එම විට පවසන මුවින් ඔබේ....

 ඡායාරූපය:

එම විට පවසන මුවින් ඔබේ....

 “හිතවත්කම් විශිෂ්ට විසිතුරු බඳුන් විකිණීමට තබා ඇති වෙළෙඳසැලකට සම කළ හැකිය. එම වෙළෙඳසැලේ යතුර ප්‍රේමය විසින් අපට ලබාදී ඇත්තේය. මේ සෑම බඳුනක්ම සුන්දරය. මන්ද සෑම පුද්ගලයෙක්ම, සෑම වැහි බිඳුවක්ම, කඳුකරයේ නිදන සෑම පර්වතයක් මෙන්ම, ඒවා එකිනෙකට වෙනස් බැවිනි.”

බුදු දහම අනුවද මිනිසුන් ශරීරයෙන් මෙන්ම සිතුවිල්ලෙන්ද වෙනස් බව පහදයි. විසල් චක්‍රාවාටයක, විසල් පෘථිවියක, විසල් මහාද්වීපයක, සාපේක්ෂව කුඩා දූපතක, කුඩාම භූමියක ජීවත් වන අංශු මාත්‍ර මිනිසාට ඔබද මාද අයිතිය. මේ භුමියේ ජීවත් වන කවරෙකුට වුවද පොදු සංස්කෘතියක් භුමිය විසින් නිර්මාණය කරදී තිබේ. අවුරුදු දෙදහස් පන්සියයකට දුර අතීතයේ පටන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ හික්මීම තුළ එම ලාංකේය පොදු ජන සංස්කෘතිය හැඩ ගැස්වෙයි. එම මහා පොදු සාධකය මත පසුකාලීනව දේශීයකරණයට ලක් වූ ආගමික, වාර්ගික ජන සමාජයන් එකතුවිය. දහවෙනි සියවසේ කිතු ධර්මය දේශීය ලක්ෂණ සහිතව පෙළ ගැසුණේ මිෂනාරි සේවය සඳහා පැමිණි ධර්මදූතයන් සිංහල භාෂාව සහ ජන සංස්කෘතිය මැනවින් ඉගෙන ගනිමිනි. පසුකාලීනව පන්සලේ පියතුමා වැනි ජන විඤ්ඤාණයන් බිහිවුයේද එම කිතු දහමේ දේශීයත්වයන් නිසාය.

සංස්කෘතිය යනු අදහස්, ඇගයුම්, විශ්වාස, දැනුම, ප්‍රතිමාන, සිරිත් විරිත් තාක්ෂණයෙන් සැදුම් ලත් කිසියම් නිශ්චිත සමාජයක සෑම කෙනෙක්ම පාහේ පොදුවේ භාවිතා කරනු ලබන පද්ධතියකි. විශේෂිතම භූගෝලීය බල ප්‍රදේශයක ජීවත්වන හා අන්‍යෝන්‍ය වශයෙන් අන්තර් සබදතා පවත්වනු ලබන මිනිසුන් සමූහයක් සමාජයක් ලෙස හඳුන්වනු ලැබේ. ඔවුන් සාමූහික පිළිවෙළෙකට සංවිධානය වෙමින් පොදු සංස්කෘතියකට අනුව ජීවත් වේ. සංස්කෘතිය කිසියම් සමාජයක පොදු උරුමය වන්නේ එබැවිනි. එම පොදු සංස්කෘතිය

රැකීමට සියලු උප සංස්කෘතීන් ක්‍රියා කරයි. එමඟින් දේශයට අනන්‍ය වූ උප සංස්කෘතීන් බිහිවෙයි. කතෝලික, හින්දු, ඉස්ලාමීය ජන සමාජය තුළ ආවේණික ලාංකේය සංස්කෘතිමය හැඩයක් නිර්මාණය වී තිබුණේ උක්ත උප ලක්ෂණ අනුවය. ජාති, ආගම් භේදයකින් තොරව ජන සමාජයේ එකමුතුකමේ හැඩය වූයේ එම සංස්කෘතියයි. මන්දයත් මිනිසාගේ චර්යාවන් නිර්මාණය වී ඇත්තේ මුලික ස්වාභාවික ගති ලක්ෂණ අනුව නොව සංස්කෘතිය අනුවය. මහා සංස්කෘතිය තුළ වෙන් කොට හඳුනා ගැනීමට හැකි උප එකක උප සංස්කෘතීන් ලෙස හඳුනා ගත හැකිය. ඊටම ආවේණික ජීවන රටා උප සංස්කෘතීන් තුළ හඳුනාගත හැකි අතර ආහාර, නැටුම්, ගැයුම්, සංගීතය, ඇඳුම් පැළැඳුම් ආදියද මේ විවිධත්වය තුළ දැකිය හැකිය.

බොහෝ දේ රඳා පවතින්නේ මිනිසුන් ගැඹුරු ලෙස ස්ථිරව ආධ්‍යාත්මය සොයා යෑමකට එළඹ තිබේද යන කරුණ මතය. අන් අයගේ මත ඉවසීමේ හැකියාව වර්ධනය කරගැනීම අත්‍යාවශ්‍යය. කිසිවෙක් තම අදහස් අනෙකා මත බලහත්කාරයෙන් පැටවිය යුතු නැත. තම තමාගේ හෘද සාක්ෂිය සම්බන්ධයෙන් සැමදෙනාටම වගකීමක් ඇත. කලාකරුවාට මෙහිලා කළ හැකි මෙහෙවර සුවිශේෂය. නූතනය නියෝජනය කළ කලාකරුවෝ මේ යුතුකම අඩු නැතිව ඉටුකළහ. තම උප සංස්කෘතීන්ගෙන් ලද හුරුව මහා සංස්කෘතිය රැකීම වෙනුවෙන් ඔවුහූ අඩු නැතිව භාවිතා කළහ.

විදේශීය රටකින් පැමිණ ශ්‍රී ලාංකේය සම්මාන පුරවැසිභාවය ලත් අල්හාජ් මොහිදීන් බෙග් හෙළ සංස්කෘතියට දැක් වූ අමරණීය දායකත්වය මෙහිලා විශේෂණ සහිතව සටහන් තැබිය යුතුය. වෙසක් පුන් පොහොය සමයක බොදු බැතිය හදවත් තුළ ජනිත කෙරවූයේ ඔහුගේ හඬ පෞරුෂයෙනි. පන්සලේ, දන්සලේ, තොරණ අභියස, පිරිත් ගෙදරක, දානයක, බෞද්ධ ශිෂ්ටාචාරය වූයේ මොහිදීන් බෙග් හඬ නළුවයි. සමාජයට යහපත් ආදර්ශය සහ උපදෙස් ගීත මඟින් සන්නිවේදනය කළේ බෙග් මාස්ටර්ය. ඉස්ලාම් බැතිමතකු ලෙස ඔහු ලබා තිබූ ශික්ෂණය ඉස්ලාම් ආගමට බැතියෙන් සලකන්නටත් බෞද්ධ සම්ප්‍රදාය හඳුනා ගැනීමටත් එයට ගරු කිරීමටත් හේතුවිය. රටට ගැලපෙන සංස්කෘතිය හඳුනාගත් බෙග් බෞද්ධ සංස්කෘතියෙහි විද්‍යමාන ලක්ෂණයක් වූයේ එබැවිනි .“බුදුගුණ සැමදා පවතිනවා. ආගම රට ජාතිය වෙනුවෙන් ගැයිය යුතුයි.” යන බෙග් මතය ඔහු එවකට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඔහු ලාංකේය සංස්කෘතියේ කොටසක් වූ බැවිනි. සිංහල බෞද්ධයා බෙග් මාස්ටර්ගේ හඬට ගරු ක‍‍ළේ ඔහු ඉස්ලාම් භක්තිකයෙක් බව නොසළකා හරිමිනි. සැබවින්ම සිංහල බෞද්ධයා අල්හාජ් මොහිදීන් බෙග් වෙනත් ආගමකයැයි පිළි නොගන්නා තරමට සමීප බැඳීමක් ඔවුන් තුළ විය. බුදු බණ ජනතාවට කාවදින ලෙස ගායනා කිරීම වඩා උතුම් ලෙස සිදුකළේ බෙග් මාස්ටර්ය. ඔහු ඉස්ලාම් භක්තියෙන් බොදු බැතිය වැඩවූයේය. මන්ද ඔහුගේ ගයනා ස්තෝත්‍ර මෙන් බැතිබරය.

බෙග් මාස්ටර් අවසන් වදන් පෙළ ප්‍රකාශ කළේ තම දරුවන් උදෙසාය. එය සංස්කෘතිකමය. “ මා ගැයූ බොදු ගීතවලට මේ රටේ මිනිස්ස්සු හරි ආදරෙයි. මේ රටේ බෞදධයෝ ජීවත් වනතුරු උඹලාට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ.” යැයි ප්‍රකාශ කළේය.

“ඇතැම් විට පරණ නිසා හෝ සිතා ගත නොහැකි වරදක් නිසා හෝ රාක්ක කඩාවැටෙයි. ආදරයෙන් බලාගත් බඳුන් බිදීයයි. ඇතැම් බඳුන් බිඳෙන බව සත්‍යයකි. හිතවත්කමේ පොරොන්දුවක් බිඳී ඇත. කළ යුතු හොඳම දේ කැබලි ටික අතුගා ඉවතට දැමීමයි. මන්ද බිඳුණු දෙයක් නැවත කිසිම දිනෙක තිබුණු දෙය නොවන බැවිනි. කිසිවක් සත්‍යයෙන් දුරස්ව තිබිය නොහැක.අපි සැවොම කාලයේ වැලිතලාවේ සිරකරුවෝ වෙමු. කාලය ගත වෙද්දී රාක්ක පිළිසකර විය යුතුය. ඒ සඳහා බෙග්මාස්ටර්ගේ ගැයුම් පන්සලෙන් ඇසීමේ හැකියාව තිබිය යුතුය. “එමවිට පවසන මුවින් ඔබේ, බුද්ධං සරණං ගච්චාමි” යැයි නව පරම්පරාව මිමිනීමම අලුත් නිර්මාණාත්මක බඳුන් රාක්කවල පිරී යාමට හේතු වන්නේය.

මාතෘකා