සසල සිත

 ඡායාරූපය:

සසල සිත

වසමේ දත්ත එකතුව යාවත්කාලීන කරමින් සිටි මසිත නොයෙක් සිතුවිලි අරක්ගෙන පැවතුණා. පළවෙනි කාරණය මේ දිනවල ගිනිගෙන තිබෙන ත්‍රස්ත බිය. ඇත්තටම අද පුතා පාසල් යවන්න ඕන දවසක්. පුතාත් පාසල් යන්න ආසයි. ඒත් මං කොහොමද පුතා පාසලට යවන්න සිත හදාගන්නේ? මොහොතින් මොහොත කලඑළි දකින්නේ සිත සසල කරන ප්‍රවෘත්ති විතරයි. කිසිවක් මට සිතාගන්න බෑ.

“මිස්, වැඩකද?”

පවුල් සෞඛ්‍ය නිලධාරිතුමිය මගේ කාමරයට එබිකන් පෑවේ මම කල්පනා ලෝකයේ සැරිසරන අතර. ඈත් ඇවිත් තිබුණේ රටේ තත්ත්වය සාකච්ඡා කරන්න. ඒත් මට එවැනි සාකච්ඡාවකට සිහි එළවාගන්න බෑ. මේ සිද්ධ වන දේවල් වචනයෙන් වර නඟන්න බැහැ. ඊට වචනයේ බලය අහිමි වෙලා.

“මිස්, මං පොඩ්ඩක් එළියට යන්න කියල.” සාකච්ඡාවට මා රුචි නොවන බව දැනුණු මගේ හිතවතිය අවසානයේ කියා සිටියා.

“අද කොහෙද සංචාරය?” මම විමසුවා.

“එක්සත් මාවත කෙළවරේ ගෙදර ඉන්න අලුත උපන් බබා බලන්න. ඒ බබාගේ තාත්තා පොල් ගහකින් වැටිලා ළඟදි නැති වුණු නිමල්. මිස් දන්නවාත් ඇති.”

සෞඛ්‍ය නිලධාරිතුමිය පැවසූ කෙනා මට මතකයට නැඟුණා. ඇත්තටම මගේ මතකය ඒ සමඟ ඈතට දිවගියා. නිමල් පොල් කැඩීම පමණක් නෙවෙයි, ගස් නැඟ අතු කැපීම ආදියත් කළ කෙනෙක්. ඔහුගේ මරණ කටයුතු සිදු වූ දිනයේ එහි රැස් වූ සියලු දෙනා නිමල්ගේ බිරිඳ දැක කම්පා වුණා. ඒ වන විටත් ඇයට දරුවා ලැබෙන්න මාස දෙක තුනකට වඩා කාලයක් නොවූ බව මතකයි. පවුල් සෞඛ්‍ය නිලධාරිතුමිය ඇගේ දරුවා බලන්න යන බව ඇසූ මටත් ඇති වු‍ණේ එහි යන්න. එකක් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය විමසා බැලීම මගේත් රාජකාරියේ කොටසක් නිසා. අනෙක මේ විපිළිසර මනෝ ව්‍රතයෙන් මිදෙන්න මට ඕන වුණා.

“මටත් ඒ ගෙදරට යන්න ඕන. මිස් යනවා නම් මමත් එන්නම්.”

“එහෙනම් අපි දැන්ම යමු.”

අප දෙදෙනාම එකට කාර්යාලයෙන් බැහැර වුණා. සැර අව් රශ්මිය තවමත් දවස තරුණ බව කියාපානවා.

“අපි වෙල පැත්තෙන් යමුද?”

පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ගමේම ඇවිදින කෙනෙක්. ඒ නිසා මට වඩා පරිසරය ගැන දන්නවා.

“ඔව්. ඒ පැත්ත හරි ලස්සනයි නේද!”

“මම කොහොමත් වෙල්එළියේ ඇවිදින්න ආසයි. වෙල්එළියෙන් එන සීතල සුළඟ අව් රශ්මිය තුනී කරනවා. ඇළ වේලි උඩින් පැන යන පොඩි දරුවන් දකිද්දි මටත් එහෙම යන්න ඇත්නම් කියල හුඟක් වෙලාවට හිතෙනවා.”

ඇත්තටම මේ දැනුත් පොඩි දරුවො ටිකක් ඇළ වේල්ල දිගේ දුවනවා. ළමා වියේ සුන්දරත්වය කොච්චර ලස්සනද? වගකීම් විරහිතව හිතූමනාපෙට ඕනම දෙයක් කිරීමේ වර පත්‍රය ඇත්තේ ළමා වියේ පමණක් නේද?

“අර ඇළවේල්ලෙන් ගියාම නිමල්ගේ ගෙදරට ළඟයි.”

කතාවෙන් කතාව අපි නිමල්ගේ ගේ ළඟටම ඇවිත්. ගෙමිදුලේ පොඩි රෙදි කෑලි ටිකක් වනලා. කුඩා දරුවෙකු සිටී නම් නිවසක දිස් වන සාමකාමී ස්වභාවය නිමල්ගේ ගෙදරිනුත් මට පෙනුණා. මිදුලට ගොඩ වදිනකොටම මා දුටුවේ වයසක අම්මා කෙනෙක් මිදුලේ ඇති මුට්ටියකට වතුර දමා ළිප පත්තු කරනවා. නිවසට අප ආ බව දැක ඈ වහා ඉඟ කෙළින් කළා.

“ආ... මේ නෝනලනේ.” ඈ හඳුනාගත්තේ මා නොව පවුල් සෞඛ්‍ය නිලධාරිතුමිය.

“නෝනලා ඉඳගන්නකෝ. මම කෙල්ලට එන්න කියන්නම්.”

ඈ ඇතුළට ගිය පසු අප දෙදෙනා සාලයේ පුටු දෙකකට බර වුණා. ඒ එක්කම නිමල්ගේ බිරිඳ සෙමෙන් ඉදිරියට ඇවිද ආවා. ඈ තවමත් විළිරුදාවේ හා දරු ප්‍රසූතියේ අපහසුතාව ප්‍රදර්ශනය කරනවා.

“මිස් මම පෙරේදා ගෙදර ආවේ. මට පුතෙක් හම්බ වුණා.”

මොහොතකින් ඈ දෙනෙතට කඳුළු නැඟුණා. ඇයට නිමල් මතක් වෙන්න ඇති. නැත්නම් අප ඈ ගැන සොයා බැලීම ඇයට සහනයක් ගෙන දෙන්න ඇති.

“ඔයාලට මොනවත් රජයේ දීමනාවක් ලැබෙනවාද?”

මම නිහැඬියාව බිඳ හෙළුවා.

“එහෙම මොකුත් ලැබෙන්නේ නැහැ මිස්. නිමල් හම්බ කරපු දේයි මම මැහුම් මහලා උපයාගත්තු සල්ලියි නිසා අපේ ජීවිත රැකුණේ. දැන් ඉතින් කාගේ පිහිටක්ද මන්ද?”

අනතුරුව දරුවා බලන්න අප මවගේ කාමරය තුළට ගියා. ලේ කිරිකැටියා සැපට නිදි. මම පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියගේ කටයුතුවලට බාධා කරන්න හිතුවේ නෑ. මං ගෙමිදුලට පැමිණියා. මිදුලේ දැවැන්ත සියඹලා ගසේ කොහෙක් හඬ ගානවා. අවුරුදු අවසන් වුණත් කොහා ගමෙන් පිට වෙලා නෑ. ගෙමිදුලේ කෙළවර වෙල දිහාවේ පිටවාන ළඟටම ඇවිද ගිය මට ඈත ඇළ කණ්ඩිය මත සිටි ළමයි කැළ පෙනෙන්න වුණා. ඔවුන් තවමත් කෑකෝ ගසමින් කෙළි සෙල්ලමේ. මට අනාගතය ගැන බයක් දැනුණා. එක් පසෙකින් දරිද්‍රතාව මිනිසුන් පෙළද්දි අනෙක් පසින් ලෝකය ත්‍රස්ත තිප්පොළක් වී ඇද්ද? එසේ වුවහොත් පාසල් යන මගේ පුතාගේ පමණක් නොව නිමල්ගේ මේ කිරිකැටියාගේත් ජීවිතය කෙතරම් බිහිසුණු වේද? පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ කටයුතු අවසන් නැති නිසා මම සියඹලා ගස පාමුල වූ කොට කෑල්ලක වාඩි වූවා. කොහාගේ මියුරු හඬ තවමත් ඇසෙනවා. මම දෑස් පියා ගත්තා. එවිට මා සවනත වැකුණේ ඈත මහපාරේ තරග වදින රථවාහන ඝෝෂාව සහ මිනිසුන්ගේ උස්පහත් වන හඬවල්. මොහොතකින් ඒ හඬ මා තුළට වැදුණේ මහා විලාපයක් විදියට.

මාතෘකා