රෝජා!

 ඡායාරූපය:

රෝජා!

ගිනියම් වී ඇති තාර පාර දෙපස ඕනෑවට එපාවට මෙන් වැවුණු හරිතපැහැ තුරු වදුලු තීරුව සහ ඊට ඉතා ඉහළින් දීප්තිමත් හිරු එළිය වගුරන තද නිල් පැහැ ආකාසය අතර වූ හිස් අවකාශයම කිසියම් ශෝකී පාළුවකින් පිරී තිබේ. ජීවිතයේ පළමු වතාවට ආරක්ෂිත හිස් වැසුම් නැතිව, තරුණියක විසින් එළවන මෝටර් සයිකලයක පිටිපස්සේ එල්ලී, සුළං කපාගෙන ඉගිල්ලීමේ ත්‍රාසජනක ප්‍රීතිය උපන් ගෙයිම මරා දමන්නේ හාත්පස ගිලගත් ඒ ශෝකී පාළුව නිසාය. යාපන අර්ධද්වීපයේ, යුද්ධයෙන් වැනසී ගිය මුහමාලෛ ප්‍රදේශයට නුදුරු මරුදන්කර්නි වෙරළට රෝජා මා රැගෙන යමින් සිටින්නීය. වරින් වර හිස පැත්තකට හරවා දෙමළ බසින් යමක් කියමින් ඇය සිනහ නගන්නීය. එය මට නොතේරෙන විට ඊට සිංහල හෝ ඉංග්‍රීසි වචනයක් දෙකක් පුරුද්දමින් මගෙන් යළිත් එය ම විමසන්නීය. ඊට මා දෙන පිළිතුරුද කලවම් අච්චාරුය. කෙසේ හෝ ගැහැනු දෙදෙනකු අතර ඇතිවන සන්නිවේදනයට ඒ හොඳටම ඇතිය. අවුරුදු විස්සක පුවත්පත් ජීවිතයේ ඉස්ඉස්සෙල්ලාම ලියන තීරු ලිපි මාලාවේ පළමුවැන්න රෝජා නමින් ලියවේ යැයි මා ඒ වන විට දැන සිටියේ නැත.

තාර පාරේ ඉදිරියෙන් කාකි පැහැ නිල ඇදුමක් මතුවන අතර මම බියෙන් සැසලෙමි. දෙදෙනාටම හෙල්මට් නැත. එහෙත් රෝජාට වගේ වගක් නැත.

“නවත්තනව. කොහෙද මේ යන්නෙ හෙල්මටුත් නැතිව?” සිංහල පොලිස් නිලධාරියාගේ ගෝරනාඩුවට සයිකලය නවත්වන රෝජා කිසිවක් සිදු නොවූවාසේ සිනහ සලන්නීය.

“වැරදි කරල තව බය නැතුව හිනා වෙන හැටි විතරක්?” රෝජා ඊටද හිස ඇළයට හරවා, නොතේරුම්කම අඟවන්නට ඇස් ලොකු කරගෙන සිටින්නීය. මමද කටවසාගෙන මගේ සිංහල අනන්‍යතාව සඟවා ගනිමි. එය එළියට දැම්මොත් තවත් ප්‍රශ්න කෙළ කෝටියකි.

“මෙන්න මෙයාලට කියල දෙනව දෙමළෙන් මං කියපු දේ” පොලිස් නිලධාරියා ඒ අසල සිටගෙන සිටින කෙනෙකුට කියයි. පරිවර්තකයා සිංහල පොලිස් ගෝරනාඩුව ඒ හැටියෙන්ම දෙමළට හරවයි. ඉතින් රෝජාද මමද හිස් සලා ඉතා අහිංසකව වරද පිළිගනිමු “මේ පළවෙනි වතාව. දන්නවනෙ, ආයෙ අහුවුණොත් කිසිම සමාවක් නෑ.”යි කියමින් නැගෙන තර්ජනයද අසා ගෙන අපි එතනින් වහා පලා යන්නෙමු.

රෝජාත්, ඇගේ අක්කාත් මට හඳුනා ගන්නට ලැබෙන්නේ යාපනයේ මගේ මිතුරෙකු මඟිනි. අක්කාට වඩා රෝජා වෙනස් ය. නිතර දීප්තිමත් සිනා සලන අක්කාට වඩා නංගීගේ මුහුණ හැම විටෙකම තදබල සාංකාවකින් පිරී ඇත්තාක් මෙන් මට පෙනේ. එහෙත් ඇය මා කැටුව යන්නට මෝටර් සයිකලයට නැගුණේ, මනහර ඇදුමකින් සැරසී, පිළිවෙළට හිස පීරා, තොල් ආලේපන ගල්වා, වැරවෑයමින් නගා ගත් සිනාවක්ද ඇතිවය.

“ඉස්කෝලෙ ගිහින් ඉවරද?” ඇයගේ වයස අනුමාන කරන්නට බැරි නිසා මම කෝකටත් එසේ අසන්නෙමි.

“ඕලෙවල්” ඇය කීවාය. මට විමතියක් දැනිණ. ඇගේ පෙනුම නම් ඊට වඩා මුහුකුරා ගොසිනි.

සුන්දර නිල්පැහැ දියෙහි, රිදීවන් රැළිති නැගෙන නිස්කලංක කලපුවක් හරහා බයිසිකලය ඇදෙයි. වහා නවත්වන්නැයි මම ඇයගේ උරයට තට්ටු කර කියමි.

“ඕලෙවල් කරන්නෙ මේ අවුරුද්දෙද?” බිමට බට මම ඉදිරියෙහි ඇති සුන්දර දසුනෙහි සේයාරුවක් ගන්නා අතර ඇගෙන් විමසමි.

ඇය නැතැයි කියන්නට හිස සලයි. “ඒ හුඟ කාලෙකට ඉස්සර ” වැනි යමක් අභිනයෙන් මට කියයි.

“කොයි කාලෙද?” ඊළඟට මා අසන විට, ඇය සිය කකුල මත ඇඟිල්ලෙන් විසි හතක් අදියි. හරි. ඒ කියන්නේ දැන් ඇගේ වයස විසි හතකි. ඊළඟට කලවම් බසින් සංවාදය සිදුවෙයි.

“ඕලෙවල් පාස්ද?”

“විබාගෙ කළේ නෑ.”

මම නිහඬව සිටිමි. පිළිතුර අනුමාන කළ හැකිය.

“යුද්දෙ” එසේ කියන ඇගේ නෙත් වේදනාවෙන් පිරෙයි.

දරුණු නිහඬතාවකි. ඉතිරි ප්‍රශ්න මම ගිල ගනිමි. එකක් පමණක් එළියට දමමි.

“දැන් මොනවද කරන්නෙ. ජොබ් එකක් කරනවද?”

“නෑ” ඇගේ මුහුණ තිබුණාටත් වඩා සන්තාපයෙන් බරවෙයි.

“මොනවත් කරල තියෙනවද? කෝස් එකක් හරි?”

“ ඔව්. බියුටි කල්චර්”

රතු පැහැ තොල් ආලේපන තැවරූ ඇගේ දෙතොළෙහි දුක්බර මඳහසක් නැගෙයි. මම දැවෙන හදින් ඇය දෙස බලමි. කඩා වැටුණු ආත්මයන්, රූපලාවණ්‍ය ආලේපනවලින් සැඟවූ ඔවුන්ගේ මුහුණුවල සුන්දරකම බලන්නට තරුණයන් කී දෙනෙකු දැන් ඒ බිමෙහි ඉතිරිව ඇති දැයි නොදනිමි. රැකියා විරහිතකමින්ද, දුප්පත්කමෙන්ද, මරණයේ භීෂණයෙන්ද ඇළලුණු ඒ බිමේ දුක්බර සාංකාව රූපලාවණ්‍ය තාක්ෂණයෙන් යට කළ හැකිද කියාත් නොදනිමි. මම වහා ඉවත බලා ගෙන කලපුවෙහි තව පින්තූරයක් ගන්නට කැමරා ෆෝනය මානමි. රෝජා බලහත්කාරයෙන් මගෙන් දුරකථනය උදුරාගෙන කලපු දසුන පසුබිමේ තබා මගේ පින්තූරයක් අර ගන්නට තතනයි. කැමරාවට සිනාවෙන්නැයිද මට බල කරයි.

ඇයටත් වඩා දුක්බර මුහුණකින් ඇය දෙස බලා සිටින, දුරකථනයේ සටහන් වූ මගේම විපිළිසර ඡායාරූපය, මේ ලියන මොහොතේත්, රෝජා ගැනත්, සාංකාවෙන් දැවෙන මරුදන්කර්නි භූමිය ගැනත්, දුක්බර මතකයන් අවුළයි.

මාතෘකා