බලපෑමක් යැයි නොසිතන බලපෑම් කණ්ඩායමක්

 ඡායාරූපය:

බලපෑමක් යැයි නොසිතන බලපෑම් කණ්ඩායමක්

මේ දිනවල අපට කොතනත් ඇසෙන්නේ දේශපාලනයයි. පාරට බැස්සත් බස් රථයට ගොඩවුණත් කොහේ ගියත් කතා කරන ඒ වගේම ඇසෙන එකම මාතෘකාව නම් දේශපාලනය පමණි. රූපවාහිනිය, ගුවන් විදුලිය, අන්තර්ජාලය සහ සියලු සමාජ මාධ්‍යයන් ඔස්සේ ද වාද විවාද, ප්‍රවෘත්ති, දැන්වීම් පළ වන්නේද ඒ සම්බන්ධවයි. කෙටියෙන්ම කිවහොත් මේ දිනවල රටේ අස්සක් මුල්ලක් නෑර දේශපාලනයට නතුවී ඇත. දේශපාලනීකරණය වී ඇත.

ඒ වගේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් නිතර දෙවේලේ කල්පනා කරනවා ඇත්තේ ද තම ඡන්ද ගොඩ තව එකකින් හෝ වැඩි කරගන්නා, විරුද්ධවාදීන්ගේ ඡන්දය අඩු කරනා මාර්ගයන්ය. ඔවුන් පමණක් නොව අපේක්ෂකයන්ගේ හිතවතුන්, ඡන්දදායකයන් පවා එසේ නොවේද?තමන් පෙනී සිටින, තමන් ප්‍රිය කරන දේශපාලන පක්ෂය, ඡන්ද අපේක්ෂකයා වෙනුවෙන් ඇතැමුන් පෙනී සිටින්නේ තමන්ට මහා මෙරක් තරම් දෑ ලැබෙනා ලෙසය. විශේෂයෙන් සාමාන්‍ය ජනතාව එසේ හැසිරුනත් ඔවුනට තමන් ප්‍රිය කරන අපේක්ෂකයාගෙන් මොනවා ලැබේ කියාවත් ඔවුන් හරි හැටි දන්නේ නැත. එහෙත් ඇතැමුන් වාද විවාද කරන්නේ දිවි පරදුවට තබමින් මෙනි.

ඒ වගේම සෑම දේශපාලන පක්ෂයක්ම සහ ඔවුනට සහාය දක්වන පිරිස් ද උත්සාහ කරන්නේ සමාජයේ විවිධ නියෝජනයන් ලබා දෙන, විවිධ කණ්ඩායම් තම පක්ෂයට පාටට නතු කර ගැනීමටය. ඒ වෙනුවෙන් විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙන අතර ඔවුනගේ ඉල්ලීම්වලට මුල් තැනක් දෙන බවට පොරොන්දු වන්නේ එය ඔවුනගේ පළමු කාර්ය ලෙස සලකාය. ඒ වගේම විවිධ අවස්ථා, අවශ්‍යතා මූලික කරගෙන ගොඩනැඟුණු කණ්ඩායම්ද මේ මොහොත එක් අවස්ථාවක් කරගෙන ඇති බව දකින්නට ලැබේ.

කෙසේ උවද සෑම දේශපාලන පක්ෂයක්ම ප්‍රධාන වශයෙන් සුළු ජාතීන්ගේ ඡන්දය ඉලක්ක කරගෙන විවිධ පොරොන්දු දෙන බව ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, වේදිකාවේ කරන කතාබහ දුටු විට අපට පෙනී යයි. ඊට අමතරව විවිධ වෘත්තිකයන්ද ඉලක්කගත පිරිස් බවට පත්ව ඇත.

එහෙත් රටේ මිලියනයකටත් වඩා වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල කණ්ඩායම පිළිබඳව කිසිවකුගේ දැඩි අවධානය යොමුව නැති බව පෙනී යන කාරණයකි. වෙනත් සමාජ කණ්ඩායම්වලට දී ඇති පිළිගැනීම, ඔවුනට ලැබී නැත. වෙනත් කණ්ඩායම් ඔස්සේ වන බලපෑම දෙස බැලූ විට එවන් බලපෑමක් ඔවුනගේ පසින් ද නොලැබෙන බව පෙනී යන කාරණයකි.

මිලියනයකට වඩා පිරිසක් යනු ඡන්දයේ බලපෑමක් කළ හැකි අගයකි. එහෙත් වටිනාකමේ අගය ඔවුනට කිසිවකුගෙන් ලැබී නැත. ඔවුනට පොරොන්දු දෙනවා වගේම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගේ ඔවුන් පිළිබඳව ඇතුළත් කර ඇති සේම ක්‍රියාත්මක වීමද ඉතාම වැදගත්ය. ප්‍රතිපත්ති ප්‍රකාශන කිහිපයකම ඔවුන් පිළිබඳව අවධානය යොමු කර ඇති බව පෙනී ගිය අතර එය සතුටට කාරණයකි. ඒ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම පසුවද ඉටු වේද යන සැකය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් තුළ ඇතුවා නිසැකය. අපේක්ෂකයන් මීට වඩා ඔවුන් පිළිබඳව අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කරනවා නම් කතා කරනවා නම් ඔවුනගේ විශ්වාසය ද ගොඩනැඟෙණු නිසැකය. එය ඔවුනගේ හදවතට දැනෙණු ඇත.

රටේ සියලුම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ද එක් තීරණයක් ගන්නවා නම් එක් ප්‍රතිපත්තියකට එලබෙනවා නම් ඔවුන් පිළිබඳව ද දේශපාලන පක්ෂවල අවධානය යොමුවනු ඇත. එවිට ඔවුනගේ ඡන්දයට කළ හැකි බලපෑම වටහා ගන්නවා ඇත.

පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී ආබාධිත ප්‍රජාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමේ තත්ත්වයක්ද උදා වීමට ගිය අතර ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුනගේ රැකියා ගැටලුවයි. ඒ ආකාරයට ඔවුනගේ ඡන්දයේ ඇති වටිනාකම බලපෑම රටේ දේශපාලන අධිකාරිය ද වටහා ගත යුතුය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් උවත් ඔවුන් ද මේ රටේ පුරවැසියන්ය. රටේ සෙසු පුරවැසියන් ලෙස බදු ගෙවන ඡන්ද බලය හිමි පුරවැසියන්ය. එහෙත් ඔවුනගේ ඉල්ලීම්වලට සවන් නොදී ඔවුන් පිළිබඳව නොසලකා හැරීම කනගාටුදායක තත්ත්වයකි. මේ අවස්ථාවේ හෝ එය වෙනස් විය යුතුය. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල පිරිසද දේශපාලන අතකොලුවක් බවට පමණක් සීමා නොවී තම වටිනා ඡන්දයට වටිනාකමක් අයත් කරගැනීමට කල්පනා කළ යුතුය.

මන්ද බොහෝ කණ්ඩායම් ක්‍රියා කරන්නෙත් අවසන අයත් වන ඉරණම රටේ සාමාන්‍ය ජනයාට වෙන දේම එම කණ්ඩායම්වලට පොදු බැවින්ය. ඒ වගේම සත්‍ය වශයෙන්ම කල්පනා කර බැලුවහොත් විශේෂ අවස්ථා සහිත පුද්ගල පිරිස මිලියනයකට වැඩි වුණත් ඔවුනගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිස ගත් විට මීටත් වඩා පිරිසක් එක් වන අතර ඉන් කළ හැකි බලපෑම ද අති මහත්ය.

එබැවින් බලපෑමක් කළා නොකළා, අපේක්ෂකයන්ගේ, අනාගත ජනපතිවරයාගේ වගකීම සහ යුතුකම වන්නේ ඔවුන් ද නොසලකා නොහැර රටේ සාමාන්‍ය ජනයාට ඇති අයිතීන් ඔවුනටද තහවුරු කිරීමයි.

එවිට ඔවුන් ද තම යුතුකම සහ වගකීම ඒ ලෙස ඉටු කරන අතර ඒ සඳහා ඔවුන් පැකිළෙෙන්නේ ද නැත. දේශපාලන පක්ෂ සහ වර්තමාන ජනාධිපති අපේක්ෂකයන් තම අවධානය යොමු නොකළ තත්ත්වයක් වුණත් ඔබට මෙහි ඇති බලෑම වැටෙහෙනවා නිසැකය.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා