බය පරදමු

 ඡායාරූපය:

බය පරදමු

පාස්කු ඉරිදා සිදුවූ මහා ඛේදවාචකය කාගේත් සිත් මත වේදනාව, බිය තැවරූ බව රහසක් නොවේ. ආරක්ෂාව ගැන අලුතින් හිතන්න සිදුවූ තත්ත්වයක් තුළ බොහෝ මවුපියන්ගේ හිත්වලට වද දුන් විශාලතම ගැටලුව ඇති වූයේ පාසල් යන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනි. පසුගිය 6 වැනිදා, 6 වසර සිට ඉහළ ‍ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් විවෘත වූ අතර මේ සතියේදී සියලු පාසල් විවෘත වීමට නියමිත බව මේ සටහන ලියන මොහොතේ වාර්තා විය.

කෙසේ වෙතත් පවතින වාතාවරණය තුළ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දරුවන්, මවුපියන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාගේම සිත් තුළ යම් අවිනිශ්චිත භාවයක් තිබීම අරුමයක් නොවේ. එහෙත් පවතින තත්ත්වයට මුහුණ දීමට අප කාටත් සිදුව තිබේ. විශේෂයෙන් ඔබ මවක නම් ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම වැදගත් වනවා සේම දරුවන්ද ඒ පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත්.

ඔබට මතක ඇති අප පාසල් යන කාලයේද බෝම්බ ගැන විශාල බියක් සහ රට පුරාම අනාරක්ෂිත තත්ත්වයක් තිබුණු බව. ඒ කාලයේ පාසල් දරුවන් ලෙස අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවර මොනවාද කියා මතක් කිරීමක් කිරීමට අදහස් කළෙමු. එදා අපි අනුගමනය කළ ඇතැම් ආරක්ෂිත ක්‍රියාමාර්ග අද තිබෙන තත්ත්වයත් සමඟ සියයට සියයක් ගැළපෙන්නේ නැති වුවද ඒ ක්‍රියාදාමයන් අදට ගැළපෙන ලෙස තරමක් වෙනස් කර ගත්තාට පාඩුවක් හෝ අයහපතක් සිදු නොවන බව මගේ විශ්වාසයයි.

එම නිසා දරුවන් පාසලට යැවීමට පෙර මවුපියන් ලෙස රටේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ දරුවන්ට පහදා දීම වැදගත්. එමෙන්ම හදිසි අවස්ථාවකදී හැසිරිය යුතු ආකාරය ගැන ඔවුන් දැනුවත් කිරීම, මවුපියන් සහ බාරකරුවන්ගේ නම්, ඔවුන්ගේ නිවසේ ලිපිනය හා රාජකාරි ස්ථානයේ ලිපිනය, දුරකථන අංක ආදී දේ පැහැලිදිව සටහන් කළ කොළයක් හෝ කාඩ් පතක් දරුවා සන්තකයේ තැබීම සුදුසුය. වයසින් වැඩි දරුවන්ට නම් මේවා මතක තබා ගන්නට සැලැස්වීම උචිතය.

එසේම දරුවා ඇසුරු කරන සමීප මිතුරන් සහ ඔවුන්ගේ මවුපියන් පිළිබඳ දැනුවත් වී සිටීම, එදිනෙදා පාසලේදී සිදුවූ සිද්ධීන් සහ යහළුවන් ගැන සාකච්චා කිරීම (මෙමඟින් අනවශ්‍ය දේවල් දරුවන්ගේ මනසට ඇතුළු වීම යම්කිසි තරමකට වළක්වා ගත හැකිය), දරුවන්ගේ උපකාරක පන්ති සහ වේලාවන් පිළිබඳ දැනුවත් වී සිටීම, නියමිත වෙලාවට දරුවන් පාසලට ගියේදැයි සහ නිවසට පැමිණියේදැයි විමසිල්ලෙන් සිටීමද අවශ්‍ය වේ. එමෙන්ම පන්ති බාර ගුරුවරයාගේ, ආරක්ෂක අංශයේ සහ දරුවා පාසල් යන පාසල් සේවා වාහනයේ රියැදුරුගේ දුරකථන අංක නිතරම ළඟ තබා ගැනීම වැදගත්ය.

දරුවා පාසලට යන්නේ පොදු ප්‍රවාහන මාධ්‍යයක නම් කිසිදු නන්නාදුනන අයකු සමඟ කතාබහට නොයෑමට, තමන්ගේ පාසල ගැන, තමා ගැන හෝ තම පවුලේ විස්තර නොදන්නා අයට පැවසීම හෝ එවැනි දේ බස් රථ සහ කෝච්චිවලදී තම යහළුවන් සමඟ හෝ කතා නොකිරීමට දරුවන්ට උපදෙස් ලබා දීමට කටයුතු කළ යුතුය. එමෙන්ම නාඳුනන කිසිදු අයකු දෙන කිසිම දෙයක් නොගැනීම (විශේෂයෙන් දරුවන් සෙල්ලම් බඩු, පාසල් උපකරණ, ජංගම දුරකථන හෝ වෙනත් ඕනෑම පාර්සලයක්), කිසිම කෙනකු කෑමට දෙන කිසිදු දෙයක් නොගැනීම සහ නොකෑම (ටොෆි, චොක්ලට්, බූන්දි, බීම වර්ග, අයිස්ක්‍රීම් ආදී ඕනෑම දෙයක්), පිටේ එල්ලාගෙන යන බෑග් රැගෙන නොයෑම (දරුවන්ට නොදැනෙන්නට ඒවා තුළට යම් යම් දේවල් දැමිය හැකි නිසා), පොත් අතේ හෝ විනිවිද පෙනෙන බෑග්වල දමාගෙන යෑම. (පොත් අතේ ගෙනයාම අසීරු බැවින් පොත් සියල්ල සාමාන්‍ය ග්‍රොසරි බෑගයක දමාගෙන ගොස් පාසලට ඇතුළුවීමට පෙර පොත් සහ අවශ්‍ය ද්‍රව්‍ය අතට ගෙන බෑගය හිස්කර තැබීම (එවිට පාසලේ ගේට්ටුව අසලදී දරුවන් ඇතුළු කර ගැනීමට පෙර කරන පරීක්ෂා කිරීම්වලට පහසුවකි), අයිතිකරුවකු නොමැති පාර්සලයක් හෝ වෙනත් යමක් දුටු සැණින් තමන් ළඟම සිටින වැඩිහිටියන් දැනුවත් කිරීම, එවැනි දෙයක් දුටු සැණින් කිසිම ලෙසකින් ඒවා බලන්නට, අල්ලන්නට නොයෑම හා ඒ ස්ථානවලින් වහාම ඉවත් වීම, අනවශ්‍ය ලෙසින් බස් නැවතුම්පොළවල්වල හෝ දුම්රිය ස්ථානවල රැදී නොසිටීම සහ පාසල හෝ උපකාරක පන්තිය අවසන් වූ සැණින් තම නිවසට පැමිණීමට දරුවන්ට අනිවාර්යයෙන් උපදෙස් ලබාදිය යුතුය.

මීට අමතරව ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල තුළදී පහත සඳහන් ක්‍රියාමාර්ග ගත හැකිය.

සියලු දෙනාගේම බෑග් පරීක්ෂා කර පාසලට ඇතුළු කර ගැනීම, පාසල තුළට කිසිදු අනවශ්‍ය දෙයක් රැගෙන ඒමට ඉඩ නොතැබීම, පාසල තුළට පිටස්තර සහ අනවශ්‍ය කිසිම කෙනෙකුට ඇතුළු වීමට ඉඩ නොදීම, සෑම අවස්ථාවකම සෑම පන්තියකම ළමයින් සමඟ ගුරුවරයකු සිටීමට සැලැස්වීම, සිසුන්ට පාසල තුළ පාසල් වෙලාවේදී හෝ පාසලෙන් පෙර සහ පසු නිකරුණේ රැදී සිටීමට අවසර නොදීම, සමහර දරුවන් කතා කරන අසාමාන්‍ය සිද්ධි සහ වචන ගැන විපරමින් සිට ඒ ගැන අවශ්‍ය සොයා බැලීම් සිදු කිරීම, දරුවන්ගේ වෙනස්කම් වහා හඳුනාගෙන ක්‍රියාත්මක වීම, යම් කිසි හදිසි අවස්ථාවකදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ පියවරෙන් පියවර සිසුන් දැනුවත් කර තිබීම, මෙවැනි වැරදි ක්‍රියා ගැන සහ ඒවායින් ඇතිවන බලපෑම ගැන දරුවන්ට පැහැදිලි කරදීම (එමඟින් අනාගතය හෝ මෙතරම් දරුණු නොවී තබා ගැනීමට හැකි වේ.) සහ පාසල තුළ දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් ලෙස තබා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ “අවධානමට පෙර සූදානම හොඳ ” බැවින් එය සිතේ තබාගෙන කටයුතු කිරීම සුදුසු බවයි.

ප්‍රවීණ වෘත්තීය උපදේශිකා [ගංගා නානායක්කාර]

මාතෘකා