මාංශ ආහාර

 ඡායාරූපය:

මාංශ ආහාර

ඕං ඉතිං ගෙවුණු සුමානේ කතා ලතා මතක ඇති කියාලා හිතාන අර පොරොන්දු වෙච්ච විදිහට උණ බම්බුවෙ ලා ලා සූකර මාංශෙ පිළියෙල කරගන්ඩ ඕන විදිය උදය කලුපතිරණ මිත්‍රයගෙන් විමසා දැනගෙන ආවෙ මේ කාට කාටත් කියන්ඩ තමයි. හැබැයි ඉතිං එකක් කියන්ඩ ඕන. මේ කෑම් පිම් ජාති හරිගැහෙන්නෙ එක එකාලයෙ වරිග පරම්පරා පුරුදු විදිහටයි. එව්වට හේතුව ඔයි කෑම ආරලු බූරලු කොයි දේටත් මුල බඩසයින් මිදෙන්ඩ තියෙන වුවමනාව මිස අනෙක් අටමගලයක් මුල්කාලෙ නොතිබ්බ හින්දා බව මතක තියාගන්ඩ හොඳයි. මොකද පෙළක් උන්දැලා මේ රට ගිනිගන්න අල්ලපනල්ලෙ කන අඩුක්කුවෙත් උස් මිටිකම් හොයන්ඩ පටන් ඇරගෙන නෙව. එකෙක් ඌරු මාලු කද්දි තව එකෙක් එව්වා නොකා හරක් මස් කන්නෙ ජාති සම්මතේට වුණාට මොකද ඒකෙන් උන්දැලාගෙ උහ මිටි බලන්ඩ නරකයි.

දැන් අපේ ගමෙත් වන සතෙක් පට්ට ගහන්ඩ එකෙක් නැතුවට, අපි පුංචි සන්දියේ මට මතකයි තේවතුවල බිලවලට දුම් පිඹලා අල්ලගත්ත ඉත්තෑවෝ ඔව බිම බලන්ඩ එල්ලලා යටින් ගිනිදාලා පුලුස්සලා මස් කරපු හැටි. අපේ තාත්තත් ගෙදර ආවේ මස් පංගුවක් ඇන්න. දැන්නම් ඉතිං රෑ පානේ ඉත්තෑවෝ කරේ නගින්ඩත් එන්ඩ තිබා ගත්තා. ඔයි අපේ දේවරුක්ෂානයා සිංහල වාගෙ පේන දෙමළ මනුස්සයා මට කොච්චරවත් බල කෙරුවෙ උන්ගෙ මුත්තා බලන්ඩ යන්ඩ එළු සුප් බොන්ඩ. එව්වා හදව්වේ එළු කකුල්වලින්. උන්දෑ කවුරු නමුත් එළුවො මරාපුවම ගාතෙන් පහළ කකුල් ඉල්ලා ගත්තලු හම්කඩේ පිටිම්ම. ඊටපස්සෙ එව්වා ලණු බැඳලා දුම්මැස්සෙ එල්ලුවා දෙතුන් මහක් දුමේම පදම් වෙන්ඩ. ඕං වැස්ස තියෙන හීතල කාලෙට මේ එළු කකුල් පංකාදුයි සුප් බොන්ඩ. කොටේක තියලා පොරෝ බන්දෙන් තලාලා කෑලි කරලා ගත්තම. මේ උන්දෑ හිටියෙ කොස්ලන්ද පැත්තෙ.

උදය කිව්වෙ මෙන්න මේ වාගේ කතාවක්. කලවාන පැත්තෙන් කාලා ඇවිල්ලා. අලුත් උණ බම්බුවක් ඇරං එක පැත්තක පුරුක් අඩිය තියෙන්ඩ අනික් පැත්තෙන් පියන කපලා කටක් ඇරගන්නවා. ඊටපස්සෙ මාරුවෙන් මාරුවට පැණියි, සූකර මාංශයි තට්ටු තට්ටු දාලා අර බම්බුව වටේ කොහු ලණු වලිනුත් වෙලාලා උඩට කොළපතක් තියාලා මැටි වැස්මක් දාලා වහලා බම්බුව දුමේ දානවා. ඕං මාස කීපෙකට පස්සෙ කදිම කෑමක්.

පිටරත්මලේ පැත්තෙ උපන් ගංකාරයෙක් වෙච්ච අපේ ඌව සේවෙ දෙමළ අංශෙ අශෝකන් කිව්ව විදියට මේක හදන්නෙ දුරු මිරිසුත් දාලා වෙනම විදියකට. ඔයි විදියෙ හැටියට මස් ලොකු කුට්ටිවලට කපාලා දුරු ගම්මිරිස් ලුණු එක්ක අනලා පැත්තක තියනවා ටිකක් පදම් වෙන්ඩ. ඊට පස්සෙ නැවුම් මැටි ඇතිළියක් ඇන්න ඒකෙ අඩියට උක් හරි කිතුල් හරි හකුරු කුඩු කරලා දාලා ඊටපස්සෙ මස් කුට්ටි ආයෙ හකුරු ඔය විදියට අහුරගෙන මද ගින්නෙ හින්දලා කඩපිමි බැඳලා ඇතිලිය හොඳට වහලා දුමේ තියනවා පහුවෙලා කන්ඩ. අපේ වැදි ඇත්තො පැණිත් එක්ක මුහු කරලා පදම කරලා කල් තියාගත්තෙ මුව ගෝණ මස් තමයි. මස් මාංශ වලින් වේලන්ඩ ගත්තෙත් එව්වා වුණාට මං නම් වේලපු කුළු හරක් නැත්තං වල් මීවන්නෙ මසුත් කාලා තියෙනවා ගෝවින්දහෙළ දිහාවෙදි.

හරක් මස නොකෑවත් කුළු හරක් මස නොකාම හිටියෙ නෑ ඔය පමණක් ගම උන්දැලා. හින්දු බහුතරය ඉන්න නේපාලෙ මිනිස්සු හරක් මස් කන්නෙ නැහැ. හැබැයි මීහරක් මස ඕසෙට කනවා. ඒවට කියන්නෙ බෆ් කියාලා. අපේ හරිත දහනායක උන්නැහේ කාලයක් නේපාලේ පැළපදියම් වෙලා හිටියෙ තුන්වේල බෆ් කාලා කියලා අපිත් එක්ක උජාරුවෙන් කියන්නෙ තඩි බඩ අත ගගා. වේලන්ඩ බෑ කියන ඌරුමසත් ගිනි මැස්සෙ පදම් වෙන්ඩ පලහලා වේලාපු පුතයො අපේ පහළ ඌවෙ හිටියා. අර රත්මල්ගහඇල්ලෙ ලොකු සර් මට දුන්න ආනම ගැන මං කිව්වෙ. ඌරගෙ තෙල් මන්ද අහක් කරලා තමයි වේලැව්වෙ. එක දොහක මං බත් වේලක් ගිල්ලා ගල්ගෙඩියාවෙ දිසාලයෙ ගෙදරින්. රතු කැකුළට ලපටි හේන් වැටකොලු කිරි හොද්දයි, ලී මෑ මැල්ලුමයි, හේන් බංඩක්කා තෙලටයි. ඒකට පිළිහුඩු ජාතියක් විදියට මුහු කරල තිබ්බෙත් වේලාපු වල් ඌරුමස් තමයි.

හරි ඉතිං දැන් මං කිව්වම පැණිත් එක්ක මස් කාපු කතා ගැන. ආයෙ එව්වා බොරු කියලා කියනවා නෙවෙයි. ඇත්තටම අපිට මිරිස් පුරුදු කෙරෙව්වෙ පෘතුගීසි උන්දැලානේ. අපි ඉඟුරු ගම්මිරිස්වලින් සැර උපද්දව ගත්ත ජාතියක් නෙව. ලන්ඩන්වල බ්‍රිතානි පුස්තකාලයෙයි, ඩෙන්මාර්ක්වල කෝපන්හේගන් පුස්තකාලෙයි පිටපත් තියෙන අපේ පරණ සූප ශාස්ත්‍ර පොත දැක්කනම් මේ කතා බොරුයි කියන උදවියට වෙනස් වෙන්ඩ හිතෙයි. පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්තයත් මෙව්වා සංග්‍රහ කරලා තියෙනවා. මේ කවියෙන් කියන්නේ රජගෙදර උයාපු මස් ජාති ගැන.

ගොයින් ඈයෝ නම්

බිල්වල අනුපයෝ නම්

වරා ගොනෝ නම්

මුවෝ මේ කීවෝ සත්තු නම්

බිල්වල ඉන්න තලගොයි, ඉත්තෑ, කබල්ලෑ ඌරු, ගෝණ, මුව වාගෙ සත්තු රජගෙදර ඉව්වා කියලයි ඔය කියන්නෙ. උයපු හැටි ඇහුවොත් පුදුම හිතෙයි.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා