කළු අකුරුවලට වසරයි, ලත් දෑ බොහොමයි

 ඡායාරූපය:

කළු අකුරුවලට වසරයි, ලත් දෑ බොහොමයි

ශ්‍රී ලංකාවේ ආබාධිත ප්‍රජාවගේ දැනුවත් කිරීම සහ ගැටලු සාකච්ඡා කිරීම මෙතෙක් සිදු වූයේ ඔවුන් වෙනුවෙන් වූ විශේෂිත දිනවලදී මෙන්ම විශේෂ අවස්ථාවලදී පමණි. විශේෂයෙන් ඔවුන් පිළිබඳ සහ ඔවුන්ගේ වටපිටාව පිළිබඳ දැනුවත් කිරීමට, ආකල්ප සංවර්ධනය කිරීමට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ වෙන් වූයේ අවම ඉඩකි. මෙතෙක් ශ්‍රී ලාංකේය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් විද්‍යුත් මාධ්‍යක් ඔස්සේ විකාශනය වූ වැඩසටහන් ලෙස ඇත්තේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ විකාශය වන අඳුරෙන් එළියට වැඩසටහන සහ සී. ආර්. අයි ගුවන්විදුලියේ මෑතකදි ඇරඹි පියවර වැඩසටහන යන වැඩසටහන්ය. එම වැඩසටහන් ඔස්සේ සාකච්ඡා කළේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සමඟ පමණක් වීම විශේෂ කාරණයක් වන අතර ඔවුන්ගේ ගැටලු පුළුල්ව දැකීමක් සිදු නොවූ තරම්ය.

එහෙත් මෙතෙක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට මුද්‍රිත මාධ්‍යයේ නොවූ ඉඩක් අපට රැස පුවත්පත මගින් පසුගිය වසරේ මැයි මාසයේ 3 වැනිදා සිට හිමි විය. එය ශ්‍රී ලාංකේය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වශයෙන් ඔබත් මමත් ලත් මහඟු අවස්ථාවක් ලෙස සැලකීමට හැකිය.

“මෙතෙක් කල් අපේ ගැටලු ලියවුණේ වෙනත් කෙනකු හරහා. නමුත් කළු අකුරු ඔස්සේ අපේ ගැටලු අපිම කතා කරනවා වගේ දැනෙනවා.”

අප හා මෙසේ පැවසුවේ කළු අකුරුවල මුල සිට පාඨකයකු වන තිස්ස ජයරත්න මහතාය. සත්‍ය වශයෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ගැටලු සහ දැනුවත් කිරීම් පිළිබඳව කළු අකුරු ඔස්සේ සටහන් කිරීමේදී මම ඔවුන් හා සාකච්ඡා කළ තොරතුරු ලබා ගැනීමට නිරන්තරයෙන් උත්සුක වීමි. එබැවින් දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ වෙනත් ආබාධිත පුද්ගල කණ්ඩායම්හි විවිධ කාලීන ගැටලු සාකච්ඡා කිරීමටත් ඒ පිළිබඳව අදාළ අංශ ඇතුළු සමාජය දැනුවත් කිරීමටත් හැකිය.

කලු අකුරු ඔස්සේ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමේ පසුබිමෙහි ඵලදායී අවස්ථාද නැතුවා නොවේ. විශේෂයෙන් විශ්වවිද්‍යාල තුළ ආබාධිත සිසුන් මුහුණපාන ගැටලු සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ පිළිබඳ අවධානය යොමු කිරීම දැක්විය හැකිය. තවද මීට දින කිහිපයකට පෙර අධිකරණය මඟින් ලංකාවේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට නියෝග කර සිටියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් සැපයීම අනිවාර්ය කරන ලෙසය. ප්‍රවේශ ගැටලුව පිළිබඳවද අප කිහිප අවස්ථාවකදී සාකච්ඡා කළ බැවින් ලද ජයග්‍රහණය අපට සතුටකි.

මෙතෙක් කල් වෙනත් මාධ්‍ය ඔස්සේද නිරතුරුව සාකච්ඡාවට බඳුන් වූයේ ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව පමණි. නමුත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් තාක්ෂණය හා කටයුතු කරන ආකාරය මෙන්ම ඔවුන් එදිනෙදා ගත කරන ජීවන රටාව පිළිබඳව දැනුවත් කිරීමද ඉතාම වැදගත්ය. මෙතෙක් කිසිවකුගේ අවධානය ඒ පිළිබඳව යොමු නොවූ අතර ඔවුන් පිළිබඳව සමාජ ආකල්පය ප්‍රවර්ධනය කිරීමේදී එය මහඟු පිටිවහලක් විය හැකිය. එහිදී දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ පරිගණක භාවිතය ඇතුළු වෙනත් තාක්ෂණික උපාංග පිළිබඳව දැනුවත් කිරීම, කථන ග්‍රන්ථ (audio books) පිළිබඳ දැනුවත් කිරීමද නිදසුන වේ. මෙයින් කථන ග්‍රන්ථ පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත් විය. ඒ ඔස්සේ මේ වන විට ලේඛකයන් රැසක් තම කෘතීන් ඕඩියෝ තාක්ෂණයට නිෂ්පාදනය කිරීමට පෙලඹී සිටී. එය අපි ලත් ජයග්‍රහණයකි.

ඉදින් වසරක් තරම් කෙටි කාලයක් තුළ අපි ලත් ඵලදායිතාව පිළිබඳ සතුටු වීමට හැකි නොවේද? විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පරාජයන් එතරම් කනගාටුවට නොගන්නා අතර ලද සුළු හෝ ජයග්‍රහණ සහ ඵලදායිතාව පිළිබඳ සතුටු වීමු. එය අපගේ ස්වභාවයයි. ඉදිරියේදී පෙර මෙන් ගැටලු, දැනුවත් කිරීම මෙන්ම සමාජීය කතාබහට ලක් නොවූ වෙනත් නවමු කාරණා සාකච්ඡා කිරීමට කළු අකුරු සැමවිටම විමසිල්ලෙන් සිටියි. ශ්‍රී ලාංකේය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ඉඩක් වෙන් කළ රැස කර්තෘ මණ්ඩලයට අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙමු.

මාතෘකා