මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ අවසන් ඉල්ලීම

 ඡායාරූපය:

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ අවසන් ඉල්ලීම

මහා ඇලෙක්සැන්ඩර් රජු එසේත් නැතිනම් මැසිඩෝනියාවේ තෙවැනි ඇලෙක්සැන්ඩර් රජු ලෝක ඉතිහාසය තුළ සිය නාමය නොමැකෙන ලෙස සටහන් කළ රජ කෙනෙකි. ඔහු උතුරු ග්‍රීසියේ සිට ඉන්දියාවේ පංජාබය දක්වා මහද්වීප තුනක් ආවරණය වන පරිදි විශාල අධිරාජ්‍යයක් ගොඩනැඟු අසමසම පාලකයෙක් විය. තිස්තුන් වසරක කෙටි ජීවිතය තුළ ඔහුගේ ජයග්‍රහණ, කියුම් කෙරුම් මෙන්ම අවසන් ඉල්ලීම්ද සුවිශේෂය. මේ සටහන ලියවෙන්නේ ඔහුගේ පුදුමාකාර අවසන් ඉල්ලීම් තුන අරබයා වුවත් එයට පළමුවෙන් ඇලෙක්සැන්ඩර් රජු මෙතරම් සුවිශේෂ වන්නේ ඇයිද යන්න පිළිබඳවද සඳහන් කළ යුතුය.

ඇලෙක්සැන්ඩර් කුමරා උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 356දී මැසිඩෝනියාවේදිය. එය උතුරු ග්‍රීසියේ පිහිටි කුඩා නගර රාජ්‍යයකි. ඔහුගේ පියා මැසිඩොනියාවේ රජ කළ දෙවැනි පිලිප් රජු වන අතර මව ඉපිරිස්හි පළමුවන නියෝප්ටලටස් රජුගේ දියණිය වූ ඔලිම්පියාස් කුමරියයි. සිය පුතුව කවදා හෝ මහා අධිරාජ්‍යයකු කිරීම දෙවැනි පිලිප් රජුගේ අභිප්‍රාය විය. ඒ ඉලක්කය කරා යාමට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර සහ පුහුණුව කුඩා කාලයේදීම ඇලෙක්සැන්ඩර් කුමරාට ලබාදීමට පිය රජු පියවර ගත්තේය.

ඇලෙක්සැන්ඩර් කුමරාව 13 වැනි හැවිදිරි වියේදී ලෝකයේ සුප්‍රකට දාර්ශනිකයකු වන ඇරිස්ටෝටල් පඬිවරයා වෙත ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම සඳහා යොමුකරන ලදී. කුමරු ඔහුගෙන් නාට්‍ය කලාව, කාව්‍ය ශාස්ත්‍රය, රාජ්‍ය පාලනය, දර්ශ‍නය, තර්ක ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාව වැනි විෂයන් ප්‍රගුණ කළේය.

ඇලෙක්සැන්ඩර්ට වයස අවුරුදු 16ක් පමණ වන විට පිලිප් රජු බයිසෙන්තියන් රාජ්‍යයන් සමඟ සටනට එළැඹෙන අතර සිය පුතුව සේනාධිනායකයා ලෙස පත්කරගනී. එම සටනේදි තමන්ට පැවැරෙන කාර්යයන් නිසි ලෙස ඉටුකර හමුදාව ජයග්‍රහණ කරා මෙහෙයවීමට ඇලෙක්සැන්ඩර් සිය පියාට සහාය වේ. දෙවැනි පිලිප් රජ ක්‍රි.පු. 336 දී ඝාතනයට ලක්වන අතර ඇලෙක්සැන්ඩර් මැසිඩෝනියාවේ රජු බවට පත්වේ. ඔහු පළමුවෙන්ම කරන්නේ ග්‍රීසිය තුළවූ කැරළි මර්දනය කර ග්‍රීසිය එක්සේසත් කිරීමයි. අනතුරුව ඇලෙක්සැන්ඩර් පර්සියානු අධිරාජ්‍යය දිනාගැනීමේ අරමුණින් ක්‍රි.පු. 334 දී යුරෝපයත් සුළු ආසියාවත් වෙන්කළ හෙලස්පොන්ට් (වර්තමානයේ ඩාර්ඩනැලිස්) සමුද්‍රිය සන්ධිය තරණය කරයි. ග්‍රීක හා මැසිඩෝනියා භටයන් 35000කින් සහ පන්දහසක අශ්වාරෝහක බලයකින් සමන්විත ඇලෙක්සැන්ඩර්, පර්සියාවේ තුන්වන ඩේරියස් රජු පරාජය කරමින් පර්සියාවේ බලය තහවුරු කරගනී. අනතුරුව මිසරය, බැබිලෝනියාව, මිඩියාව, බැක්ටීරියාව, ඊශ්‍රායලය, සිරියාව, ටජිකිස්ථානය ආදී රටවල් ජයගන්නා ඔහු අවසානයේදි ඉන්දු නදිය තරණය කර පොරස් රජු පරාජය කරමින් ඉන්දියාවේ පංජාබය දක්වා සිය අධිරාජ්‍යය පුඵල් කරගනී.

තවදුරටත් සිය අධිරාජ්‍යය විශාල කරගැනීම ඇලෙක්සැන්ඩර්ගේ අරමුණ වුවද අට වසක් මුඵල්ලේ සැතපුම් 18,000ක් ගමන් කර තිබූ සේනාවන්ට තවදුරටත් යුද්ධ කිරීමට තරම් ශක්තියක් නොතිබිණි. ඒ නිසා අකමැත්තෙන් වුවත් ආපසු හැරීමට ඇලෙක්සැන්ඩර්ට සිදුවේ.

ඇලෙක්සැන්ඩර්ට බිරියන් තිදෙනෙක් සිටියෝය. ඒ රොක්සානා, දෙවැනි සැටේරියා සහ පැරිසටිස් යන කුමරියන්ය. එමෙන්ම ඔහුගේ කුඩා අවදියේ සිටම මිතුරකු වූ පසුව හමුදාවේ දෙවැනියා වූ හෙපයිස්ටියන් සමඟද සමීප සම්බන්ධතාවක් තිබූ බව පැවසේ.

නැවත මැසිඩෝනියාවට යන ගමනේ දී ඔවුහු බැබිලෝනියාවේ නතර වෙති. එහිදී ඔහු සමීපතම මිතුරකු‌ගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වේ. රැය පුරා විනෝද වී නින්දට යන ඔහු පසුදා අවදිවන්නේ ඉමහත් අපහසුතාවයෙනි. ඉදිරි දින දහ තුනක කාලය තුළ ශරීර උෂ්ණත්වය වැඩිවි ඔහුගේ ශරිරය දැඩි ලෙස දුර්වල වේ. මේ වනවිට තම අවසානය ළඟාවී ඇති බව ඇලෙක්සැන්ඩර්ට වැටහේ. මියයෑමට පෙර තම මව දැකගැනිමට වුවමනා වුවත් දැන් එතරම් දුර ගමන් කිරීමට ශක්තියක් නොමැති බව ඔහුට අවබෝධ වේ.

සෙන්පතියන් සමීපයට කැඳවන ඇලෙක්සැන්ඩර් සිය අවසාන ඉල්ලීම් තුන දැනුම්දී එම ඉල්ලීම් සිදුකිරීමට හේතු වූ කරුණු පැහැදිලි කරයි.

ඔහුගේ පළමු ඉල්ලීම වූයේ සිය දේහය වෛද්‍යවරුන් විසින් ඔසවාගෙන යා යුතු බවයි. ඔහු එසේ පැවසුවේ ලෝකයේ දක්ෂතම වෛද්‍යවරුන්ටත් ඔහුව මරණයෙන් ගලවා ගත නොහැකි වූ බව පෙන්වීමටයි.

දෙවැනි ඉල්ලීම වූයේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය දේහය ගෙන යන මඟ දිගේ විසුරවන්න යන්නයි. ඉන් ඔහු අදහස් කළේ ජීවිත කාලය පුරා ධනය ඉපැයීමට වෙහෙසුණත් ඒවා කිසිවක් රැගෙන යන නොයන බ‍ව ලෝකයට පැවසීමයි. ධනය ඉපැයීමට ආශාවෙන් සිටීන විට කාලය, ශක්තිය සහ මනසේ සාමය නැතිවන බව ඔහුට පෙන්වා දීමට අවශ්‍ය විය.

තෙවැනි ඉල්ලීම වූයේ තම දෑත් දෙන මතින් පහළට එල්ලා වැටෙන සේ තබන ලෙසයි. හිස් අතින්ම මෙලොවට පැමිණි ඔහු හිස් අතින්ම ආපසු යන බව එයින් අදහස් විය.

ඇලෙක්සැන්ඩර්ගේ මරණයට හේතුව පිළිබඳ විවිධ මත පළවී ඇත. එයට හේතුව මැලේරියාව, උණ සන්නිපාතය, මත්පැන් විෂ වීම බවට සැකකළ අතර ඇතැම් තැන්වල සඳහන් වන්නේ වස දීමෙන් ඔහු මිය ගිය බවයි.

මහා ඇලෙක්සැන්ඩර් රජු මිය යනවිට ඔහුට තම පියාගෙන් හිමිවූ භුමිය මෙන් පනස් ගුණයක භුමියක් හිමිව තිබුණේය.‍ ඔහු වසර 13ක් තුළ සැතපුම් දහස් ගණනක් සිය හමුදාව මෙහෙයවමින් නව නගර 70ක් බිහි කරමින් වර්ග සැතපුම් මිලියන 2000ක් පුරා පැතිරුණු අධිරාජ්‍යයක් බිහි කළේය. එසේ ලෝකයම දික්විජය කළ නමුත් ඔහුට මරණය දික්විජය කළ හැකිවූයේ නැත. දිනාගත් සියලු දෙය හැර‍යෑමට සිදුවන බව ඔහු අවසන් මොහොතේදී අවබෝධ කරගත්තේය. තමන් වටහා ගත් ඒ සත්‍ය අන් අයටද අවබෝධ කර වීමේ අරමුණින් ඔහු සිය අවසන් ඉල්ලීම් තුන එසේ සිදුකළා විය හැක.

මාතෘකා