ඉක්බිති සියල්ලෝම

 ඡායාරූපය:

ඉක්බිති සියල්ලෝම

“මිනිස් ජීවිතයක් යනු , කිසිදා ඉපදුනේ නැති , මියගියේ නැති පෘථිවිය බැහැදකින්නට ආ, සංචාරකයකුය”. දහමට අනුව එය දිගු ගමනක නවාතැන්පළක් පමණි. උපත ලද මොහොතේ සිට මියෙන මොහොත දක්වා ජීවත් වීම, මැරෙන්නට සූදානම් වීමක් බඳුය. මක්නිසාද යත්, උපත ලද්දෝ වඩාත් ආසන්න වන්නේ, මරණයට බැවිනි .කලාකරුවාගේ උත්සාහය වන්නේ සියල්ලගේ ශුන්‍යතාව අවබෝධ කර ගනිමින්, වටහා ගත් සත්‍ය, මිනිස් ජීවිත කෙරෙහි සමීප කරවීමය. නැතහොත් විඳවමින් විඳින සමාජයක් ඇති කරලීමය.

මිනිසා, සමාජයේ ජීවත් වීමේදී නේක විද අභියෝගයන්ට මුහුණදෙයි .මහගම සේකරයන්, සක්වාලිහිණි යේ මැරී ඉපදීම ලෙස නම් කරන්නේද මේ අරගලයයි .මිනිසා මොහොතින් මොහොත මියයමින්, මොහොතින් මොහොත පන උපදවමින්, ඉපදුණු මොහොතේම මිය යමින්, මිය ගිය මොහොතින් යළි උපදෙමින් අනවරත මානසික අරගලයක යෙදී සිටියි. ජීවත් වන මිනිසාගේ අද දවස, රාත්‍රිය සමඟ මිය යයි. පසුදා උදෑසන සිටින්නේ අලුත් මිනිසෙකි. ඊයේට වඩා අද සිටින මිනිසා බොහෝසෙයින් වෙනස්ය. ඔහුගේ අරමුණු, ජීවත්වීමේ වටපිටාව, සිතුම් පැතුම්, සියල්ල වෙනස්ය. හෙට සිටින්නේ සහමුලින්ම වෙනස් පුද්ගලයෙකි. ජීවත්ව සිටින මේ කෙටි කාලය තුළ, මිනිසා හිත යටින් සිය දහස්වර හඬා වැටෙයි. කිසිවෙක් නොමැති හුදකලාවෙහි, කඳුළු සලයි. කලාකරුවා මේ සියල්ල දැන හැඳින, ඇසුරු කර අවබෝධය ලබා ගනියි.

නොමැරෙන මිනිසුන් මෙන් මිනිසා ජීවත් වන භූමියක, උක්ත සාධක දැන, පෙරළා ඔවුනටම තමන් ජීවත් වන්නන් බව, වටහා දීම කලාකරුවාගේ භූමිකාවයි. ඒ සඳහා කලා කෘති මහෝපකාරී වේ. ඉන් සමාජයට පණක් තිබෙන බව, තම තමන් හට නාඩි වැටෙන බව, යම් මොහෝතකදී, එය නතරවී නික්ම යායුතු බව, මිනිසා අවබෝධ කර ගනී. මෙදියත උපන් ඕනෑම කෙනෙක් මේ දහම අත්විඳියි. බොහෝ දේ ලුහුබඳින මිනිසාගේ හති වැටීම, ජීවිතය ඉගෙනීමයි.

ඔබ තුළ කලාකරුවකු සිටීනම්, ඔබ මේ සමාජ ගවේෂණයේ කොටස්කරුවෙකි. ලෝකය වෙනස් කළ හැකි දේ තිබේ. කුමන හෝ ආකාරයෙන් එය අදද සිදුවේ. එහෙත් එක මිනිසකුට, ලෝකය වෙනස් කිරීම දුෂ්කරය. පවුලෝ කොයියෝ පවසන පරිදි, අපි දිනකට බොහොවරක් ශාස්තෘන්ද අනුගාමිකයන්ද වන්නෙමු. කලාකරුවා ගවේෂකයෙක් ලෙස සෑම මිනිසකු තුළම ඇති, වරදකාරී දෝෂ, පුහු ආටෝප සහ හැඟීම්, එකිනෙකා තුළින් හඳුනා ගනියි. සෑම ජීවිතයක්ම එකිනෙකාගෙන් වෙනස්ය. ලොව සියලු මිනිසුන් අතර එක සමාන දෙදෙනෙක් සොයා ගත නොහැකි තරමට එය සංකීර්ණය. මන්ද යත් ජීවත්වීම තුළ ඔවුනට ආවෙණික වූ කතාන්දරයක් නිමකිරීම ඔවුන් වෙතම පැවරී තිබේ. එය අරගලයකි.

කලාකරුවා, නිර්මාණවේදියෙක් වන්නා සේම, සමාජ චින්තකයෙක් වෙයි. පවුලෝ කොයියෝ සිය අත්දැකීමෙන් අරගලය පැහැදිලි කරයි. “අසමත් වීම පරාජය වීමට සමාන වන්නේ නැත. සිය අරගලය උදෙසා සටන් වැදීමට උත්සාහයක් හෝ නොකරන අය අසමත් වෙති. අරගල කිරීමට හැකියාවක් ඇති තැනැත්තා පරාජය වෙයි. එය ලජ්ජාවට කරුණක් නොවේ. එම පරාජය නව ජයග්‍රහණයක් සඳහා මෙහෙයවනු ඇත. දැන ගත යුතු කාරණය වන්නේ නිශ්චිත පරාජයක් හෝ නිශ්චිත ජයක් කියා හෝ දෙයක් නැත. මන්ද අද පරාජය හෙට ජයග්‍රහණයක් වන බැවිනි .”

උපදින විට කිසිදු අසමානතාවක් නොවූ මිනිසා, තම ආගම, ජාතිය, උපන් දේශය, කුලය, අනුව අසමානතා ඇති කරගනී. ඉන් පසු තමාගේ ජීවන පැලැන්තිය අනුව ඇති නැති පරතරයන් අනුව, අසමානතා ඇති කරගනී. ඉන් නොනවතින ඔහු, පාලක, පීඩිත ලෙස ද නාගරික ග්‍රාමීය ලෙසද දේශීය, විදේශීය ලෙසද අසමානතා වර්ධනය කරගනී. වර්තමානයේ සියල්ලටම වඩා ඔඩුදුවා ඇත්තේ දේශපාලනයයි. මිනිසෙක් තව මිනිසෙක් ඇසුරු කරන්නේ, සාමූහික වන්නේ, සිනහසෙන්නේ, කඳුළු සලන්නේ, දේශපාලන සමානතා අනුවය. ඔවුන් අරගල කරන්නේද ඒ වෙනුවෙනි.

පිරිහුණු සමාජයක මිනිසුන්ට, ජීවිතය සහ සමාජය පිළිබඳ අපේක්ෂා රැගත්, මනුෂ්‍යත්වයට ආමන්ත්‍රණය කෙරුවෙක් වී නම් ඒ ප්‍රේමකීර්ති ද අල්විස්ය. 1977 ආණ්ඩු මාරුවේදී ගුවන්විදුලියේ රැකියාව තහනමකට ලක් කරන්නේ, ඔහු ශ්‍රී ලංකාකාරයෙක් යැයි සිතාය. 1989 ප්‍රේමකීර්තිට ජීවිතය අහිමි වන්නේ ඔහු යුඇන්පීකාරයෙක් යැයි සිතූ බැවිනි. පටු සීමා මායිම්වලින් කොටු කළ නොහැකි මනුෂ්‍යත්වය, මිහි මත එකම මිනිස් ප්‍රජාවක් ගොඩනැඟීමට හේතු වන බව, ප්‍රේමකීර්ති දැන සිටියේය. ප්‍රේමකීර්ති නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ කෘතියේ “අපේ ඇත්තෝ” පිළිබඳ සටහන මිනිස් ජීවිතයේ නොවැටහීම පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට, අපූර්ව සටහනකි.

“ඕකා පර සුද්දා යැයි

සිංහලයෝ -පර සුද්දන් හා ඇන කොටා ගත්හ.

ඕකා දෙමළා යැයි

සිංහලයෝ- දෙමළුන් හා ඇන කොටා ගත්හ.

ඕකා යූ එන් පී කාරයා යැයි

ඕකා ශ්‍රී ලංකා කාරයා යැයි

සිංහලයෝ -සිංහලයන් හා ඇන කොටා ගත්හ.

දෙපැත්තේම තුවාලකාරයෝ,

ඉස්පිරිතාලයට ගියහ.

ඉක්බිති සියල්ලෝම

දෙමළ දොස්තරවරයෙක්ගෙන් ප්‍රතිකාර ලැබ

පර සුද්දා හැදු බේත් තුවාලවලට දා ගත්හ.”

ප්‍රේමකීර්ති මේ සත්‍ය වටහා ගත්තේය. මිනිසා සතුවූ, මිනිස්කම අද මිනිසාට හුරු නැත. මිනිස්කම හමු වුවද, මිනිසාට එය හඳුනාගත නොහැකි බව ප්‍රේමකීර්ති දැන සිටියේය. එබැවින් අදට ගැළපෙන ලෙස ඔහු මෙය පෙර දවසක ලියා තැබීය. එහෙත් සීමා මායිම්වලින් කොටු වී, පටු වූ, මිනිසා, ප්‍රේමකීර්ති මරා දැමීය.

මාතෘකා