීවේ “අපෝ මං මිනිහාගේ දේශපාලනයට කැමති නෑ” කියාය. අමරසේකරගේ ‘ධාතුසේන’ නවකතාව ප්‍රබන්ධයක් වශයෙන් සෑහෙන දුරට සාර්ථක කතාවකි. ඊට බලෙන් දේශපාලනය රිංගවා නැත. එහෙත් මේ මිත්‍රයා එය බැහැර කළේ පොත කියවීමටත් පෙරය.

අපේ ප්‍රබන්ධය තක්සේරු කෙරෙන්නේ අපේ විචාරයේ තරමටය. අද සාහිත්‍ය විචාරයේ මුඛ්‍ය සාධකය දේශපාලන අදහස් (ජනතාවාදය) වන අතර ප්‍රබන්ධයේද මුඛ්‍ය සාධකය එම දේශපාලන අදහස්ය. මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය නමින් වෙස් මාරු කර පැමිණ ඇත. මා පුදුම වූයේ මේ වටා සිටින ප්‍රවීණ යැයි කියූ සාහිත්‍යකරුවන් පිරිස දුටු විටය. සාහිත්‍යකරුවාට සමාජවාදය, කොමියුනිස්ට්වාදය පිළිගත නොහැකි නිසාය. කිවියර පරාක්‍රම කොඩිතුවක්කුද පැවසූ ලෙස “මම භෞතිකවාදියෙක්” කියා සාකච්ඡා, සංවාදවලට වාඩිවෙන අඥානයන් සිටින පරිසරයක මෙබඳු දෑ අරුමයක් නොවේ. එහෙත් ප්‍රශ්නය ඔවුන් එවැනි මූඪ දේශපාලනයක් කරන අතර සාහිත්‍ය කලාවේද මුරදේවතාවුන් ලෙස පෙනී සිටීමය.

ඇත්තකි. සාහිත්‍ය කලාව පොදු සමාජයෙන් විතැන් කළ යුතු නැත. සෑම ගෙදරකම පොතක් පැවතීම හොඳය. එහෙත් එසේ වූවාට ප්‍රබන්ධය පොදු සමාජය හා, පොදු පාඨකයා හා ඉදිරියට යන්නේ නැත. ජාතික ජන බලවේගය හා නම් ඉදිරියට නොව පසුපසටය, යන්නේ. සාහිත්‍යය ඉදිරියට යෑමට එය සමාජයෙන් ගලවා ගත යුතුය. පොදු පාඨකයාගෙන් ගලවා ගත යුතුය. පොදු පාඨකයාට ආමන්ත්‍රණය කර සාහිත්‍යයේ ශක්‍යතාවෙන් ප්‍රයෝජන නොලැබේ. මානව දයාව උසස් ගුණයකි. පුවත්පත් විශේෂාංගයකද මානව දයාව ඇත. මානව දයාවෙන් පිරි රචනාද තිබේ. එහෙත් ප්‍රබන්ධය රචනා හෝ පුවත්පත් විශේෂාංග නොවේ. රස නිෂ්පත්තිය මුඛ්‍ය කාර්යය කරගත් එය තක්සේරු වන්නේ ඒ තුළම ගොඩනැඟෙන දෑ මතිනි. හොඳ ප්‍රබන්ධ නොවන කෘතියක් එක හුස්මට කියවිය හැකිය. එහෙත් ප්‍රබන්ධය එක හුස්මට කියවීමට හැකි වීම එහි සාහිත්යික උසස්භාවයේ ලකුණක් නොවේ. මල් නවකතාවක්ද එසේ කියවිය හැකි නිසාය. හරුකි මුරකාමිගේ ‘කෆ්කා මුහුදු වෙරළේ’ (Kafka on the Shore) නවකතාව පළමුවර කියවූ විට ලැබෙන අරුත් දෙවනවර කියවීමේදී අභිභවිය හැකිය. තෙවනවර එම අරුත්ද අභිභවිය හැකිය. ප්‍රබන්ධ නොවන කෘතියක් කොපමණ කියවූවත් ලැබෙන්නේ එකම අරුතකි. එහෙත් වැදගත් වන්නේ එහි බහුශාබ්දිකතාව (Polyphony) - අර්ථ බාහුල්‍යය - නොවේ, එම බහුශාබ්දිකතාව කෘතිය රසාස්වාදය තුළින් - ආනන්දය තුළින් - ලැබීමය. සාහිත්‍ය කෘතියක් මිනීමට බහුශාබ්දිකතාව මිනුමක් කරගත හැක්කේ ඒ අරුතින් මිස බහුඅර්ථ නිපයීම මතින් නොවේ.

අද්භූත සාධකය නැතහොත් ඇදහීමට බැරි බව කලක් සිංහල ප්‍රබන්ධ විචාරයේදී අවතක්සේරු කළ යමක් විය. එහෙත් අනූව දශකයේ වෙසෙසින් ගාර්සියා මාර්කේස්ගේ හා ඉසබෙල් අයියන්දේ නවකතා සිංහලට ඒමත් සමඟ එය අහෝසි වන්නට විය. එහි ඓන්ද්‍රීය ලක්ෂණයම ඇදහිය නොහැකි බව නිසාය. එහෙත් ඇදහිය නොහැකි බව යනු අවිශ්වාසය නොවේ. ප්‍රබන්ධයක් නම් ප්‍රථමයෙන් විශ්වසනීය විය යුතුය. මායායථාර්ථවාදී ප්‍රබන්ධයේ ඇත්තේ විශ්වාසය දිනාගත් ඇදහිය නොහැකි ලෝකයකි. මා දකින ලෙස නම් ප්‍රබන්ධයක කල්පනා ලෝකය කොහොමටත් ඇදහිය නොහැකි ලොවකි. එය බාහිර ලෝකය නොවේ. බාහිර ලෝකය හා එය සැසඳීම අර්ථශුන්‍ය කාරියකි. ප්‍රබන්ධය කරන්නේ සැබෑවේ සිද්ධි කිහිපයක් ඇසුරින් අද්භූත කල්පනා ලෝකයක් මැවීමය. එහිද මැවෙන්නේ සැබෑ ලෝකයම නම් ඉන් එක් පසෙකින් රසාස්වාදනයක් නොලැබේ. අනෙක් පසින් ජීවිතාවලෝකනයක් නොලැබේ. එහෙත් අද නවකතාවල ඇත්තේ මේ බාහිර ගඳ ගසන ලෝකයම මිස මේ ලෝකයට විකල්ප ලොවක් නොවේ. ඊට මෑත දැක්විය හැකි හොඳ නිදසුනක් නම් ලියනගේ අමරකීර්තිගේ ‘අහම්බකාරක’ නවකතාවය - ඊට ස්වර්ණ පුස්තක සම්මානයද පිරිනැමිණි.

ප්‍රබන්ධයට ව්‍යාජත්වය විශාල බාධාවකි. එහෙත් ව්‍යාජ කතාකරණයේ නියුතු වන්නේ සැබෑ ප්‍රබන්ධය හඳුනාගෙන, එහි නිරත නොවිය හැකි පිරිස අතිනි. අසාහිත්යික මිනුම්වලින් මනින ප්‍රබන්ධකරණයේ නියුතු වන්නේ ඔවුන් නොවේ, ප්‍රබන්ධකරණය මුළුමනින් වරදවා ගත්, එය හඳුනා නොගත් ප්‍රතිභා හීනයන්ය. එය එසේ වූවාටද ගැටලුවක් නැත. ගැටලුව ප්‍රබන්ධ බිහි කරන්නේත්, ඒවා තක්සේරු කරන්නේත්, ඊට සම්මාන පිරිනමන්නේත් මතු නොව ඒ අලළා විචාර කෘති බිහි කරන්නේත් කොළඹ කතිකා, සම්භාෂණ පවත්වන්නේත් ඔවුන් නිසාය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා