පෙමින් බැඳීම

 ඡායාරූපය:

පෙමින් බැඳීම

උතුර හා දකුණ පෙමින් බැඳිය යුතු බවද එසේ විය හැකි බවද කියා දුන් අපූර්වතම මිනිසුන් මට හමුවූයේ උතුරේදීය. මීට අවුරුදු ගණනාවකට කලින් මේ අකුරු ලියැවෙන මැයි මසකම මා එහි ගිය හැටි මතක් වේ. ආයෙත් අපේ රට එවැනි ඇවිළීමක පැටළේ යැයි එකල අපි නොසිතුවෙමු. රටක් බලා ගත යුතු වගකීම් සහ ඒවා දැරිය යුතු මිනිසුන් සිදු කරන්නා වූ දේ පිළිබඳ අද අපි සසල වූ හිත් ඇතිව බලා සිටින්නෙමු.

මීට අවුරුදු ගණනාවකට කලින් මා මනෝ වෛද්‍ය සායනයේ වැඩ කළ අවධියේ අප හමුවන්නට ආ පැහැපත් යෞවනයා මට සිහිවේ.

“ඩොක්ටර් දන්නවද? මේගොල්ලො ලොකු ට්‍රිප් එකක් ගිහින්නේ.”

ඔහු පෙන්වමින් විජයලක්ෂ්මි අක්කා පවසයි.

“අපි හුම්මානේ බලන්න ගියා, පින්නවල ගියා, නුවර ගියා.... අරලියගහ මන්දිරේටත් ගියා. ප්‍රසිඩන්ට්වත් හම්බ වුණා”

දෑස්වලින් පවා සිනාසෙමින් ඔහු පවසන්නේ අඳුරු අතීතයක යදම් බිඳ දමා ලැබූ නිදහසේ වගතුගය.

ළමා සොල්දාදුවන් සේ ආයුධ අත දැරූ ඔවුන් සිනහ නඟමින් කඳවුරුවලින් පිට වී ගියේද ඒ කාල වකවානුවේදීය.

මට හමු වූ මේ දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළ ඔවුන් 'තාත්තා' නමින් හඳුන්වන ඒ හමුදා නිලධාරී මහතා කීවේද නීරෝ නම් වෙඩික්කරුවා පැවසුවේද (වෛද්‍ය පැතුම් කර්නල් ලියූ 'යුද බිමක වෙද මහිම' පොතේ සඳහන් වන) “අපි අපේ දරුවන්ට යුද්ධයක් ඉතිරි නොකරන බවයි. මගේ දරුවන් මේ දරුවන් හා යුද්ධ නොකරන අනාගතයක් අපි හදනවා.” කියාය. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගය පුස්සක් බවට පත් කරමින් යළි යළිත් මේ දේශය භේද බින්න කරන්නට වලි කන යාන්ත්‍රණ ක්‍රියාත්මක වන හැටි පෙනේ. රටම රෝගාතුර කරන, ජාතිවාදී කලකෝලාහල අවුළුවනසුලු මේ කාල වකවානුව ගැන හිතට දැනෙන්නේ අසීමිත කම්පනයකි.

මේ මොහොතේ අප කළ යුතුම දේ නම් නීතිය අප අතට නොගෙන සිටීමය. අනෙක් අයට දැනෙන්නේද ඔබට මට අනෙක් ජාතීන්ට දැනෙන බියමය. වැරදිකාරයන් දඬුවම් විඳිය යුතුමය. එහෙත් ඒ අයට දඬුවම් දීම නීතියට බාර දී අප සන්සුන්ව සිටිය යුතුය. නීතිය ලිහිල් කරන්නා වූ පාලකයන්ට අවැසි තැන පිළිතුරු දීමට ඉවසා සිටිය යුතුමය. ඔබේ අන්‍ය ජාතික මිතුරාට උදව්වට ඔහුගේ හිත හැදෙන්නට වචනයක් කිව යුතුමය. නැත්නම් මේ බෙදීම තුළින් වැඩි වන්නේ ත්‍රස්තවාදයමය.

83 ජූලි කලබලය මට මතකවත් නැත. ඒ මා එවිට මාස ගණනක කුඩා බිලිඳියක බැවිනි. එහෙත් ඉන්පසු අවුරුදු ගණනාවක් අප තළා පෙළූ අඳුරු ත්‍රස්තවාදී යුද බිය මට හොඳහැටි මතකය. ඒ ගිනි දැල් නිවන්නට උතුරට වතුර අදින්නට සිදු වූ කණ්ඩායමේ කෙනකු වූයෙන් මට ඒ සමය හොඳින් මතකය.

මා හැදී වැඩුණේ විවිධ ජාතීන්වලට අයත් සමාජයකය. සාරි පොටින් තම හිසකෙස් පමණක් වසාගෙන සිටි අපේ අසල්වාසී නූර්ජාන් ආන්ටි ගායිකාවකි. ඇය ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ ගීත ගායනා කළ බව මතකය. බොහෝ පිරිසක් මුස්ලිම් වුවද අප ඔවුන්ගේ ලොකු වෙනසක් නොදැක්කේ ඔවුන් කිසිවකුගෙන් සාරි පොටින් හිස ආවරණය කරගෙන මහ පාරේ යන එනවා හැරුණු විට වෙනත් බෙදීමක් සැඟවීමක් නොකළ නිසාය. රාමසාන් සැමරුම් දින දවාලට ලැබෙන බිරියානි බත කෑමට අපි බලාගෙන සිටින බව මතකය. මිහිපිට දෙවියකු ඇතැයිද නැතැයිද කියා මා නිතර විවාද කර ගත් මගේ පාසල් මිතුරිය මුස්ලිම් ජාතිකයෙකි. ඇය අද නීතිඥවරියකි. ඇයගේ බෙල්ල වටේ රැඳි සලුව මිසක හිසක් මුහුණක් දෑසක් වසනු කිසිදාක නොදුටුවෙමි. ඇය අදද අප මෙන් නිදහසේ ජීවිතය ගත කරන අයුරු පෙනේ.

“ස්වර්ගයේදී මට ඔබ මුණ නොගැසේවි” යැයි දුක් වූ මගේ හොඳම යෙහෙළිය කිතුනු ආගමික ඔස්්‍ට්‍රේලියානු ජාතිකයෙකි. ඇගේ සැමියා ක්‍රිස්තියානි නිකායක සේවය කරයි.

“ඔබේ දෙවියන් කාරුණික නම් සියල්ලන් කෙරෙහි සෙනෙහෙවන්ත නම් අනිවාර්යයෙන් අප වැනි වෙනත් ආගමික විශ්වාසයන් ඇති අය කෙරෙහිද ඒ කරුණාවම ඒ ආදරයම දක්වනු ඇති. හොඳ මිනිසුන් හැමට ඔහු කරුණාව දක්වාවි.” යැයි මම මිතුරියට කීවෙමි.

ඇගේ පල්ලියෙන් අසරණයන් උදෙසා සිදු කරන්නා වූ කවර වූ සත්කාරයකදී වුවද මා ඇයට උදවු වූයෙමි.

“බෞද්ධ ආගම අනුව එහෙම අන්‍ය ආගමික පල්ලියේ වැඩවලට ඔයා ආවට කමක් නැද්ද?”

මුල් කාලවලදී ඇය මගෙන් ඇසුවාය.

“මගේ බෞද්ධකම යනු එයමය.” කියමින් මා බෞද්ධ දර්ශනය තුළින් උගත් සිත හැදී මේ පාඩම් සියල් සත වෙත මෛත්‍රිය පැතිරූ බුදුන් වහන්සේ ගැන ඇයට කියා දුන්නෙමි.

බෞද්ධ අපි හැසිරිය යුත්තේ කෙසේදැයි සම්බුද්ධ දේශනා තුළින් සොය සොයා උගත්තෙමි. සාමය හෝ නිහඬ බව නිසා අන් ජාතීන් අප සියල්ල නසන තුරු ඔබ ඔය බණ කියන්නැයි බොහෝ මිනිසුන්ගෙන් අවලාදද ඇසීමි.

එහෙත් තව දුරටත් මේ දේශයේ සියල්ලන්ට එක සමාන වූ නීතියක් සහ සමාජයක් සැදිය යුතුම බව මම විශ්වාස කරන්නෙමි.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා