නිදහසේ මඳහස

 ඡායාරූපය:

නිදහසේ මඳහස

අපි කුසලාන සහතික සහ සම්මානවලට කොයිතරම් ආදරේද? හඹාගෙන යන තරගකාරී ලෝකයේ දිනුමක් ලබාගත් විටෙක එවැන්නකින් සමරුවක් හෝ ඇගයීමක් ලබන එක ලොකු වටිනාකමක් ඇති දෙයක්. සම්මාන සහ පදක්කම් ලබන්න මිනිස්සු සමහර වෙලාවට නොකරනා දෙයක් නැතිතරම්.

මෙයට කලින් සටහනක ජයග්‍රහණ උදෙසා වංචාවෙන් කටයුතු කරපු පාපැදි ශූරයෙක් වුණු ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් ගැන කතා කළ මතකය අලුත් කරගෙනම ඉදිරියට යමු. කවදාවත් ලැබෙන ජයග්‍රහණය වංචාවෙන් ලබාගන්න හිතන්නවත් හොඳ නෑ. ඉතින් එවන් පාඩම් තරගකාරී ලෝකයට කියලා දෙන්නේ වැරදීම් තුළින්.

මේ සටහනින් කියවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් මිනිසෙක් පිළිබඳවයි. තමන්ට ලැබුණු පදක්කමක වටිනාකම අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමන්නට ඔහු මොහොතකටවත් පැකිලුණේ නැහැ. තමන් කෙරෙහි එල්ලවන විරෝධය, තමන් නියෝජනය කරන පිරිසට එරෙහිව ඇතිවන නිරන්තර පීඩනයේ කොටසක් ලෙස තැකූ ඔහු තම උපරිමයෙන් සිය විරෝධය පළකර සිටියා.

ඔහු නමින් ‘ක්ලැසියස් ක්ලේ’. බොහොමයක් දෙනෙක් ඔහුව හඳුනා ගත්තේ ‘මොහොමඩ් අලී’ නාමයෙන්. විසිවන සියවසේ ක්‍රීඩා ලෝකය වර්ණවත් කළ සුපිරි තාරකා කිහිපය අතර ඔහු ප්‍රමුඛයෙක්. අනෙක් අතට සිය දැඩි ස්ථාවරය සහ විශ්වාසය නිසා බොහෝ දේ අහිමි කරගත් කෙනෙක්. කවදාවත් කුමන අවස්ථාවකදීවත් තමන් පෙනී හිටපු මතය වෙනස් කරන්නට අලී සූදානම් වුණේ නැහැ .

1960 වසරේ රෝමයේ පැවති ඔලිම්පික් උලෙළේ "ලයිට් හෙවිවෙයිට්" කාණ්ඩයෙන් රන් පදක්කම දිනාගන්නට ක්ලැසියස් ක්ලේ සමත් වෙන්නේ සිය ඉහළම දක්ෂතාව දක්වමිනුයි.

තමන් පිළිබඳව සැමවිටම මහ ඉහළින් කතා කළ කෙනෙක් ලෙසත් අලී ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු තමාවම "ශ්‍රේෂ්ඨයා" ලෙස හඳුන්වා දුන්නා. ඔහු ශ්‍රේෂ්ඨයෙක් බව අවිවාදිතයි. තමන් ගැන අභිමානයෙන් කතා කරන්න හැමෝටම පුළුවන්කමක් නැහැ. තමන් සුදුස්සෙක් නම් එය විහිළුවක් වන්නේ නැහැ. බොක්සින් වළල්ලේදී ඔහු කටකාරයෙක් විදියට ප්‍රසිද්ධ වෙලා හිටියා. අනෙක් ක්‍රීඩකයා මානසිකව වට්ටන්නට ඔහුගේ වචන ප්‍රභල වුණා. ඔහුගේ වදන් විටෙක අවිනීත වුවත් එය කිසි විටෙක ක්‍රීඩාශීලීත්වය ඉක්මවා නොගිය එකක්.

ඇමරිකාවේ කළු ජාතිකයන් කෙරෙහි එල්ලවන පීඩනයේ ගොදුරක් බවට ක්ලේටත් පත්වන්නට සිදු වුණා. එය ඔහුගේ ජීවිතය වෙනස් කරන සිදුවීමක් බවටත් පත් වුණා.

ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කිරීමෙන් පසුව තරුණ ක්ලේ හිටියේ හරිම උද්දාමයෙන්. ඔහු කෙතරම් උද්දාමයට පත්වූයේද යත් නිතරම තම පදක්කම ගෙලේ පැලැඳ හිටියා. එතරම් වයසක් නොවුණු හෙතෙම මෙවන් හැසිරීමක් දැක්වූ බවට වූ කතාව අතිශයෝක්තියක් බවට මත පළව තිබෙනවා.

ක්ලේ සහ මිතුරන් පිරිසක් දිනක් සැඳෑ සමයක අවන්හලක් වෙත පියනැඟුවා. එහෙත් එය සුදු මිනිසුන් උදෙසා වූවක් ලෙස දන්වමින් පාලනාධිකාරිය විසින් නින්දා සහගත ලෙස ඔවුන් එහි ඇතුළුවීම වළකනු ලැබුවා. එවකට ඇමරිකාවේ කළු ජාතිකයන්ට එතරම්ම වෙනස් ආකාරයටයි සැලකුම් ලැබුණේ. ක්ලේ අතිශය කෝපයට පත් වුණා. අවන්හලේ සුදු ජාතිකයන් හා ගැටුණු ක්ලේ සහ මිතුරන්ව ඉන් ඉවතට පළවාහැරියා.

මෙම සිදුවීමෙන් අතිශය වේදනාවකට පත් ක්ලේ ඔහියෝ ගඟේ පාලමක් මතදී තම ගෙල පැලඳී ඔලිම්පික් රන් පදක්කම ගලවා දියට විසි කළා.

"මට මෙවැනි රටක රන් පදක්කමක් අවශ්‍ය නැහැ." ඔහු කෝපයෙන් මොර දුන්නා.

මෙයින් පසුව ක්ලේගේ ජීවිතය ශීඝ්‍ර වෙනසකට බඳුන් වුණා. ඔහු සිය ආගමික ඇදහීම් සමඟ වූ වෙනස සමඟ මොහොමඩ් අලී නමින් පෙනී සිටින්නට වුණා. තමන්ගේ පෙර නම වූ ක්ලැසියස් ක්ලේ වහල් බවේ සංකේතයක් ලෙසයි ඔහු හැඳින්වූවේ. මන්ද යත් වහලුන්ගේ නම්වලට ඔවුන්ගේ ස්වාමියාගේ නම ඈඳෙන නිසයි.

මොහොමඩ් අලී ඇමෙරිකානු භූමිය තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙමින් තිබුණේ මේ වකවානුවෙයි. වියට්නාමය සමඟ ප්‍රකාශිත අනිවාර්යය යුද සේවය වෙනුවෙන් මොහොමඩ් අලීට කැඳවීමක් ලැබුණා.

"මට ඔවුන් සමඟ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඔවුන්ට එරෙහිව යුද වදින්නට අවශ්‍ය නැහැ."

අලී නිර්භීතව සහ මුරණ්ඩු ලෙස රජයේ අණ ප්‍රතික්ෂේප කළා.

"මගේ සතුරන් සුදු මිනිසුන් මිස වියට්කොන්, ජපන් හෝ චීන මිනිසුන් නොවේ." ඔහු ප්‍රකාශ කළා.

අලීගේ නම ප්‍රකාශ කරන අවස්ථා 3කදී ඔහු ඉදිරියට පැමිණීම ප්‍රතික්ෂේප කළ හෙයින් ඔහුව සිරභාරයට ගන්න හමුදාව කටයුතු කළ අතර ඔහු නීතියට අවනත නොවීම නිසා පස් අවුරුදු සිර දඬුවමකට නියම කෙරුණා. ඒ සමඟම ඔහුගේ බොක්සින් ක්‍රීඩා බලපත්‍රය අත්හිටුවූ අතර එය නැවත ලබා ගන්නට ඉදිරි තෙවසරක් ඔහුට ගත වුණා. නඩු විභාගයකින් පසු සිර දඬුවමින් නිදහස් වුවද ඔහුගේ ස්වර්ණමය වසර කිහිපයක් ඉන් විනාශ වී තිබුණා.

පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටි මොහොමඩ් අලී 2016 වසරේ මියගියා. තමන් විශ්වාස කළ දර්ශනයක් වෙනුවෙන් සහ කළු මිනිසුන්ට එරෙහි මර්දනයට එරෙහිව ප්‍රබල ජනමතයක් ඇතිකළ අයකු ලෙස ඔහු සුප්‍රසිද්ධයි.

ක්‍රීඩකයෙක්ට ළඟාකර ගතහැකි ඉහළම සිහිනය ඔලිම්පික් පදක්කමක්. එයට වඩා අසාධාරණයට විරෝධය පළ කිරීම අලීට වැදගත් වුණා. අද කළු මිනිසුන් ලබන නිදහසේ ඔහුද වැදගත් සාධකයක් බවට පත්වුණේ ඔහුගේ වදන්වල සමාජ බලපෑම නිසයි. තමන් ලබන ජනප්‍රියත්වය සමාජයේ වෙනසක් වෙනුවෙන් යොදවන්න පුළුවන්කමයි ඔහු කියාදෙන අගනා පාඩම. සියල්ලටම වඩා නිදහස වටිනවා. එය රනින් පරදන්නට බැහැ. නිදහසේ මදහස හැම මුවකම නැඟෙන දවසක්, සැවොම දිනන දවසක් උදාකරනුවස් කැපවෙමු.

 [මේනක මදුජිත්]

මාතෘකා