පුරාජේරු

 ඡායාරූපය:

පුරාජේරු

මිනිස්සු සමාජීය සත්ත්වයන් වන නිසාම සමාජ ඇසුරෙහි යෙදීමට කැමති වෙති. නමුත් සමාජ ඇසුරෙහිදී තම තමන්ට ලැබෙන පිළිගැනීම වෙනුවෙන්ද උත්සුක වෙති. සමහරු මේ සඳහා අහිංසක ප්‍රයත්න දරද්දී තවත් සමහරු තේරෙන බසින් කියන්නාක් මෙන් බරපතල ගණයේ නයි අරිමින්ද අනෙකුන් හමුවේ තමන් පිළිගැනීම බලාපොරොත්තු වෙති. බොහෝ විට මේ සියලු හැසිරීම් පුද්ගල පෞරුෂය මත පදනම් වේ. අනායාසයෙන් අනුන්ගේ පිළිගැනීමට ලක්වන වාසනාවන්තයන් සේම හැසිරීමේ, පෙනුමේ හෝ වචන භාවිතයේ විවිධතා නිසා අනෙකුන් ඇසුරෙහි තමන් පිළිගන්නට නොහැකි අයද බොහෝ වෙති. හැසිරීම, පෙනුම මිනිසුන් මනින ප්‍රාථමික මිනුම් යැයි එකඟ නොවන්නකුට කිව හැක්කේ ප්‍රායෝගික සමාජයේ එවැනි බර තැබීම් සිදුවන බවයි. එමෙන්ම පෙනුම යනු රූපත්කම නොවන බවද කිව යුතුමය. වාත්තු කළාක් වැනි අඟ පසඟ නැති, ඉතා කුඩා සිරුරු හා පැහැපත් නොවන සම ඇති බොහෝ විශාල පෞරුෂයන්ට අපමණ උදාහරණ ඇත.

අසීමාන්තික ලෙස අනුන් තමන් ගැන තේරුම් ගැනීමට පෙර ලොකුකම කියවන්නා නැති තැන සිනහවට බඳුන් වෙයි. ඒ හැර දැනටමත් ළඟා කරගෙන ඇති වටිනාකම් පවා අවතක්සේරු කර ගනී. සමාජයේ මිනිසුන් සියල්ලන්ම පාහේ එකිනෙකා පරයා "මම පොරය" යන මානසිකත්වයේ සිටීමට සැඟවුණු හෝ කැමැත්තකින් යුතු වෙති. "අනේ මම නම් එහෙම නෑ" යැයි කීම සැබෑවටම උගුරට හොරා බෙහෙත් බීමක් වැනිය. අපි කියනා දේ අසන, අපිව දුටු තැන පිළිගන්නා, අප නැති තැනද ගෞරවයෙන් කතා කරන මිනිසුන් අප වටා සිටිනවාට හැමෝම සතුටු වෙති. නමුත් සැබෑව හෝ සත්‍යය එසේ නොවේ. මිනිසුන් කවදත් සිටින්නේ එකිනෙකා හා තරගයක බැවින් සුළු සුළු හෝ අනෙකුන් ගැන පහළ ඇගයුම් දරන්නට කැමති වෙති. ඇතැම් විට මුවින් නොකීවත් කෙනකුගේ අනපේක්ෂිත දියුණුවක් දුටු විට ඒ ගැන සැක කරති. තමන්ට ඒ තත්ත්වය ලැබුණා නම් ඊටත් වඩා හොඳින් සිටිනා අන්දම ගැන මනෝ සටහන් තබති. ඒ අතරින් සමහරු ඒ හැසිරීම් එළිපිටම පෙන්වති. අනුන් තලා පෙලා කතාකිරීම, සැලකීම බිහි වන්නේ එතැනිනි.

ලොකුකම් කියන්නාට ඇති වින්දනයට සමාන වින්දනයක් අනුන් තලා පෙලා කතා කරන්නාටද ඇත. ලොකුකම් කියන්නා තමා හැර අනෙක් කිසිවකු වැදගත් හෝ හැකියාවන් ඇති යැයි නොසිතයි. අනුන් තලා පෙලා කතා කරන්නා තමන්ට ළඟා වෙන්නට බැරි තැනකට ළඟා වූවකුගේ හැකියාව විශ්වාස නොකරයි. නැත්නම් ඒ දියුණුව නොවැදගත් යැයි සලකයි. මේ සියල්ලම සිතෙන් පැන නඟින අදහස් වුව ද පිට කිරීමේ මාධ්‍ය මුඛය වන නිසා ග්‍රැහැම්බෙල්ගේ සොයා ගැනීමට ඇතැම් විටක නිවනක් නොවන්නේය. නූතනම ලෝකයේ ප්‍රචලිත ක්‍රමය නම් ග්‍රැහැම්බෙල්ටත් මඳක් නිවාඩු දී සකර්බර්ග් උස්සා පොළවේ ගැසීමයි. සමාජශීලීත්වය ඇති කරන්නට හැදූ සකර්බග්ගේ නිමැවුම මේ නිසාම හුදු ඕපාදූප හුවමාරු වන අනුන්ට ලොකුකම් පෑමට හෝ රිදවීමට යොදාගන්නා මෙවලමක් වී ඇත.

සර්ව සම්පූර්ණ මිනිසුන් මෙලොව නැති බව සැබෑවකි. එමෙන්ම පොදු සමාජයක ජීවත් වන බැවින් අනුන්ගේ ඇගයුම්වලට ලක්වීමත් අනුන් ගැන ඇගයුම් කිරීමත් ඉතාම ස්වාභාවික මිනිස් හැසිරීම්ද වේ. නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැතුවාක් මෙන් සීමාව ඉක්මවා අනුන් රිදවීම පිණිස ලොකුකම පෑමත් තලා පෙලා ක්‍රියා කිරීමත් පැහැදිලි ලෙසම සමාජය ලෙඩ කරවන විෂබීජ වෙයි. පුද්ගල බැඳුම් ඉතා තදින් හා අධිපති ස්වභාවයෙන් රැක ගන්නට කැමති ආසියාතික මනසෙහි මේ ගැටලුව ඉතා පැහැදිලිව පෙනෙයි. සමාජයක් ලෙස ඉදිරියට යන්නටත් අනුන් අතරෙහි සැබෑ පෞරුෂයක් මතු කරන්නට නම් සමබරව තම හිතත්, කටත්, අතත් භාවිත කළ හැකි නම් එය අනුන් පිණිස නොව තමාගේම සංවර්ධනය පිණිස හේතු වනු ඇත.

 

[සජිනි උයන්ගොඩ]

මාතෘකා