අදිසි නදිය!

 ඡායාරූපය:

අදිසි නදිය!

කපිල කුමාර කාලිංගගේ අලුත්ම නවකතාව ‘අදිසි නදිය’ යි. ඔහු එය හඳුන්වා ඇත්තේ ඔහුම පරීක්ෂාවට ලක් කළ පර්යේෂණාත්මක වෑයමක් වශයෙනි. ‘භාව’ අතිරේකය හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී (2019.04.05) ඔහු ඒ පිළිබඳව කථා කරනුයේ සාමාන්‍යයෙන් සිංහල ප්‍රබන්ධකරුවාට ආවේණික වූ දුර්වලතාවෙනි. එනම් තමාගේ කෘතිය අතිසාර්ථක යැයි සිතාය. ඔහු එහිදී සිය ප්‍රබන්ධයේ ආඛ්‍යාන ශෛලිය ගැනද කථා කරයි. එහි ආඛ්‍යාන ශෛලිය අධිසත්තාවාදී හෙවත් ‘සුරියලිස්ටික්’ (Surrealistic)) යන වචනයෙන් හඳුන්වන ඔහු මෙසේද කියයි: “ඒ වචනයට අධිතාත්වික කියලත් වචනයක් භාවිතා වෙනවා. හැබැයි අධිතාත්වික කියනවට වැඩිය ‘සුපර් රියලිස්ම්’ (Super Realism) කියන වචනයට මම කැමතියි.” ශෛලිය එසේ හැඳින්වීමට තරම් කෘතිය ඔහුට විශ්වාසය. මා කියවූ අන්දමට නම් ‘අදිසි නදිය’ හැඳින්විය හැක්කේ නවකතාවත්, විද්‍යා ප්‍රබන්ධයත් අතරමැද පවතින කතාවක් ලෙසය. එහි රහස් පරීක්ෂක ලක්ෂණද නොඅඩුව ඇති නිසා එය රහස් පරීක්ෂක නවකතාවක් ලෙසද නම් කළ හැකිය. කෙසේ වුව නවකතාවකැයි හඳුන්වතොත් එය අසාර්ථක නවකතාවකි. අනෙක් අතට විද්‍යා ප්‍රබන්ධයක් හෝ රහස් පරීක්ෂක කතාවක් යැයි හඳුන්වතොත් එය එහිලා තරමක් දුරට සාර්ථකය. එහෙත් විද්‍යා ප්‍රබන්ධය හෝ රහස් පරීක්ෂක කතාව නවකතාවේ බාල ශානරයන් වන නිසා නවකතාවක් ලෙස සලකා එහි ශෛලිය ගැන කථා කිරීම අර්ථශුන්‍යය.

මේ තීරුවේලා මා කථා කරන්නේ ‘අදිසි නදිය’ ගැන නොවේ, විද්‍යා ප්‍රබන්ධ හෝ රහස් පරීක්ෂක නවකතා ශානරය බාල සාහිත්‍යයක් වන ආකාරයය. එහෙත් මේ ලිවීමට පසුබිම ඇත්තේ ‘අදිසි නදියේ’ නිසා එය මෙහිදී මඟහළ නොහැකි වේ.

මට හැඟෙන ලෙස නවකතාව විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි, රහස් පරීක්ෂක ආදී ප්‍රබන්ධ ශානරයන්ගෙන් වෙනස් වන්නේ එහි ඉලක්ක පාඨකයා අනුවය. නවකතා පාඨකයා වනාහි වෙනම රසාස්වාදන තලයක පිරිසකි. ඔවුනට ඕනෑ හැඟීම් ඔස්සේ තමන්ගේ අභ්‍යන්තරය හා සංවාදයක නියුතු වීමටය. ඒ ඔස්සේ තමාගේම ජීවිතය අවබෝධ කරගැනීමටය. නවකතාවක් සෙසු ප්‍රබන්ධ ශානරවලින් වෙනස්ව එය ඊට අනන්‍ය හැඩරුව ලබාගන්නේ මේ කියන ඔහුගේ පාඨකයා ඇමතීම තුළය.

නවකතාව වනාහි කෙනෙකු හැඟීම් සුළියකට හසු කරගන්නා මාධ්‍යයකි. එය ආවාටයකැයි සැලකුවොත් එය භාව ආවාටයකි. ඒ භාවාවාටය පාඨකයාගෙන් බැහැර දෙයක් නොව ඔහු තුළම වන දේකි. නවකතාව අපෙන් පිට දෙයක් වුව එය ඇති කරන ප්‍රතික්‍රියාව නම් අප අභ්‍යන්තරයේම එකකි. නිදසුනකට කිසිදා සමෝවාරය රත් කර තේ නොබී සිංහල පාඨකයා ගෝර්කිගේ ‘අම්මා’ කියවද්දී සමෝවාරය ලිප තබයි. නොරිකො සං, දෙවොන්දරා සං තතමි පැදුරේ නිදියද්දී අපිද ඒ කියවද්දී ඒ පැදුරේ සැතපෙමු.

ප්‍රබන්ධයක් කවර භූමි දර්ශනයක පිහිටුවද පාඨකයා එය විඳින්නේ තමාගේ කරගෙනය. මේ තමා කර ගැනීම ඔහුට වින්දනයකි. තවද නවකතාවේ - කලාවේ - ඇත්තේ අමු වේදයිතයන් නොව රස බවට පෙරළූ වේදයිතයන්ය. පාඨකයා විඳින්නේ වේදයිතයන් නොව රසය. සැබෑ ලෝකයේ එන්නේ හැඬීම් - වැළපීම්, කාම - රාග, මිනී මැරුම් - අපරාධ ආදියය. ප්‍රබන්ධයේ එන්නේ ශෝක, ශෘංගාර, කරුණ, භයානක, භීභත්ස්‍ය ආදී රසයන්ය. ප්‍රබන්ධයක් කියවද්දී එහි එන වේදයිත පාඨකයාට තමාගේ කරගැනීම ගැටලුවක් නොවන්නේ එහි අමු දෑ නොව මේ කී රස තිබෙන නිසාය. එය කියවීම ඔහුට හෘදය සංවාදයකි. විද්‍යා ප්‍රබන්ධයක්, රහස් පරීක්ෂක කතාවක් කියවීමද හෘදය සංවාදයකි. එහෙත් නවකතා පාඨකයාත්, විද්‍යා ප්‍රබන්ධ හා රහස් පරීක්ෂක පාඨකයාත් අතර වෙනසක් ඇත. නවකතා පාඨකයාට ජීවිතාවලෝකනයක් ඇවැසිය. අන් පාඨකයාට ජීවිතාවලෝකනයක් ඇවැසි නැත. නිවැරදිව කීවොත් ඔහුට ජීවිතාවලෝකනය ප්‍රමුඛ නැත. ඔහුට ප්‍රමුඛ ඔහු ප්‍රිය කරන වින්දනයය. එනම් යථාර්ථයෙන් ඈත් වූ අද්භූත වින්දනයය. භයානක වින්දනයය.

යථාර්ථයෙන් ඈත් වීම නවකතාවේද ලක්ෂණයකි - සියලු සාහිත්‍යය කල්පනා ලෝකය. එහෙත් (විදග්ධ) නවකතාව යථාර්ථයෙන් ඈත් වී - කල්පනා ලොව ඇසුරින් - කථා කරන්නේ යථාර්ථය ගැනය. සැබෑ ලෝකය හා සැබෑ ජීවිතය ගැනය. විද්‍යා ප්‍රබන්ධයට, මාරක කතාවට ජීවිතය ගැන කථා කිරීමට වුවමනා නැත. එක් අතකට නවකතා පාඨකයාගේත්, අන් පාඨකයාගේත් ප්‍රධාන වෙනස දුකින් තැවීම පිළිබඳ වෙනසයි. නවකතා පාඨකයා ප්‍රබන්ධයක් කියවද්දී කරන්නේ දුක භාර ගැනීමය. දෙවොන්දරා සංගේ, නොරිකො සංගේ විරහ වේදනාව, අරවින්දගේ විරහ වේදනාව විදග්ධ පාඨකයාට තමාගේම විරහ වේදනාවකි. එය ශෝක සන්ධ්වනියකි. මාරක කතා පාඨකයාට හෝ විද්‍යා ප්‍රබන්ධ පාඨකයාට මේ දුක්ඛ සංවාදය, ශෝක සන්ධ්වනිය නැත. ඔහුට අනෙකා හා දුක බෙදාගැනීමට නොසිතේ. ශෝක සන්ධ්වනියකට ඇහුන්කම් දීමට නොව ඔහු ප්‍රිය කරන්නේ සෝක, පරිදේවයන්ගෙන් වියෝ වූ වීර රසයක් විඳීමටය. අද්භූත රසයක් විඳීමටය. භයානක රසයක් ලැබීමටය. නවකතාව අන් සියලු සාහිත්‍ය ශානරවලින් වෙනස් වන්නේ සහ ඒ වෙනස තුළින් ඊට අනන්‍ය ලක්ෂණ හිමි කර ගන්නේ මේ තුළය.

‘අදිසි නදිය’ ගැන නැවත කිවහොත් නවකතා පාඨකයකු ලෙස එය මට කියවීම දුෂ්කර වූයේ එහි එන අල්ප ජීවිත විවරණය නිසාය. කතාකරුවා කතාවේ මුල් භාගයේ ජීවිත විවරණයකට ඇවැසි පසුබිම දමයි. එහෙත් දෙවන භාගයේ ඉන් ඉවත් වී තමාගේ මනංතෘප්තිය පාත්‍ර වර්ගයාගෙන් ඉටු කරගැනීමට යයි. ඔහුගේ මනංතෘප්තිය කුමක්ද? ඔහු කෘතියේ පෙරවදනේ සඳහන් කරන්නේ ‘අදිසි නදිය’ ලිවීමට ගත්තේ මාතලේ නගරය පිළිබඳව ඇති ජනප්‍රවාදයක් නිසා බවය. ජනප්‍රවාදය නම් මාතලේ නගරයට පහළින් භූගතව විසල් ගංගාවක් ගලා බසින බවත්, යම් දිනකදී නගරය ගිලා බැස නගරය ජලයට යට වන බවත්ය. අවසානයේ ‘අදිසි නදියෙන්’ ඉටු වී ඇත්තේ මේ දෙයයි. ඔහු ලිවීමට එළඹ ඇත්තේ මාතලේ නගරය ගිලී ජලයට යට වන විස්මයෙන් මත්වය. එනිසා කතාවේ පිළිබිඹු වී ඇත්තේද ඒ විස්මිත කතාන්දරය මිස ජීවිත විවරණය නොවේ. මෙය ඇත්ත වශයෙන් විද්‍යා ප්‍රබන්ධයටද, මාරක කතාවටද, නවකතාවෙන් බැහැර අන් ශානරවලටද පොදු සත්‍යයයි.

විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකුට ජීවිතයේ උභතෝකෝටිකය පිළිබඳව හෝ මිනිසා ජීවිතයේ නොකළ වරදකට විඳින දඬුවම පිළිබඳව ලිවීමට වුවමනා නැත. ඔහු ලිවීමට එළඹෙන්නේ කිසියම් අද්භූත ඇදහිය නොහැකි යමකින් මන්මත්වය. ඒ අනුව ඔහුගෙන් ගැඹුරු ජීවිත විවරණයක් වීමට ඉඩක් නැත. මාරක කතාකරුවාගේද කතාව මෙයයි. ඔහු ලියන්නට ගන්නේ යම් අපරාධයක් නිසා ඇති වූ බැරෑරුම් හැඟීමෙනි. පොලිසියද අපරාධකරු සොයා ගැනීමට ‍අපොහොසත්ව ඇත. ඉදින් ඔහුගෙන් බිහි වන්නේ අපරාධකරුවා සොයා ගන්නා ත්‍රාසජනක කතාවකි. එහෙත් ‘අපරාධය හා දඬුවම’ නවකතාවද රහස් පරීක්ෂක කතාවකි. එහිදී දොස්තොයෙව්ස්කි එය මාරක කතාවකට ලඝු කරගෙන නැත. කුමක් නිසාද? ඔහු එය ලිවීමට අවතීර්ණ වී ඇත්තේ අපරාධයක සුල මුල සෙවීමේ යමකින් ආවේශ වී නොවන බැවිනි.

ජීවිත විවරණය නවකතාවටම ආවේණික අංගයක්ද? විද්‍යා ප්‍රබන්ධයෙන් එය කළ නොහැකිද? රහස් පරීක්ෂක කතාවෙන් ජීවිත සත්‍යයක් ඉදිරිපත් කළ නොහැකිද? ඇත්ත වශයෙන් කළ හැකිය. ඒ කළ හැක්කේ පෙර කී ලෙස කතාකරුවා ලියද්දී ආවේශ වන ආකාරය අනුවය. ‘අදිසි නදිය’ කතුවරයාට ජීවිත සත්‍යයක් ඉදිරිපත් කිරීමට කිසිදු ඉඩක් නැත්තේ ඔහු ලිවීම අරඹා ඇත්තේ එවැනි සත්‍යයක් පැවසීමේ ආවේශයකින් නොවන නිසාය. අනෙක් අතට ‘අපරාධය හා දඬුවම’ රහස් පරීක්ෂක කතාවක් තුළ බහාලුවද එය අපරාධ කතාවේ කොටු නොවන්නේ දොස්තොයෙව්ස්කි එය ලිවීමට ආවේශ වී ඇත්තේ අප සසල කරන අනුභූතියකින් නිසාය. ‘ඇවටාර්’ සිනමාපටය ජේම්ස් කැමරන්ගෙන් හුදු ෆැන්ටසි කතාවක් ලෙස නිම නොවන්නේද ඔහු නිර්මාණාවේශය ලැබූ ආකාරය තුළය. මින් පැහැදිලි වන දෙයක් තිබේ. ප්‍රබන්ධයක, සිනමා කෘතියක හෝ අන් කලා කෘතියක ජීවිත විවරණය දුර්වල නම් එහි ආඛ්‍යාන ශෛලිය, කතා රීතිය, ආකෘතිය ගැන කථා කර ඵලක් නැති බවයි. ඒ තුළ තවද යමක් කිව හැකිය. කලා කෘතියක ශානරය නොව වැදගත් වන්නේ ජීවිතාවලෝකනය බවයි. කෘතිය පාඨකයා සසල නොකරයි නම් එය අධිසත්තා වුවද, මොන සත්තා වුවද අර්ථයක් නැත.

 

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා