‘ඇස් ඉස්සරහ’ තව තවත් ඉස්සරහා බැලිය යුතුයි

 ඡායාරූපය:

‘ඇස් ඉස්සරහ’ තව තවත් ඉස්සරහා බැලිය යුතුයි

 

කවිය රචනා කෙරෙන්නේ කවියා හෝ කිවිඳිය විසින් අත්විඳි අපූරු අත්දැකීමක් රසිකයා තුළද ජනිත කරවීමේ අභිලාශයෙනි. එය කිසියම් ආනන්දජනක හැඟීමක් විය හැකිය. නමුත් ඒ ආනන්දය පසුව ජීවිත සංජානනයක් දක්වා වර්ධනය විය යුතුය. කවියා සිය කවියෙන් සිදුකරන්නේ රසිකයාගේ භාවෝද්දීපනය තුළින් රසයක් ජනිත කරවා ජීවිතය පිළිබඳ යළි යළිත් සිතා බැලීමට රසිකයා පෙළඹවීමයි. මේ නිසා රසිකයාගේ භාව ප්‍රකෝපනය කිරීම කවියාගේ යුතුකම නොවේ. කවියා සිය අත්දැකීම ලෙස විවිධාකාර ස්වරූපයේ අත්දැකීම් කාව්‍යකරණය සඳහා යොදා ගනී. ප්‍රේම විප්පයෝගය මෙන්ම ප්‍රේම සුසංයෝගය, සමාජ අසාධාරණය, සොබාදහමේ චමත්කාරය, දාර්ශනික සංකල්ප, ජීවිතය පිළිබඳ වෙනස් කියවීම්, සමාජ විෂමතාවන් වැනි දෑ සිය කාව්‍ය අනුභූතීන් ලෙස යොදා ගනී.

කෙසේ වුවද මෙම අනුභූතින් කාව්‍යකරණයේදී විවිධ කාව්‍යමය උපක්‍රමයන් කවියා භාවිතා කරන්නේ සිය නිර්මාණය හරහා උපරිමයෙන් රසිකයාගේ නැණ මනස පුබුදුවාලිය හැකි ආකාරයෙනි. ව්‍යාංගාර්ථ බස, උපමා රූපක භාවිතය, ධ්වනිකාරක බස්වහර, තාලය හා ලය ආදී කාරණා ගැන කවියා මෙහිදී සැලකිලිමත් වේ. මේ හැම දෙයකින්ම ඔහු උත්සාහ ගනු ලබන්නේ රසිකයාගේ ආනන්දය සියුම්ව හා උපරිමයෙන් අවදි කරවා ඔහුගේ ජීවිත පරිඥානය වඩාත් පුළුල් කර දීමයි. ඒ තුළින් වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මානව සාමාජිකයෙක් නිර්මාණය කිරීමට හවුල්වීමයි.

නූතන කවි පරපුරේ කවියන් සහ ඔවුන්ගේ නිර්මාණ ඇසුරුකරන විට බොහෝ කවි කිවිඳියන් කවියේ තිබිය යුතු මේ සියුම් ලක්ෂණ ගැන පුළුල් අවබෝධයකින් තොරව කාව්‍යකරණයේ නියැලෙන ආකාරය ඇතැම් නිර්මාණ කියවන විට දැනේ. ව්‍යංගය හා භාෂා උපක්‍රම රසිකයාට ප්‍රහේලිකා මවා දෙන්නේ නම් එයද කවියේ සුවය පිණිස සුදුසු නොවෙන බවයි අපගේ වටහා ගැනීම. අද්‍යතන සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ නූතනම පරපුරේ නියෝජනයක් වන ක්‍රිශාන් රත්නායකගේ "ඇස් ඉස්සරහ" කාව්‍ය සංග්‍රහය තුළ ප්‍රතිභාසම්පන්න කවියකු හමුවෙන අතර ඔහු වැඩෙන කවි බසක් සහිත කවියකු බවද පෙනේ. ඔහු විවිධ කාව්‍ය ආකෘති භාවිත කරමින් තමන්ගේ අත්දැකීම් රසිකයා වෙත ඉදිරිපත් කරන්නට වෙර දරයි.

වලාකුළු බැමි උනත් ගඩොල් කැට තමයි - ඒ තරම් සිරියාව කපරාරු නිසයි

අපෙ හිතත් ඇත්තටම සංසාරගතයි - ප්‍රේමයට ලෙන්ගතුයි අතීතෙට දිගයි.

(අපෙ හිතත් ඇත්තටම සංසාරගත යි - පිටුව 19)

ඔහු සිව්පද ආර මෙන්ම නිදහස් ආරද සිය කාව්‍ය සංග්‍රහය තුළ සමෝසමේ භාවිතා කරයි.

සිත්තරුවෙක් ඔහේ අඳින්නේ නැත

මේ අහස කිසිම කුරුල්ලකුට අවසර දී නැත

රිසි සේ ඉගිලෙන්න ලෝකය දකින්නට

වලාකුළකට එන්නවත් හුළඟක් නැත‍

ඒ තරම් ගොරහැඩිකමක් වෙස් ගෙන ඇත

මේ මුහුද කිසිම රුවලකට උදව් දී නැත

නිහඬ නිසසල රැළිත් නොගහන

මහම මූසල කමක් මිස

දුන් දෙයක් පේන මානෙක නැත

(හඳුනන ඉඩක නාඳුනන චිත්‍රය - පිටුව 21)

නමුත් මෙහිදී ක්‍රිශාන්ගේ කවිය වඩාත් ළංවන්නේ ගද්‍ය ස්වරූපයටය. සාමාන්‍යයෙන් ගද්‍ය පාඨයක් තැනින් තැනින් වෙන්කර පද බෙදූ පමණින් කවියක් නොවේ. ඒ සඳහා කාව්‍යමය ලක්ෂණයන් ගැබ්විය යුතුය.

ක්‍රිශාන්ගේ නිර්මාණයන්ගේ දැකිය හැකි එක් අඩුපාඩුවක් වන්නේ කවියේ ඒකමිතික බවක් නොතිබීමයි. බොහෝ කවිවල ක්‍රිශාන් කියන්නට යන දේ වටහා ගැනීම අපහසු වේ. එසේම එය කිසියම් දිශානතික ඉලක්කයක් කරා ගමන් නොකරයි. කවිය ටිකෙන් ටික දියාරු වී යන ස්වරූපයක් පෙන්වයි. "පරාජිත හෙවනැලි වසා උන් දොර", "සරළ රේඛාවකට යනවද ජීවිතය", "ඇවිත් අරගෙන යන්න රේවත" වැනි නිර්මාණ තුළ මේ අඩුලුහුඬුකම දකින්නට ලැබේ. ඔහු විටෙක කවියේ බස ගැන අනවශ්‍ය සැලකිල්ලක් දක්වන්නට යනවාදැයි කුකුසක්ද මතුවේ. ඒ නිසාම කවියේ අනුභූතිය විසිරී ගොස් දිශානතිය අපහැදිලි වන සෙයක් ඇතිවිනිදැයි සිතේ.

නමුත් ක්‍රිශාන්ගේ කවි තුළ ඔහුගේ කවිත්වය වරින් වර මතුව එයි. ඒවා පරිණත කවියකුට සමාන ලක්ෂණ පෙන්වයි. ප්‍රේමය හා ප්‍රේම විප්පයෝගය ඇසුරු කරන තැන්හි ඔහුගේ කවියේ සාර ප්‍රභාව වහා ඉස්මතුවී පෙනෙයි.

අර විලට නුඹ කිව්වේ - මගේ නම නේත්‍රා

දැක්කාද විලේ මැද - නැංගුරම් ලා යටට

එකම තැන පාවෙන්නෙ - නෙළුම් මල් යාත්‍රා

(ඉස්සරත් මෙතන - පිටුව 32)

දෙ අත අල්ලන් උන්න කාලය - නාව දින ගාණකින් අඩු කොට

එහෙම බැලුවම අපේ මතකය - තාම තරුණයි

(තාම එහෙමයි - පිටුව 36)

අත්දැකීම් තුළ නව්‍ය බවක් දකින්නට නැතත් ඔහු ඒ දෙස බලන ආකාරයේ ඇති නැවුම් බව නිසා අත්දැකීම නව්‍ය ස්වරූපයකින් රසිකයාට විඳ ගන්නට ඉඩ සැලසේ. අතරින් පතර දකින්නට ලැබෙන කෙටි කවි කිහිපයකද ක්‍රිශාන්ගේ කවිත්වය මතුව පෙනේ.

මහගිරිදඹය ජීවිතයේ දුක් කන්ද - අකයේ සඟවගෙන උණුහුම් පෙම් බැන්ද

වැහැරී ගිය සිරුර වහගෙන පණ කෙන්ද - ඉඳිකඩ ළඟ හිඳියි අර සමනොල කන්ද

(පුතේ ගම අමතකද? - පිටුව 23)

සමකාලීන කවීන්ගේ ඡායාවන් ක්‍රිශාන්ගේ ඇතැම් කවි මත වැටී තිබුණද ඔහුගේ කවිකමට උදාහරණයක් ලෙස පහත කවිය දැක්විය හැකිය.

ඉරෙන් කොටහක් මුහුදෙ පාවෙයි

කොතැන නුඹ සිටියාද නොදනිමි

වැරෙන් අල්ලා ගත්ත තැනකින්

කොටුවෙ ගල් පඩියකට බර වෙමි

වරුව හැන්දෑ අහස ගාවින්

මමද ඩිංගිත්තකට හිඳගමි

අහස කැන්වසයකට පෙරළා

වලාකුළකින් නුඹව ඇඳගමි

(එයා හිටියොත් කියන්න - පිටුව 57)

කෙසේ වුවද ක්‍රිශාන් රත්නායක යනු නූතන කාව්‍යක්කාර පරම්පරාවේ දළු ලා වැඩෙන කවියෙක් බව ඔහුගේ පළමු කෘතිය නිදර්ශන කිහිපයක් සපයා දෙයි. වැඩෙන අත්දැකීම් හා හැදෑරීම අනාගතයේ ඔහුව නිසි තැන තබනු ඇතැයි දැනට විශ්වාස කළ හැකිය.

 

[කපිල එම්. ගමගේ]

News Order: 
0
මාතෘකා