කට කතා සහ සිංහයා

 ඡායාරූපය:

කට කතා සහ සිංහයා

වෙහෙස මහන්සි වී සිටි හාවෙක් තල් ගසක් යට සිටියේ තද නින්දේය. මහා ශබ්දයක් නඟමින් බිමට වැටුණේ තල් ගෙඩියකි. ඒ වියළී ගිය තල් අත්තක් මතටය. තද නින්දේ සිටියද හාවාගේ නින්ද සුණුවිසුන විය. සිදුවූයේ කුමක් දැයි හාවාට වැටහීමක් නැත. හාවාට හිතුණේ අහස කඩන් වැටෙනවා කියාය. දැනුණේ තද බියකි. හාවා දුවන්නට පටන් ගත්තේය. අතරමඟ දී හමු වූයේ මුවෙකි.

'' යාළුවේ මොකද මේ විදුලි වේගයෙන් දුවන්නේ? ''

'' අහස කඩා වැටෙනවා. ඒ හින්ද මං දුවනවා.''

'' අනේ එහෙනම් මාත් එනවා. අපි දුවමු. දුවමු ''

හාවාගේ දිවිල්ලට මුවාද එකතු විය. අතර මඟ දී හමුවෙන හැම සතකුම පිරිසට එකතු විය. හැමෝම කීවේ '' අහස කඩන් වැටෙනවා. අපි දුවනවා '' කියාය. ඒ ඇසූ කැලේ සිටි හැමෝම දිවිල්ලට එකතු වූහ. අවසානයේ හමු වූයේ සිංහයෙකි.

'' මොකද උඹල හැමෝම දුවන්නේ''

'' අහස කඩන් වැටෙනවා රාලහාමි. ඒ හින්ද අපි දුවනවා.''

'' මොනවා! කවුද එහෙම කිවේ? ''

'' මෙයා තමයි කිවේ. මෙයා තමයි කිවේ ''

හැමෝම එකිනෙකාට කියා ගත්තෝය. අවසානයේ ඉතිරි වූයේ හාවාය. හාවා කීවේ තද නින්දේ සිටි තමන්ට අහස කඩා වැටෙනවා වගේ හඬක් ඇසුණ නිසා දිවූ බවකි. ආපසු තල් ගස ළඟට පිරිවර සමග ආ සිංහයා වැටී තිබූ තල් ගෙඩියක් වියළි තල් අත්තක් මතට දමා ඒ කෙබඳු ශබ්දයක් දැයි ඇසීය. තමාට මුලින්ම ඇසුණේ එවැනි ශබ්දයක් යැයි හාවා කීවේය. ඒ තල් ගෙඩියක් වැටුණ හඬ විනා වෙනත් දෙයක් නොවන බව සිංහයා පහදා දුන්නේය. බිය තුරන් කර ගත් සත්තු එකිනෙකාට චෝදනා කර ගනිමින් ආපසු ගියහ.

මේ අප කුඩා කාලයේ අසා ඇති කතාවකි. ඒ කතාව කට කතා ගැනය. ඒවා නව කතා හෝ කෙටි කතා නොවේ. ඒවා ජන කතාය. පැරැන්නන් ඒවා රැකගෙන ආවේ කට වහරෙනි. ඒ සමාජයට පාඩමක් දෙන්නටය.

තල් ගෙඩිය වැටුණු හඬට බිය වූ හාවා ඒ කුමක් දැයි සොයා බැලුවේ නැත. හැමෝටම කීවේ තමන්ට සිතුන දෙයය. අනෙක් සතුන්ද ඇසූ පමණින්ම එය විශ්වාස කළේය. සිදුවූයේ මහා කලබගෑනියකි.

මේවාට කට කතා කියන්නේ කටින් කට පැතිරෙන නිසාය. කට කතාවලට අත්තටු තිබෙනවා යැයි කියති. ඒ ඒවා එතරම්ම වේගයෙන් පැතිරෙන නිසාය. එදත් අදත් සමාජයේ කට කතා බහුලය.

එහෙත් අද ඒ කට කතා නවීකරණය වී තිබේ. අද ඒවා පැතිරෙන්නේ ජංගම දුරකථන හරහාය. කෙටි පණිවුඩ, ෆේස්බුක්, වට්ස් ඇප්, ඉමූ, ට්විටර්, ඊ මේල් ආදී විවිධ ක්‍රම වේද බිහිවී තිබේ. ඒවායින් කතා පැතිරෙන්නේ විදුලි වේගයෙනි. මේවාට සමාජ මාධ්‍ය යැයි කියති. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් මේ හරහා සමාජ ගත කළ හැකිය. හරියට දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය. යහපත සහ අයහපත දෙකම සිදුවේ. රජය වරින්වර මේවාට තහංචි පනවන්නේ අයහපත සිදුවන විටය.

තොරතුරු සමාජ ගත වන්නේ විවිධ මාධ්‍ය හරහාය. මුද්‍රිත සහ ඉලක්ට්‍රොනික මාධ්‍ය මුල් තැනක් ගනී. පුවත්පත්, ගුවන් විදුලි සහ රූපවාහිනි මේවාට අයත්ය. මේවායේ තොරතුරුද සත්‍යම නොවේ. ඒවාටද තහංචි පනවන්නේ ඒ නිසාය.

පසුගියදා වාරණයක් පැනවූයේ මේ දිනවල අත්අඩංගුවට ගන්නා ආයුධ මාධ්‍ය හරහා නොපෙන්වන ලෙසය. රජය කියන්නේ එය වාරණයක් නොව ඉල්ලීමක් බවය. එහෙත් සිතා බැලිය යුත්තේ අපේක්ෂිත අරමුණ ඉටුවේද යන්නය. නවීන තාක්ෂණික ලෝකයේ කිසිවක් කිසිවෙකුට සැඟවිය නොහැකිය. වාරණය කරන්නට, කරන්නට වඩ වඩාත් වේගයෙන් පැතිරෙන්නේ ඒ නිසාය.

තොරතුරු අද පාරිභෝගික භාණ්ඩයකි. මිනිසාට එය නැතිවම බැරිය. නැතිවම බැරිදේ කෙසේ හෝ සොයා ගත යුතුය. ප්‍රධාන මාධ්‍යයෙන් තොරතුරු නොලැබෙන විට වෙනත් මාධ්‍යවලට යොමු වන්නේ ඒ නිසාය. බොහෝවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන තොරතුරු සත්‍ය විය නොහැකි බව හැමෝම දනිති. ඒ නිසා ඒවායේ වැරදි නිවැරදි බව තහවුරු කරගන්නේ ප්‍රධාන මාධ්‍ය ඇසුරිනි. ප්‍රධාන මාධ්‍යවලින් ඒ දේ ඉටු නොවන විට සත්‍ය බවට පිළිගන්නේ සමාජ මාධ්‍ය තොරතුරුය.

මේ නිසා සිදුවිය යුත්තේ මාධ්‍යවලට තහංචි පැනවීම නොවේ. සමාජ මාධ්‍යකින් අසත්‍ය තොරතුරක් සමාජ ගත කරන්නේ නම් ප්‍රධාන මාධ්‍ය හරහා වහාම එය නිවැරදි කිරීමය. ඒ සඳහා හැම විටම අවදියෙන් සිටීමය. සිංහයාගේ භූමිකාව ඉටු කිරීමය.

[නන්දසේන උඩුගම]

මාතෘකා