රිදුම් ගෙනෙන මතක පසුවදන

 ඡායාරූපය:

රිදුම් ගෙනෙන මතක පසුවදන

රටපුරා ඩෙංගු බිය පැතිරෙන කාලයක හැමෝගෙම හදවත් වික්ෂිප්තව තිබෙන මොහොතක අපි හැමෝටම ජීවිත ගැන තිබුණේ අපහැදිලි හැඟීම් සමුදායක්. අපිට ඩෙංගු වැළඳිලා නොතිබුණාට අපේ සමීපතමයෝ කී දෙනෙක් මේ රෝගයෙන් දුක් වින්දද? කී දෙනෙක් අපිව අතැර සදහටම වෙන්වෙලා ගියාද? මේ වගේ හිත නොසන්සුන් පහුගිය කාලේ දවසක මගේ මිතුරෙක් ඇමතුමක් දුන්නා.

‘‘මචං, සමීරගෙ වයිෆ් නැතිවුණා.’’

ඒ වචන ටිකත් එක්ක හිත තිගැස්සෙනවා. තුන් වසරක පේ‍්‍රමය සඵල කර ගත්ත සමීර අලුත් ලෝකයකට ඇයත් එක්ක ගිහින් දැන් වසර එකහමාරක් ඇති. ඒ වගේ මොහොතක මේ අහිමිවීම අපටත් දරා ගන්න අමාරු එකේ සමීර කොහොම නම් දරාගන්නද? ඒත් ඩෙංගු මදුරුවාට මේ දේවල් වැඩක් නැහැ. හීනියට ඇස් තෙත් වෙද්දි මම කඳුළු වැටෙන්න නොදී සුසුමක් විතරක් පිටට පෙන්නුවා.

ගෙදර ආවට පස්සෙ මහ රැයෙත් මේ කැළඹුනු සිතුවිලි එක්ක නින්දත් මාව අතෑරලා දුරක ගිහින් හින්දම යූ ටියුබ් එකට ගියේ හිත නිවාගන්න සින්දුවක් අහන්න. ඒක මගේ පුරුද්දක්. හිතට මහ දුකක් දැනෙන බොහෝමයක් වෙලාවට සින්දුවක් අහලා දුක මඟහැර ගන්න මං පුරුදු වෙලා උන්නා. සනුක වික‍්‍රමසිංහගේ හඬ හෙඩ් සෙට් එකෙන් ගලාගෙන ආවා.

‘‘පෙරවදනක් වී මගේ කතාවට

පටුන ලියන්නට හීන එවා

පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා’’

ගීතය අවසන් වනතුරු විතරක්ම නෙවෙයි ගීතය අවසන් වුණාට පස්සෙත් කියාගන්න බැරි අමුතුම හැඟීමක් හිතේ තෙරපුණා. ගීතය ලිවුව උමා එක්කත් අතීත මතකයන් තිබුණා. ඇය මගේ ජීවිතේ හිටිය ළෙංගතු මිතුරියක්. ඇයට තිබුණේ සංවේදී හදවතක්. ඒ වගේම ඇය මගේ ජීවිතේ බොහෝමයක් කඩා වැටීම් ගැන දැනගෙන හිටිය මිතුරියක්. ඒ වැටීම් බොහෝමයකදී ඇය කිවුවෙම ‘ශක්තිමක් වෙන්න අයියේ’ කියායි. ඇයට තිබුණෙ ඒ වගේ ආදරණීය හිතක්.

‘‘අරුත බිඳී ගිය අන්දරයක රස

කිමැයි කියා නොදැනෙන හින්දා

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ

මෙතෙක් ලියූ කිවිඳියම පතා’’

වතාවක් මං උමාගෙන් මේ ගීතය ගැන ඇහුවාම ඇය ඒ ගැන කියපු කතාව අද වගේ මතකයි.

‘කෙනෙක් ජීවිතේට ළං වුණාම අපි අපේ ආදර කතාවේ පෙරවදන ලියන්න ගන්නවා. පටුනෙ තියෙන්නෙ අන්තර්ගතය. ඒ කියන්නෙ අපේ ආදරය ඇතුළෙ අපි දකින හීන ටික. අපි ඒ හැම හීනයක්ම මනසිනුයි කලින්ම දකින්නෙ. අපි එහෙම දැකලා තමයි අපේ කතාව ලියන්නෙ. පසුවදනක් ලියන්න නම් අපි සම්පූර්ණ කතාවම කියවන්න එපැයි. මොකද කතාවක් සම්පූර්ණ නැතිව අපිට පසුවදන් ලියන්න බැහැ. ඒ අතින් ගත්තම අහිමි ආදරේ කියන්නෙත් අසම්පූර්ණ පොතක් නේද කියන එක මට හිතුණා. ඒ නිසා ඒ හැඟීමම මං ගීතයට ගත්තා.’’ ඇය කිවුවේ එහෙම.

‘‘පැතූ කතාවේ නිමක් දකින්නට

උපන් බවේ පින මදි හින්දා

බලා හිඳිමි මතු භවයක හෝ

පසුවදන ලියන්නට එතැයි කියා’’

උමාගෙ වචන අස්සෙ මට ආයෙම සනුකෙගේ හඬ ඇහෙන්න ගන්නවා. සමහර වෙලාවට අපි හැමෝගෙම ජීවිතවල මේ වගේ අහිමි ආදර කතන්දර තියෙන බව අපි හැමෝම දන්නවා. සමහර වෙලාවට ඒ වගේ පරණ තුවාල අපි හදවතේ තියාගෙන ඉන්නෙ ඒ තුවාලවල කැළල්වලටත් යටි හිතින් ආදරේ කරන ගමන්මයි. ඒ ඇයි කියලා කාගෙන් හෝ ඇහුවොත් දෙන්න උත්තරයක් නැහැ. ඒත් අපි ඒ තුවාල හරි ආදරෙන් වැළඳගෙන අත්හැර ගිය අය ආයෙමත් පසුවදන් ලියන්න එනතුරු බලන් ඉන්නවා.

මමත් පසුවදනක් ලියන්න ඇය එනතුරු එහෙම බලන් ඉන්න කෙනෙක් හින්දාම මන්දා උමාගේ වචන සනුකගේ හඬ එක්ක මොහොතකට ආයෙම තනි වෙනවා.

[ගයාන් අබේසිංහ]

මාතෘකා