සිංහල සිනමාවේ වසන්තය

 ඡායාරූපය:

සිංහල සිනමාවේ වසන්තය

පසුගිය වසරේ දිනක වාරියපොළ සුමංගල මැදි මහ විදුහලේ දී සිනමා සම්මත්‍රනයක් පැවැත්වුණා. එහි තේමාව වුණේ වසන්ත ඔබේසේකරගේ සිනමාවයි. සරත් ධර්මසිරි සහ බුඩි කීර්තිසේන සමඟ මාද ඊට සහභාගි වුණා. සරත් ධර්මසිරි හා මා එහ ආදිශිෂ්‍යයන් වූ බැවින්ද අපට එහි ආදිශිෂ්‍ය සංගමයේ ගරු සාමාජිකත්වය ලැබී තිබූ හෙයින්ද මේ කතිකාවතට අප එක් කරගෙන තිබුණා.

වසන්ත ඔබේසේකරගේ අවසන් චිත්‍රපටිය වන "ආගන්තුකයා"ප්‍රදර්ශනය කිරීමෙන් පසුවයි අදහස් දැක්වීම ඇරඹුණේ.

ලංකාවේ කලාත්මක සිනමාමේ මුල්ගල් තුන හැටියට ලෙස්ටර්,පතිරාජ හා වසන්ත සැලකෙනවා. මේ ලියුම්කරු ද වසන්තගේ සිනමා රසිකයෙක්. මුලින්ම ඔහුගේ චිත්‍රපට නැරඹුවේ පාසල් වියේදී. වෙස්ගත්තෝ,දියමන්ති යන මුල් චිත්‍රපට නරඹද්දී එතරම් විශේෂත්වයක් පෙනුණේ නෑ. ඔහු හැදූ පලඟැටියෝ චිත්‍රපටිය නරඹද්දි මා උසස්පෙළ ජීව විද්‍යා පන්තියේ.

දම්මි පොන්සේකා රඟපෑ ලිංගික ජවනිකා අපේ කොල්ලන්ට අල්ලලා ගියේ එවැනි දර්ශන ඊට පෙර චිත්‍රපටියකින් ඔවුන් දැක නැති නිසයි. එහෙත් ඒ චිත්‍රපටියේ ඊට වඩා විශේෂත්වයක් ඇති බව අපේ සංවාද කවයේ මතය වුණා. එනිසා ඒ ගැන කෙටි ලිපියක් සරසවියට යවන්නත් පෙළඹුණා. අවරගණයේ නිර්මාණ රසවිඳීමෙන් ඔද්දල්වූ මනසක් ඇති තරුණියකගේ මනෝ ලෝකයෙහි සිහින කුමාරවරු රජකරනවා. තම පියාට අයත් මුද්‍රණාලයේදී දකින්නට ලැබෙන විසිතුරු රූ සිත්තම් සහිත ප්‍රකාශන නිසා ඇති වන සිහින ලෝකය එමා බොවාරි නවකතාවේ එමා නව යොවුන් වියේදි කියවන සිහින කතාවල මැවෙන සිහින ලෝකයට සමානයි.

 

"මල් පිපෙනා කාලේ වසන්තයේ

පිපි මල මා හද තුළ ඔබ වෙතේ

බඹරු මෙමා නම් පියඹා පියඹා පියඹා විත් ඔබ සිප වෙලෙමි

මා හද තුළ ඔබ සංගමී"

ඩී.ආර් පීරිස්ගේ සංගීතයට වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක ගයන මේ ගීය සිහින කුමාරවරුන්ගේ ලෝකවල සුකුමාර බව සහ යථාර්ථය අතර ගැටුම කදිමට පිළිබිඹු කරනවා. වසන්තගේ බොහෝ නිර්මාණවල මෙය නිරීක්ෂණයට ලක්වනවා. දඩයම, දොරකඩමාරාව, සලෙළු වරම යනු එයින් කිහිපයක් පමණයි.

වසන්ත සිංහල සිනමාවේ කතන්දර කීමේ කලාව වෙනස් කළ සිනමාකරුවෙක්. එදා සුමංගල විදුහලේදී ආගන්තුකයා ගැන කතා කරද්දිත් අප මේ ගැන සිහිපත් කළා. අපේ කතිකාවත දියත් වන දිනයේ වසන්ත ජීවතුන් අතර සිටියා. අද ඔහු ජීවතුන් අතර නැහැ. ඔහු අපෙන් සමුගෙන වසරක් ගතවී තිබෙනවා.

ඔහු කාලය සහ සිදුවීම් අතර පිළිවෙල රූප රාමුවලින් බිඳ දමනවා. කැඩපතක ඡායා එහි උච්චතම අවස්ථාවයි. සාර්ථකම අවස්ථාවයි කීවත් වරදක් නෑ.

වසන්ත ජනප්‍රිය සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙද්දී සිනමාහල් වෙළුණේ නැහැ. විශාල ජනකායක් ඒ චිත්‍රපට නැරඹුවා. මීට හේතුව බටහිර සිනමාවේ ජනප්‍රිය ආඛ්‍යානයක් වන කාමය සහ අපරාධය [sex and merder] එම චිත්‍රපටිවලදී භාවිතයට ගැනීම බවට ඇතැමුන් අදහස් කරනවා. මා නම් ඊට එකඟ වන්නේ නෑ. වසන්තගේ සිනමාව ඊට වඩා ගැඹුරින් කියවීම අවශ්‍යයි.

වසන්ත තම කෘතිවලට විෂය කරගත්තේ සත්‍ය සිදුවීම්.ඒවා බොහෝ ආන්දෝලනයට තුඩු දුන්නා. එහිදී වසන්ත එම සිදුවීම්වල පසුබිම ගැඹුරින් අධ්‍යයනය කරමින් චිත්‍රපටවලට කලාත්මක හැඩයක් ලබා දෙමින් වෙනස් මානයකින් මුලික පුවත අවලෝකනය කරනවා. එය බරපතළ සමාජ කියවීමක්.

තරුණ තරුණියන්ගේ ප්‍රේමය හා පවුල් දිවිය කුඩු පට්ට කිරීමට බලපාන බියකරු සමාජ අවනතීන් ඔහු හොඳින් අපගේ දෑස මත්තට ගේනවා. චරිතවල යටිපෙළ කියවීමට අපට ඇරියුම් කරනවා. ඔහු මානව දයාව උතුරා ගිය කලාකරුවෙක්.

මුලින්ම මා ඔහුගේ පුංචි රසිකයෙක්. යොවුන් වියේදී ඔහුගේ සිනමාව ගැන ලියූ අයෙක්. 80 දශකයේ අගදශකයේ අගභාගයේ දිනක කොළඹ මහජන පුස්තකාලයේදී ඔහුගේ කැඩපතක ඡායා චිත්‍රපටිය පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමටද අප මැදිහත් වුණා. 90 දශකයේදී පත්තරකාරයකු හැටියට විවිධ කටයුතු සඳහා බම්බලපිටිය ලෝරීස් පටුමගේ ඔහු පදිංචිව සිටි නිවසට ආගිය ගමන් සොඳුරු මතක හැටියට හදවතේ තැන්පත්ව තිබෙනවා.

සම්මුඛ සාකඡ්ඡාවක් කරමින් සිටින අතරතුර අපේ අසුන් යටින් ඉඳහිට මීයකු දිව යෑම සාමාන්‍ය පුරුද්දක්.

"සිංහල සිනමාවේ වසන්තය"

විශිෂ්ට නිවෙදකයකු හා ගීත රචකයකු වන බණ්ඩාර කේ.විජේතුංග චිත්‍රපට ප්‍රචාරක වැඩසටහන්වලදී වසන්ත හැඳින්වූයේ එහෙමයි.

වසන්තගේ සිනමාව ගැන තවදුරටත් ලියන්නට ඉඩ තබා ගනිමින් මේ සටහන නිමා කරන්නේ ඔහුගේ චිත්‍රපට නැරඹු රසිකයකුගේ කම්පනය හා විස්මය නැවත වරක් හදවතෙහි මතුවන්නට ඉඩ දෙමින්.

මාතෘකා