මුළු ලෝ උසුලන රන්ටැඹ මිනිසා

 ඡායාරූපය:

මුළු ලෝ උසුලන රන්ටැඹ මිනිසා

මෙම සටහනෙහි මැය වශයෙන් ගැනෙනුයේ ප්‍රේමසිරි කේමදාස නම් මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සංගීතවේදියා විසින් නිර්මාණය කළ අග්නි ඔපෙරාවේ එන සෝම නම් දඩයක්කාරයාගේ මුවට නංවන ලද අභිනන්දනීය වාක්‍ය ඛණ්ඩයකි. එමඟින් ඇඟවෙනුයේ ලෝකයත් එහි පැවැත්මත් පිළිබඳ මිනිසාට පවතින නොනිමි වගකීම පිළිබඳ ඇඟවුමකි. ඒ කවර වගකීම්සහගත පැවැත්මක්ද යත් පරිණාමයේ මුල් අවදියේ සිටම තමන්ට විඳීමට සිදු වූ අටෝරාසියක් බාධක මැඩගත් ඉතිහාසය නමැති ගිරිදුර්ගය තරණය කොට වර්තමානය නම් තැනිතලාවට සේන්දු වූ, අනිකා කෙරෙහි වන සහානුකම්පනය මෙන්ම මානව දයාවෙන් දිදුලන හදවතක් දරන, සංස්කෘතික වශයෙන් දියුණු වූ මානවයාගේ ශිෂ්ට පැවැත්ම මෙන්ම එකී පැවැත්ම ආරක්ෂා කිරීම වන්නේමය. එකී පැවත්ම බෞද්ධ, ඉස්ලාමීය, කතෝලික හෝ හින්දු වශයෙන් ආගම්වලට බෙදා වෙන් වෙන් වශයෙන් හැඳන්විය නොයුතු විශ්වීය පැවත්මක් වන්නේමය.

විශ්වීය මානව පැවැත්ම පිළිබඳ ඉගැන්වෙන බුදුදහමේ පංචශීල ප්‍රතිපත්තිය හෝ සිනායි කන්දේදී මෝසෙස්ට ලබාදුන් දසපනත මත පදනම් මූලික යුදෙව් දහම හෝ ජේසුස් ක්‍රිස්තුස් විසින් ඉගැන්වූ මානව දයාව මෙන්ම ඉස්ලාමීය මුල් ඉගැන්වීම්වල එන විශ්වීය මානව පැවැත්ම ගරුකොට සලකන ඉගැන්වීම් වැනි සමස්ත ඉගැන්වීම් මඟින් යළි යළිත් වරනඟනුයේ මෙලොව මානව පැවැත්මේ ඇති වටිනාකම සහ එකී මානව පැවැත්ම සුරක්ෂිත කිරීමේ වගකීම මෙන්ම වගවීම් පිළිබඳ පාඩම වන්නේමය. එමෙන්ම අඩු නොවැඩි වශයෙන් සෑම විශ්ව ධර්මයක් තුළ එම වගකීමෙන් තොර වීම සඳහා කරනු ලබන අපගාමී දේශනයක් අඩංගු නොවන බව විශ්වාස කළ යුතු අතරම එකී බහුතරයක් වූ ආගම්වල සිටින මැවුම්කාර දෙවියන් සතුව තිබූ මානවයා වෙත දායාද කළ එකම අවිය වන්නේද ඒ ආදරයම පමණි. එනම් රූපෙන් දෙවියන් හා සම වුණු මිහි මත වෙසෙන තනි වූ, හඬනා දොඩනා දුකින් ආතුර මිනිසුන් සිත සුවපත් කිරීම සඳහා දුන් එකම ඖෂධ වූ කලී එකිනෙකා කෙරෙහි පවතින මානව ප්‍රේමය වන්නේමය.

එහෙයින් වර්තමානය තුළ සිදුවෙමින් පවතින සිදුවීම් සමස්තය මඟින් සෑම ඉස්ලාමීය භක්තිකයකුම අන්තවාදියකු ලෙස දැකීමට හුරු කරවන ලද ඇසක් හෝ මනසකින් යුතු අප සියලු දෙනෙක්ම අවබෝධ කරගත යුත්තේ ඔවුන්ගේ අල්ලාහ් දෙවියන් විසින් මිනිසා මැවීම සඳහා ගත් පරිශ්‍රමය පිළිබඳ සිතන විට එම දෙවියන්ම උන්වහන්සේ විසින් සිදු කළ ඒ අගනා නිමැවුම විනාශ කර දැමීම සඳහා කෙලෙසකවත් උගන්වා නැති බවය. එම අගනා නිමැවුම පිළිබඳ කුරාණය තුළ මෙලෙස සඳහන් කර ඇත.

"ඉඳුරාම දෙවියන් වන්සේ විසින් මිනිසා මවන ලද්දේ තෙත මැටි පිඬකිනි. පසුව උන්වහන්සේ සුරක්ෂිතව එම බීජය තැන්පත් කළසේක. ඉන් පසුව එම බිඳුව ඝනපිඬක් ලෙස වර්ධනය විය. පසුව එම ඝන පිඬ කුඩා පිණ්ඩයක් බවට පත් විය. පසුව එම පිණ්ඩය අස්ථි ලෙස හැඩගැන්විනි. අස්ථි මාංසයෙන් ආවරණය කරන ලද්දේය" (කුරාණය 23˸12-14) යනුවෙනි. සැබවින්ම මෙලෙස සූක්ෂ්මව සිදුකළ මානව ශරීරය නම් නිමැවුම උන්වහන්සේ විසින්ම උන්වහන්සේ වෙනුවෙන් විනාශ කර ගැනීමට පවසා ඇත්තේය යනුවෙන් ඉස්ලාමීය අන්තවාදීන් විසින් අවබෝධ කරගැනීම කෙතරම් නොමඟ යෑමක්ද?

එපමණක් නොවේ. අප විසින් හිංසනය යනු ඉස්ලාම් ධර්මයට අනන්‍ය දෝෂයක් ලෙස නොසැලකිය යුතු අතරම සියදිවි නසාගැනීම ඉස්ලාමීය ධර්මය තුළ පිළිකෙව් කර ඇති බවද අවබෝධ කරගත යුතුය. සියදිවි නසාගැනීම ඉස්ලාම් ධර්මය තුළ හඳුන්වා ඇත්තේ ජීවිතයෙන් පලායෑමක් නැතිනම් දුර්වල මනස් සහිත වූවන්ගේ ක්‍රියාවක් වශයෙනි. ඝාතනය කිරීම වෙනුවට එය අනුදැක ඇත්තේ ජීවිතයට ප්‍රේම කිරීමයි. එනම් මානව ශරීරය, ආත්මය යන සමස්තය යනු මානව පරිපූරණත්වය වෙත ළඟාවීම සඳහා දෙවියන් විසින් ලබාදුන් ප්‍රසාද වන්නේමය. මෙම පරිපූරණත්වය කරා යන ගමන තීරණය වනුයේ දෙවියන් විසින් අනුමත යහධර්ම නිරන්තර පුරුදු පුහුණු කිරීම මඟින් මෙන්ම නිරන්තර දෙවියන් වන්දනය කිරීම හරහා අප තුළ ඇති ආලෝකය වඩ වඩාත් වැඩි කර ගත හැකිය. එවිට මානවයා, දෙවියන් අපේක්ෂා කළ පරිපූර්ණත්වයෙන් යුතු ඒ සොඳුරු නිමවුම බවට පත් වන්නේය. එය එවිට දිව්‍ය ප්‍රේමයට නිමිති වූ වස්තුවක් බවට පත්වෙයි. සැබවින්ම අල්ලාහ් යනු ශෝභමානයෙහි ප්‍රතිමූර්තියක් වන අතරම උන් වහන්සේ එවැනි අලංකාරත්වයට ඇලුම් කරන්නේද වෙයි යනුවෙන් එහි තවදුරටත් උගන්වා ඇත.

මානවයාගේ භෞතික පැවැත්ම පිළිබඳ මෙතරම් සූක්ෂ්ම ඉගැන්වීමක් අවභාවිත කිරීම කෙතරම් අවමන් සහගතද. සැබෑ ඉස්ලාම් භක්තික හෘද සාක්ෂියක් ඇත්තකුට එබඳු අගනා මානව පැවැත්මක් බෝම්බයකින් පුපුරවාලීම සිදුකළ නොහැකි අතර ම එබඳු චර්යාවක නිරත නොවන අහිංසක ඉස්ලාමීය භක්තිකයන්ට හිරිහැර කරන හෝ ඔවුන්ගේ දේපළ ගිනිතැබීමට සැබෑ සිංහල බෞද්ධ හෘදසාක්ෂියක් සහිත වූවන්ටද කළ නොහැක්කක් වන්නේ, අප දහමෙහි ඇති සුවිශිෂ්ට ඉගැන්වීම මත පදනම්වය. යමෙක් එබඳු හිංසාකාරී චර්යාවක නිරත වන්නේ හෝ අනුබල දෙන්නේ නම් ඒ සියලු දෙනාම සාතන් ධර්මය අනුදත් අලුගෝසුවන් සේ සැලකිය යුතුම වන්නේමය.

[ දිනේෂ් දේවගේ]

මාතෘකා