ගණදුරු මැදියම අරුණලු දකිමු

 ඡායාරූපය:

ගණදුරු මැදියම අරුණලු දකිමු

 

 

මොහොමඩ් සලීම් නැමැති ජිහාද් ඝාතකයා මිය යෑමට ප්‍රථම තම අවසන් කැමැත්ත මෙසේ ලියා තැබුවේය. "..මම මේ ලියන්නේ පෑනෙහි තීන්තෙන් නොව මගේ දෙඇසින් ගලායන කඳුළිනි. මට මහත් බියක් දැනේ. ඒ මම ගැන නොවෙයි. මට මගේ මෑණියන් ගැන මහත් වේදනාවක් ඇති වෙයි. මෑණියනි, දෙවියන් වහන්සේ සමඟ මා ඒකාත්මික වූවා යන පණිවිඩය අසන මොහොතේදී කම්පා නොවන්න යැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. එම මොහොතේ සතුටට පත්ව හිස ඔසවා අහස දෙස බලන්න. අනේ මගේ මෑණියනි, මිනී වළට වඩා ඔබේ උකුළු තලයේ නැළවුණු කාලය ඉතාම සුවදායක වූ බව මම දනිමි. එහෙත් මේ කතා කර ඇත්තේ දෙවියන් වහන්සේය. අප රට වෙනුවෙන් සටන් කරන ලෙස උන්වහන්සේ මට පවසා ඇත. මම මිය නොගිය බව ඔබට සහතික කොට පවසමි. කෘමි අණ්ඩක් තරම් වත් නොවටිනා ලෝකයෙන් මම දැන් මිදී ඇත්තෙමි. මම දැන් සිටින්නේ සවර්ගයේ ඉහළ තැනකය. එහි ගස්වල රස පලයන් අනුභව කරමින් ධර්මිෂ්ඨ පුද්ගලයින්, අනාගත වක්තෘවරුන් සහ මා මෙන්ම දෙවියන්ගේ කැමැත්ත මත පණ පිදූ අන් වීරයන් සමාගමෙහි වෙසෙමි." ඉස්ලාමීය අන්තවාදය විසින් එහි භක්තිවන්ත තරුණයන්ගේ මොළ සේදීමේ ක්‍රියාවලිය කෙතරම් ප්‍රබලද යන්න මෙම සටහනින් පැහැදිලිවෙයි.

ගෝලීය ඉස්ලාමීය ත්‍රස්තවාදයේ නූතන රැල්ල අවබෝධ කරගැනීමේදී පැහැදිලිවම ඇඟිල්ල දිගු වන්නේ අන්තවාදී ඉස්ලාමීය ධාර්මික ඉගැන්වීමවලටය. එනම් මේ සඳහා තරුණයින් පෙලඹෙන්නේ ඉස්ලාමීය ධර්මය තුළ ඇති, එය තුළ නෛසර්ගිකව ඇති මෙන්ම එමඟින් මතු කරනු ලබන හිංසනය නිසාය. එනම් ඉස්ලාමීය නොවන කොටස් සමඟ නිරන්තරව පැවතිය යුතු ගැටුම වරනඟන ජිහාද්වාදයයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යුදෝන්මාදී මවුලවිවරුන් විසින් මොළ සේදීමට ලක්වූ භක්ති උන්මත්තක තරුණ මහමදිකයන් විසින් කුරානය තුළ මිත්‍යාදෘෂ්ටිකයින් ලෙස හඳුන්වා ඇති ක්‍රිස්තු භක්තිකයන් සහ යුදෙව්වන් මෙන්ම අන් ආගමිකයන් මරාගෙන මැරීම සඳහා මානසිකව සුදානම් කර ඇත.

සැබවින්ම බටහිර සහ බටහිර ගැති රටවල් තුළ ජීවත්වන මිත්‍යාදෘෂ්ටිකයින් අරමුණු කොටගෙන එල්ලකරන ප්‍රහාරයකින් මරුමුවට පත්වීමට ඔවුන්ට මෙතරම් මානසික අභිප්‍රෙරණයක් ලැබී ඇත්තේ තම ආගම විසින් ඔවුන්ගේ ක්‍රියාව සාධාරනීයකරණය කර ඇති නිසාය. අන් ආගම් විසින් හිංසනය, වදහිංසාව, පුද්ගල ඝාතන වැනි සමාජ අපගාමී ක්‍රියා අවැත් වශයෙන් සලකන අතර සහ ශික්ෂාපද වශයෙන් සුරක්ෂා කළද ඉස්ලාමීය ධර්මයෙහි විවිධ කොටස් තුළ හිංසනය වරනගා ඇත්තේ ආත්මවිශෝධන මෙන්ම භක්ති මාර්ගය සඳහා පිය නැඟිය හැකි වතාවතක් ලෙසිනි. මුසල්මානුවන් සටන් කරන්නේ නම්, අල්ලා ඔවුනට පසුබවයේදී මහත් ආශිංසන ලබාදීමට නියමිතය. මෙම ලෞකික පැවැත්ම අල්ලා වෙනුවෙන් පරිත්‍යාග කරන සහ අල්ලා වෙනුවෙන් සටන් කරන හෝ ඒසේ කිරීමේදී ඝාතනය වන හෝ ජය ලබන්න්නට, එවැනි භකිත්වන්තයන්ට මහත් වූ ප්‍රතිඵල අත්වෙනු ඇත (සුරා 4˸74 ශුද්ධ වූ කුරානය) යනුවෙන් කුරානය තුළ සඳහන්ය.

මෙය නොනවතින ඝාතන රැල්ලකි. එකෙකි මිය ගිය පසුව තවකෙකු පෝෂණය වීම සඳහා පසුබිම එමඟින් සකස් කොට ඇත. ෂාහිද් ස්ලෙයිමාන් අල්-නබාහීන් නැමැති ත්‍රස්තවාදීයා තම ප්‍රහාරයට පෙර තැබූ සටහනද මෙම ආගමික අන්තවාදයේ නිස්සාරත්වය සහ අනවරත භාවය අවබෝධ කරගැනීම සඳහා ප්‍රමාණවත්ය. “ඉස්ලාමය නැමැති මහ ගස නිරන්තරයෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් පණ පිදුවන්ගේ රුධිරයෙන් පෝෂණය වෙයි. එම ශාකය අපෙන් පසුව ඒ කරා එන බැතිමතුන්ට සෙවණ දෙයි” යනුවෙන් සටහන්කොට තිබිණි. ඔහු වක්‍රකාරව අන් මුසල්මානුවන්ටද ජිහාදය වෙත පැමිණෙන ලෙස ආරාධානා කරයි. එමෙන්ම අප කඳුගණනින් දෙවි පුදා හෝ ජිහාදය ගොඩනැඟිය යුතුය. එම ජිහාදය ගොඩනැගීමේ වගකීමෙන් වැඩි කොටසක් මුස්ලිම් තරුණයින් මත පැටවී ඇත. ඔවුන් ජය ගත් දිනයේ ඔවුන්ගේ ධජය ඉහළින් ලෙළ දෙනු ඇත. එහි 'අල්ලාහ් හැර අන් දෙවියෙකු නැත, මුමහ්මද් යනු උන්වහන්සේගේ අතරමැදියාය' යන පාඨය ලියැවී ඇත" යනුවෙන් අන්වාදී ඉගැන්වීම තුළ සඳහන්ය.

එහෙත් මෙවන් මොහොතක වඩා ශිෂ්ට සභ්‍යත්වයකින් සහ ආගමකින් ශික්ෂණය ලැබූ පිරිසක් වශයෙන් ජාතිකත්වය පිළිබඳ කතිකාවටද අප විසින් වඩා වැඩි ඉඩක් ලබාදිය යුතුය. ජාතිකත්වය යනු විවිධ ආගම් සහ වාර්ගික කණ්ඩායම් තුළ පවතින ගතිකයන් නොතකා ඔවුන් වෙසෙන භූමිය පිළිබඳ පොදුවේ බෙදාහදාගත් සංස්කෘතික, භාෂාමය අත්දැකීමයි. එනම් මෙවන් අභාග්‍යසම්පන්න මොහොතකදී යම් භූගෝලීය සීමාවක් තුළ එකට වෙසෙන ප්‍රජාවක් එක් හැඟීමකින් එකට බැඳෙන මොහොතකදි, එනම් ඇතැම්විට එකනෙකා කවදාවත් මුණගැසී නොමැතිවුවද, පෞද්ගලික මට්ටමින් නොහඳුනන්නේ වුවද සියලු දෙනාම සමඟම ප්‍රබන්ධමය ඥාතිත්වයක් ගොඩ නඟා ගැනීමට ඇති හැකියාව එමඟින් ලබාදෙයි. එනම් යම් සමාජීය අර්බුද සහගත තත්ත්වයකදී එකිනෙකා මත ඇතිවන ඒ සහානුකම්පනමය හැඟීම සැබෑ ජාතිකත්වමය හැඟීමක් ලෙස සැලකිය හැකිය. කටුවපිටිය හෝ කොච්චිකඩේ මෙන්ම හෝටල් සංකීර්ණවල මිය ගිය උතුම් මිනිසුන්ගේ දිවිපිදීම සඳහා වටිනාකමක් ලබා දිය හැකි වන්නේ අප විසින් ඒ ජාතිකමය හැඟීම තවතවත් වර්ධනය කිරීම මඟිනි. අප රටක් වශයෙන් මෙවැනි අඳුරු අර්බුදසහගත තත්ත්වයන් තුළ දකින රීදී රේඛාවද එයම වන අතර, එම සහජීවන හැඟීම නඩත්තු කිරීම හරහා මෙවැනි ආගමික උන්මාදවලින් නොව අන් කිසිදු අයුරකින් මෙරට භීෂණයට පත් නොවී රටක් වශයෙන් අප තවදුරටත් සුරක්ෂිත වනු ඇත.

[දිනේෂ් දේවගේ]

මාතෘකා