සංකල්ප පරාජය

 ඡායාරූපය:

සංකල්ප පරාජය

හේතු සාධක සහිතව දේවල් තේරුම් ගැනීමේ වටිනාකම පිළිබඳ පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමි. ලාංකික සමාජයේ බහුතරය ආගමික විශ්වාසයේ සිට සෑම දෙයක්ම විමසීමෙන් තොරව අතාර්කිකව අදහන තත්ත්වයකට පත්ව ඇත. එය සබුද්ධික ජන සමාජයකදී නොවිය යුතු ස්වභාවයකි.

බුදු දහමට අනුව මෙම තත්ත්වය ජයගත හැකි ආකාරය විග්‍රහ කර ගැනීම මෙම ලිපියේ අරමුණයි. පළමුව අප මනසින් ගොඩනගන සංකල්ප ලෝකය තේරුම් ගැනීම වැදගත් වෙයි. බෞද්ධ ඉගැන්වීමට අනුව මනුෂ්‍ය වර්ගයා නිර්මාණය කළ බරපතළම සංකල්පය නිර්මාණ වාදය යි. ලෝකය සකස්වීම ජීවීන්ගේ පහළවීම ආදී සෑම දෙයක්ම එක් දෙවියකු හෝ දේව මණ්ඩලයක් මඟින් සිදුකරන ලද්දක් ලෙස සැලකීම මනසින්ම සකසාගත් සංකල්පයකි.

එය යථාර්ථයක් නොවන බව විවිධ දාර්ශනිකයන් උගන්වා ඇත. ඉහත විස්තර කළ නිර්මාණවාදී ඉගැන්වීම වැරදි බව විද්‍යාත්මක තලයක සිට කරුණු දක්වා බිඳහෙළු නූතන විද්වතකු ලෙස චාල්ස් ඩාවින් ශ්‍රීමතා දැක්විය හැකිය. ස්වාභාවික ලෝකය සහ ජීවීන්ගේ නූතන තත්ත්වය පරිණාමික ප්‍රතිඵලයක් බව පෙන්වා දෙන ලද්දේ ඩාවින් විසිනි. එම මත වාදය (පරිණාම වාදය) මෙතෙක් කිසිවකුටත් අභියෝග කළ නොහැකි ඉගැන්වීමක් වූයේ එය සත්‍ය බැවිණි.

සංකල්ප ලෝකයේ යථා ස්වභාවය බුදු දහම හොඳින්ම පෙන්වා ඇත. එය තේරුම් ගැනීමට බුදු දහම සරල උපමාවක් ඉදිරිපත් කර ඇත. දිය පිපාසිත මුවකුට ඈත පෙනෙන මිරිඟුව ජලය ලෙසට හැඟීයයි. ඒ වෙත දිවයන මුවා පිපාසිතවම මියයයි.

පවතින ලෝකයේ සත්‍ය වශයෙන් දැකිය නොහැකි මනසින් තනාගත් සංකල්ප පසුපස දිවයන සත්ත්වයාට අත්වන ඉරණම මිරිඟුව පසුපස දිවයන මුවාට අත්වන ඉරණම ම බව බුදු දහම පෙන්වා ඇත.

ලෝකයෙහි ඇති යථා ස්වභාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය බව බුදු දහම සැම කල්හි පවතින යථාර්තයකි. ප්‍රඥාව මෙහෙයවා විමසීමෙන් ඕනෑම අයකුට එම සත්‍ය දැකිය හැකිය.

අනිත්‍ය යනු සියලු ධර්මයන් වෙනස් වන බවයි. වෙනස් වෙන බැවින්ම දුකයි. නිතර වෙනස් වෙන දුක් සහිත ධර්මයන්ගේ ස්වභාවය අනාත්මයි. ලෝකයෙහි ඇති මෙම සත්‍යය යථාර්ථය ප්‍රඥාවෙන්ම වටහා ගත යුතුය. එය වැටහෙන තුරු නිර්මාණවාදී ඉගැන්වීම් බදු මිථ්‍යාවන්හිම ඇලෙයි. එයම විශ්වාස කරයි. බුදු දහම එම රැවටීම අවිද්‍යාව ලෙස දක්වා ඇත.

සංකල්ප ලෝකය පරාජය කර යථාර්ථය තේරුම් ගන්නා ලෙසට බුදු දහම පෙන්වා දෙනුයේ ලෝකෝත්තර සත්‍ය තේරුම් ගැනීම පිණිසයි. එනම් සත්ත්වයා දුකින් අතමුදවා වෙනස් නොවන සුවපත් වීමකට යොමු වීමටයි.

එසේම සුවපත් ලෞකික දිවියකට ද සංකල්ප ලෝකයේ යථාර්ථය තේරුම් ගැනීම උපකාරයකි. සංකල්ප මතින් ගොඩනැගෙන ලෝකයේ දියුණුව සුවපත් වීම නිර්ණය කරනුයේ සාපේක්ෂවයි.

වාහනයක් නැතිව සිටින පිරිසක් අතර වාහනයක් ඇතිව ජීවත් වන කෙනා සිතනුයේ තමන් සැපයක් විඳින බවයි. වාහනය නැති කෙනාද තමන්ට සුවපත් වීමට නම් වාහනයක් අවැසි යැයි සිතනු ලබයි. අන් අය පරයා භෞතික සම්පත් පසුපස ලුහුබඳිනුයේ ඉහත විස්තර කළ සංකල්ප ලෝකය සත්‍යයක් ලෙසට සිතන බැවිණි. ළංකර ගන්නා භෞතික සම්පත් ප්‍රමාණය මත සැපය නිර්මාණය නොවන බව යථාර්ථවාදීව සිතීම ම සත්‍ය දැකීමට විචාර බුද්ධිය අවදි කර ගැනීමට වැදගත් ප්‍රවේශයකි.

ලෝකය සහ පුද්ගලයා පරිණාමයක් නොව මැවීමක් ලෙසට තේරුම් ගැනීම ඉහත දැක්වූ සංකල්ප පරාජයට බාධාවකි.

කිසියම් බලසම්පන්න දෙවියකුගේ පාලනයක් ලෝකය විෂයයෙහි ඇතැයි පිළිගන්නා තැනැත්තා ස්වකීය ශික්ෂණය ඇති කරගනුයේ හෘදය සාක්ෂිය මත පිහිටා සිට නොව, භක්තිය මත පිහිටා සිටයි. එය තර්කන බුද්ධිය මොට කරන තත්ත්වයකි.

භක්තිවාදයෙන් බැහැරව සිතන්න පුරුදු වීම නූතන ලෝකයට ඇවැසිම යුගයකි මේ. ඒ මන්දයත් ස්වාභාවික ලෝකය වේගයෙන් දූෂණය වෙමින් පවතියි. සම්පත් ක්ෂය වෙමින් පවතියි. මෙම තදබල දේශගුණික විපර්යාස ලෝකය පැවැත්මට අභියෝගයකි. ලෝකය සුරක්ෂිත වීමට හේතු සහිතව සිතන සමාජයක් අවැසිම බව කිවයුතු නොවේ.

සොබාදහම සුවපත් වීමටද සුවපත් ලෞකික දිවියකට ද සංකල්ප මත නොව යථාර්ථය මත පිහිටා ගොඩනැගෙන දර්ශනයක් අවැසිය. ඒ බුදු දහමේ ඉගැන්වෙන නිවන අරබයා නොව සුවපත් ලෞකික දිවියක් පිණිසය.

නූතන ලංකාව වේගයෙන් ස්වභාවික සම්පත් විනාශ කර ගනිමින් සිටියි. වැසි වනාන්තර කාන්තාර බවට පත් කරමින් සිටියි. ජල පෝෂක සිදී යමින් පවතියි. එබඳුම වේගයකින් මානව ගුණ ධර්ම ද පිරිහෙමින් පවතියි. සෑම අංශයකින්ම බිඳ වැටෙන සමාජය නගා සිටුවීමට කිසිදු ආගමක් සමත්ව නැත. ඉහත විස්තර කළ අභියෝග ජයගත හැකි නැවුම් දර්ශනයක් සමාජය ඉල්ලා සිටිනුයේ ද එබැවිණි.

ඉපැරණි අවධියේ මෙන් නොව සාමූහික කථිකාවතක් මගින් නූතන ජීවිත විවරණය වන, එසේම ශික්ෂණයට ලක් කරන දර්ශනයක් බිහි කරගත යුතුය. ඒ සඳහා බුදුන් වදාළ ඉගැන්වීම් සේම නූතන දාර්ශනික ඉගැන්වීම් ද උපයෝගී කර ගත හැකිය.

කවර තර්ක විතර්ක ඉදිරිපත් කළද එම කථිකාව පමාවන තරමට ලෝකය ද අර්බුදයට ම යනු ඇත. ජාති ආගම් කුල නොසලකන විද්වතුන් එකතුව බිහිකරන නූතන කථිකාවක් පමා කිරීම යනු සමාජයේ පැවැත්ම බරපතළ ලෙසම බිඳ වැටීමට ඉඩ දීමකි.

මාතෘකා