ස්ටාලින්ගේ දියණිය

ස්ටාලින්ගේ දියණිය

කලක් සෝවියට් දේශයේ අසහාය නායකයා වූ ඔහුට එකළ එහි විසූ මිලියන ගණනක ජනතාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පක්ෂපාතිත්වය දැක්වූහ. එහෙත් තම එකම දියණියගේ පක්ෂපාතිත්වය ලබාගැනීමට නම් මේ අඥාදායකයාට කිසිදිනක හැකි වූයේ නැත. මේ පාලකයා වන්නේ 1924 සිට 1953 දක්වා කාලය තුළ සෝවියට් දේශයේ නායකයා වූ ජෝසප් ස්ටාලින්ය. ඔහුගේ දියණිය වන්නේ ස්වේත්ලානා අලිලුයුයේවාය.

ස්වේත්ලානාගේ මව වන්නේ නදේෂ්දා අලිලුයුයේවාය. ඇය ස්ටාලින්ගේ දෙවැනි බිරිඳයි. ඇය මියයන විට ස්වේත්ලානා සය හැවිදිරි දැරියකි. නදේෂ්දා මියගියේ සිය නිදන කාමරය තුළදිම හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගැනිමෙනි. එහෙත් රජය නිවේදනය කළේ ඇය ඇපෙන්ඩිසයිට්ස් රෝගයෙන් මියගිය බවයි. ස්වේත්ලානාද කලක් යනතුරු එය විශ්වාස කළත් සිය මව පියාගේ මර්දනකාරී ක්‍රියාපාටිපාටියේ තවත් එක් ගොදුරක් වූ බව පසු කාලයේදි වටහා ගත්තාය.

ස්ටාලින් ස්වභාවයෙන්ම රළු පුද්ගලයෙකු වුවත් සිය එකම දියණියට නම් මහත් සෙනෙහසක් දැක්වීය. සිය දියණියට ඔහු ඇමතුවේ මගේ ගේ කිරිල්ලිය, මගේ පුංචි අමුත්තිය වැනි හුරතල් නාමයන්ගෙනි. විවේකයක් ලැබුණු සෑම විටම ස්ටාලින් සිය දියණියව උකුලට ගෙන සෙ‍නෙහස පෑවේය.

එහෙත් ස්වේත්ලානා වැඩිවියට එළඹෙත්ම පියා සහ දියණිය අතර මත ගැටුම් ඇතිවිය. නිදහසේ හිතන්නට පතන්නට කැමති තරුණියක වූ ස්වේත්ලානා 16 හැවිදිරි වියේදී යුදෙව් ජාතික සෝවියට් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ඇලෙක්සෙයි ‌ෙකප්ලර් සමඟ පෙමින් බැඳිණි. ස්ටාලින් මෙම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වූ අතර, ‌ෙකප්ලර්ව දස වසරකට ගුලාග් කඳවුරකට යැවීමට නියෝග කළේය. (ගුලාග් කඳවුරු යනු සෝවියට් පාලන සමයේදී දේශපාලන සිරකරුවන් අපරාධකරුවන් රඳවා තැබූ කඳවුරු විශේෂයකි.)

සිය පෙම්වතාව පිටුවහල් කිරීමෙන් පසු ස්වේත්ලානාට සිය පියාගේ නොපෙණුනු පැත්ත පෙනෙන්නට පටන් ගත්තේය. ඔහුගේ දැඩි රාජ්‍ය පාලන ප්‍රතිපත්ති සහ විරුද්ධවාදීන් දැඩි ලෙස මර්දනය කිරීම නිසා ඇය සිය පියා පිළිබදව කලකිරුණාය. එමෙන්ම සිය පියා නිසා තම සොහොයුරන්ට අත් වූ ඉරණම දැකීමෙන් එම කලකිරීම තවත් වැඩි විය. ඇයගේ වැඩිමහල් සොහොයුරා වන යකොව් දෙවන ලෝක යුද්ධයේදි නාසින්ට හසුවන අතර, විරුද්ධවාදීන් ඔහුව සෝවියට් අත්අඩංගුවේ පසුවන ජර්මන් ජෙනරාල්වරයෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීමට එකඟතාවය පළ කරයි. එහෙත් ස්ටාලින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා යකොව්ට මරණය උරුම විය. එමෙන්ම ඇයගේ අනෙක් සොහොයුරා වන වෙසිලි අධික ලෙස මත්පැන් පානය නිසා 40 වැනි වියේදි මරණයට පත්වේ. ස්fව්ත්ලානා 1953 වසරේදි සිදුවන ස්ටාලින්ගේ මරණයෙන් පසුව සිය පියා සිදුකළ තවත් අපරාධ පිළිබදව දැනගනී.

“මගේ මව අපෙන් වෙන් වූ පසුව පියා සම්පූර්ණයෙන්ම හුදෙකලා විය. 1930 ගණන්වල අවසන් භාගයේදි මෙන්ම 40 දශකයේ ලෝක යුද්ධයෙන් පසු සිදුවු සිදුවීම් අන් සියල්ලටම වඩා ඔහුගේ හුදෙකලා වීම හේතුවෙන් ඇති වූ බව මට හැ‍‍ඟේ. එමෙන්ම කිසිවෙක් ඔහුගේ වැඩ කටයුතු පිළිබදව ඔහු සමඟ තර්ක කිරීමට ගියේද නැත.” ස්වේත්ලානා පැවසුවාය.

සිය ප්‍රථම ප්‍රේමය අහිමි වූ ස්වේත්ලානා පසුව සිව්වරක් විවාහ වූවාය. රුසියන් ජාතිකයින් වන ග්‍රෙග්රි මොරොසව්, යූරි ස්ඩානොව්, ඉවාන් ස්වානිඩ්ස් සහ ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ විලියම් වෙස්ලි පීටර්ස් යන පුද්ගලයන් සමඟ ඇති වූ ඒ සෑම විවාහ බන්ධනයක්ම කෙළවර වූයේ දික්කසාදයන්ගෙනි. එම විවාහයන්ගෙන් ඇයට ජෝෂප් නම් පුතෙකුද, කත්‍යා සහ ඔල්ගා නම් දියණියන් දෙදෙනෙකුද වූහ.

මොස්කව්හි සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දියානු කොමියුනිස්ට්වාදියෙකු වන කුන්වාර් බ්‍රාජේෂ් සිංග් සමඟ ස්වේත්ලානා දැඩිව පෙමින් බැඳෙන මුත් ඔවුන්ට විවාහ වීම සදහා අවසර නොලැබේ. බ්‍රාජේෂ් 1965 වසරේදි ස්වේත්ලානා සමඟ එකට ජිවත් වීම සදහා මොස්කව් වෙත පැමිණෙයි. එහි භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කරන බ්‍රාජේෂ් දිගුකාලීනව පැවති බොන්ක්‍රයිට්ස් රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියයයි. හින්දු චාරිත්‍රානුකුලව ඔහුගේ අළු ගංගා නදියේ පා කිරීම සඳහා ඉන්දියාවට යෑමට ස්වේත්ලානා අවසර ලබා ගනී. නැවත සෝවියට් රුසියාවට නොයෑමට සිතා ගන්නා ඇය ඉන්දියාවේ එක්සත් ජනපද කාර්යාලයට ගොස් දේශපාලන රැකවරණය පතයි. “මට තවදුරටත් වහලෙකු ලෙස ජිවත් විය නොහැක.” ඇය රුසියාවේ වෙසෙන පුතු ඉයෝසිෆ්ට සහ දියණිය කත්යාට ලියුවාය. ඇයට ඇමරිකානු එකසත් ජනපදයේ දේශපාලන රැකවරණය හිමිවන අතර එහි ගොස් ප්‍රසිද්ධියේම සිය සෝවියට් රුසියානු ගමන් බලපත්‍රයද ඉරා දමයි.

ඇමරිකාවේ නිව්යෝර්ක්හි 1967 අප්‍රේල් මස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ඇය සිය පියාගේ පාලනයට හා සෝවියට් රජයට චෝදනා එල්ල කරයි. ඇමරිකාවේදි ඇය සිය මතක සටහන් ලියමින් ලේඛන කලාවට පිවිසේ. ඇයගේ පළමු කෘතිය වන්නේ “Twenty Letters to a Friend” (මිතුරෙකුට ලිපි විස්සක්) කෘතියයි. මීට අමතරව ඇය තවත් කෘති තුනක් රචනා කළාය. බොහෝ අලෙවි වූ එම කෘතිවලින් ඇය ඉහළ ආදායමක් ලැබුවද අක්‍රමවත් මුදල් පරිපාලනය නිසා පසුකාලීනව ආර්ථික දුෂ්කරතාවයකින් යුතුව ජිවත් වීමට සිදුවූ බව පැවසේ. 1982දී ඇය සිය දියණිය ඔල්ගා සමඟ එක්සත් රාජධානිය කරා පිටත්වේ. බටහිර රටවල් සිය කොමියුනිස්ට්වාදයට එරෙහි ව්‍යපාරයන්ට ඇයව භාවිත කරන බව වටහාගත් ස්වේත්ලානා 1984දී නැවත සෝවියට් පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර සිය මවු රටට සංක්‍රමණය වේ. 1984දී ප්‍රකාශයට පත්වූ ඇයගේ තෙවැනි කෘතිය වන “faraway Music” තුළ ගැබ්වන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව සමඟ මතු වූ ගැටලුකාරී තත්ත්වයන්ය.

සිය දරුවන් දෙදෙනා වන ඉයෝසිෆ් සහ කත්‍යා සමඟ එක් වීමේ අරමුණද ඇතිව ඇය නැවත සෝවියට් දේශය කරා යන නමුත් ඔවුන් ඇගේ ඇසුර ප්‍රතික්ෂේප කරයි. ස්වේත්ලානා විප්‍රවාසීව ගත කළ සමය තුළ මව සහ දරුවන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ මාර්ග කේජීබී ඔත්තු සේවය අහුරා තැබූ බවද මෙහිදී සඳහන් කළ යුතුය. ඇය සෝවියට් දේශයේ ජිවත් වන්නේ වසර එකහමාරක් පමණි. නැවත 1986දී ඇමරිකාවට සංක්‍රමණය වන ඇය 2011 වසරේදි මියයන ‌ෙතක් විටින් විට බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකානු එක්සත් ජනපදයේ ජිවත් වූවාය. කෙසේ වෙතත් අවසානය තෙක් ස්වේත්ලානාගේ තනි නොතනියට සිටියේ බාල දියණිය වන ඔල්ගා පමණි.

ලොව සැවොම දන්නා පාලකයෙකුගේ එකම දියණිය ලෙස ඉපදී, ඔහුගේ පාලන තන්ත්‍රයටම එරෙහිව කැරළි ගැසූ, සිව්වරක් විවාහ වී සි‍ව්වරක්ම දික්කසාද වූ, ග්‍රන්ථ රචනයන්ගෙන් ඩොලර් මිලියන ගණනක් උපයා එම මුදල් ක්‍රමවත් ලෙස කළමනාකරණය කිරීමට අපො‍හොසත් වූ, රටකින් රටකට සංක්‍රමණය වෙමින් ජිවත් වූ ස්වේත්ලානාගේ මුළු ජිවිතයම කුතුහලයෙන් පිරි නවකතාවක් වැනිය.

ඇගේ ජිවිත කතාව ඇසුරින් සම්මානනීය ලේඛිකාවක් වන රෝස්මරි සුලියේවන් “Stalin Daughter” නමින් කෘතියක් රචනා කළ අතර එය ඉමහත් පාඨක අවධානයට ලක් විය. ස්වේත්ලානාගේ ජිවිතය පිළිබඳව ලියවුණු මේ ලුහුඬු සටහන ඇයගේ වදනකින්ම අවසන් කරමි.

“කෙදිනක හෝ මා ඔස්‌ට්‍රේලියාවට ගියත්, වෙන කුමන හෝ දූපතකට ගියත් සදාකල්හිම මම, මගේ පියාගේ නමේ දේශපාලන සිරකාරියකි.”

මාතෘකා