නොකා නොබී පුලුවනෑ ඉතිං

 ඡායාරූපය:

නොකා නොබී පුලුවනෑ ඉතිං

 

හරියට දෙයක් උයාන කන්ඩ හිත එකලාසයක් තියෙන්ඩ ඔනැන්නෙ නැද්ද ආයිබෝං. පහුණු දොහක උදය කලුපතිරණ උන්නැහේ මා එක්ක කියාලා විස්සෝප වෙනවා මීගොමුවෙ මරා දැමිච්ච ක්‍රිස්තියානි මනුස්සයො ගැන. ඒ ඇත්තො කාටවත් බරක් පතලක් වෙන්නෙ නැතුං හරිම විනෝදෙට සාරෙට කාල බීලා තමුන්නෙ පාඩුවෙ හිටපු දේව දරුවො වෙච්චිකොට අර අමනුස්සයො කෙරුවෙ සමනලුන්ට වෙඩි තබාපු එක කියාලා.

අනිවාරෙම්ම ඔය අනිවාරතේ මරා දමාපු ඇත්තො එදා පල්ලි යන්ඩ ඇත්තෙත් ගෙවල්වල මහා මගුලකට වායෙ කැම බීම පුරවලා එකලාසයක් කරලා තමයි. මොකදෑ අපි නොදන්නවායැ නත්තලට පාස්කුවට ඔයි ඇත්තො කන බොන විදිය. මං ඔය දෙහිඅත්තකණ්ඩියෙ මහවැලි මාතා පල්ලියට ගියාම සෑම් පාදලි උන්නාන්සෙ බලන්ඩ එහෙම් මෙහෙම් ඇදලා කාරිය පලංගානකට බෙදලා දෙනවා හලාවතෙන් මීගොමුවෙන් මොරටුවෙන් ආපු වන්දනා කාර නඩ උන්නාන්සෙට දීලා ගියපු කෑම් පීම් හෙම. දහ දොළොස් අවුරුද්දකට ඉස්සර බණ්ඩාරවෙල මීසම භාරව හිටියා පාදිලි උන්නාන්සෙ කෙනෙක් ඕං නම මාෂල් රාජනායගම්. එක නත්තලක අපිට කෑම වේලක් දුන්නෙ බඩ හෑල්ලුවෙන්ඩ කියලා බොන්ඩ රතු වයින් බෝතලේකුත් එක්ක. ඇයි ඒ කාලෙ මොනරාගල හිටපු ප්‍රියලාල් කුරේ පියතුමත් කොහොමට අමතක කරන්ඩද? ඒ පල්ලියෙත් හිටියා මයෙ හිතේ හොඳ කෝකි උන්දෙක්. ඉතිං එහෙමට කාපු බීපු මිනිස්සු තමයි තාම කඳුළු බොන්නෙ.

අපේ පත්තර යාළුවා ප්‍රසාද් පූර්ණමාල් ගොයියා හලාවත පැත්තෙනේ ලියනකොට පුත්තලමේ කියාලා ලිව්වට. එතිං උන්දැත් පල්ලි යන කන බොන මිනිහෙක් හින්දා අර ලක්ෂාන් ඩයස් පෙරකදෝරු මහත්තයා වාගෙම මොනවට දන්නවා කුරුසෙ හෙවණෙ ඉන්න මිනිස්සු කනබොන විදිය. ප්‍රසාද්ම කියන විදියට බාගෙදා තමුන්නෙ පාඩුවේ බීලා පැත්තකට වෙලා කපිරිඤ්ඤයක් කියාගෙන තාලෙ අල්ලන්ඩ පුළුවන් වෙන්ඩ හිතාලා මල් පැණි වඩියක් දෙකකුත් ලෑස්ති කරගෙන හිටපු විනෝදකාර අහිංසකයොත් යාතිකා මැද්දෙම අන්තිම ගමන යන්ඩ ඇති.

දැන් අර ලියාගෙන ආපු තවම ඉවර නොකරපු කොළ මැල්ලුම් කතාව එහෙමම තිබෙද්දි මං ඔය මුලපිරිල්ල කිව්වෙ මේ ආසනාසි ඔක්කොම නොපෙනෙන සැපක් පතාගෙන කොරපු වනචරකම් හින්දනේ කියලා හිතලා. මේ බඹයක් විතර ශරීර කූඩුව ඇතුළෙ ඔය ඔක්කොම සැප තියෙද්දි කාල බීලා ඉන්නෙ නැතුං අහවල් කාරියකට මරාගෙන මැරෙනවද මන්දා. එක්කො මැරියල්ලා පාළු කනත්තකට ගෙහුං තමුන්නෙ පාඩුවේ කාලා බීලා සංතෝෂෙ ඉන්න උන් මරන්නෙ නැතුව. තමුන්නැහේලාට කියන්ඩ මං මේ අපේ ක්‍රිස්තියානි උන්දැලා ගැන කියාන ඇවිල්ලා ඒ කෑම්පීම් වල උජාරුවෙන් වර්ණනා කරන්ඩ පුළුවන් ඌරු මාලු ඉවිලි, කළුකුම් මස්, ලිංගුස් වාගෙ ජාති ගැනත් කායෙන් හරි අහලා කියන්ඩ හිටියෙ. අර ලක්ෂාන් උන්නැහේ මට මොරටු එන්ඩ කිව්වෙ කන බොන ගමන් එව්වා ගැන කතා කරන්ඩ තමයි. ඒත් ඉතිං දැන් මේ දවස්වල හිතට හරි මොකක්ද වගේ.

කොහොමවෙතත් දවස්දෙක තුනකට උඩිස්සෙ ඌරුමස් පැහියක් සුදු බතක් එක්ක කොටබාලා ඉන්න මං ඒ ගැන නොකියා ඉන්නෙ මොකටද? ඔය මස් මාළු නොකන පලාපෙත්තන්ට අමනාප වෙන්ඩ කාරි නෑ. අපි ඉතිං කොයි දේත් කනබොන බහුත්වවාදියොනෙ. මං නම් කෙරුවෙ මෙහෙමයි. මේ ලිවිලිවල කියන එව්වා හොයාගන්ඩ අමාරුයි ලසා කියලා නොක්කාඩු කියාපු අමන්ත පෙරේරටත් ඕං මේක උයාගත්තැකි. ඌරු මස් කිලෝ භාගයකට වැඩිය තියෙන්ඩ ඕන කටු නැති වෙන්ඩ. ඊටපස්සෙ ඉතිං කෑලි කපාගන්නවා ඒකගෙ තෙල් පිරිච්ච හම් කෑලි වෙනම වෙන්ඩ. දැන් එව්වා සෝදලා කරලා කාරිය පැත්තක තියලා තක්කාලි ගෙඩි දෙකක්, මහ ලූනු ගෙඩියක් කොටු කපාගන්නවා. ඊටපස්සෙ පුලුවන් මේකට වුවමනා සරක්කු අඩුවැඩිය හදාගන්ඩ. මේං මේවා කුරුඳු, කරඳමුංගු, කරාබුනැටි, සේර ඩිංගක්, උලුහාල්, අමු ඉඟුරු ඇඟිලි පුරුකක් විතර, සුදු ලූනු බික් දෙක තුනක්, කරපිංච හෙම ඇරං කෑලි වෙන්ඩ කොටා ගන්නවා. පුසුඹ දැනෙයි කොටද්දිම. ඔය අතරෙ පොල් අහුරක් විතර ගාලා දුඹුරු වෙන්ඩ බැඳලා කාරිය කුඩු කරලා පැත්තක තියාගන්නවා.

දැන් කරන්නෙ ඇතිලියක් ළිප තියලා අර ඌරු තෙල් කුට්ටි ටික දාලා ගින්දර පදමට දාලා දියවෙන්ඩ දෙන එක. ඕං ඔයිකට තමයි දාන්නෙ අපි හදාගත්ත සරක්කුව. ඒකටම දානවා දිය ලුණු කොටු කපාපු මහ ලූනුයි, තක්කාලියි බැ‍දෙන්ඩ. දැන් දමන්ඩ ඕන මිරිස් තේ හැන්දෙන් පුරවාලා පහක්, තුනපහ ඒකෙම්ම තුනක්, ගම්මිරිස් හැඳි තුනක් ඔයි ඇතිළියටම. ඒවා දුං දාගෙන කළු වෙන්ඩ බැදෙද්දි තේ හැන්දෙන් තුන්කාලක් විතර අඹරගත්ත ගොරකත් එක්කාසු කරනවා. ඕකට වතුර කෝප්පයක් විතර දාලා පැහෙනකම් කාල් ගාලා ඌරුමස් ටික එකතු කරලා වැහෙන්ඩ වතුර දාලා ඇතිළිය පියනකින් වහලා විනාඩි 15ක් විතර උයාගන්නවා මද ගින්දරේ. ළිපෙන් බාන්ඩ කිට්ටුව තමයි අර බැදලා අඹරගත්ත පොල් ටික ඉහලා කාල් ගාන්නෙ. මේක පංකාදුයි සුදු බතට. මං මහේෂ් දොස්තර මහත්තයාට බෙදුවෙ කල්මුණේ බත් හාලෙන් උයාපු සුදු බතක් එක්ක. ඔහොම ඌරු මසක් කනකොට ඉරුං තලප අමතක කරන්ඩ බෑ. අර රත්මල්ගහඇල්ලෙ ලොකු සර්නෙ වේලාපු ඌරුමස් දාපු ආනමක් උයලා දුන්නෙ. ඇයි ඉතිං එහෙව් ඒවා කන්ඩ දුන්න ගල්ගෙඩියාවෙ දිසත් අමතක කෙරුවැකියැ. උණ බම්බුවෙ දාලා ඌරුමස් කාපු කතාවකුත් කියන්නම් ආයෙ දොහක.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා